මැදින් අව අටවක පෝ දා
2024-04-02
සැබෑ දියුණුවට
පරාභවන්තං පුරිසං – මයං පුච්ඡාම ගෝතමං
භගවන්තං පුට්ඨුමාගම්ම – කිං පරාභවතො මුඛං
මේ එක්තරා දෙවියෙක් බුදුරජාණන් වහන්සේගෙන් විමසූ පැනයකි. එයින් අදහස් කළේ තමන් එහි
පැමිණියේ පිරිහෙන පුද්ගලයා කෙබඳු දැයි දැන ගනු රිසියෙන් හා පිරිහීමේ දොරටු මොනවා
දැයි දැන ගනු රිසියෙන් වන බවයි.
සුවිජානො භවං හොති – සුවිජානො පරාභවො
ධම්මකාමො භවං හොති – ධම්ම දෙස්සී පරාභවො
මේ, අප තථාගතයන් වහන්සේ ඒ දෙවියාගේ පැනයට දුන් පිළිතුරයි.
දියුණුූ වන පුද්ගලයා පහසුවෙන් හඳුනාගත හැකි ය. පිරිහෙන පුද්ගලයා ද එසේම දත හැකි ය.
දියුණු වන තැනැත්තා ධර්මයට කැමැති ය. ධර්මයෙහි සතුටු ය. ‘පිරිහෙන පුද්ගලයා ධර්මයට
සතුරු ය’ යනු එම ගාථා ධර්මයේ අර්ථයයි. තම තමන්ට අවංක ව ගලපා බලන්නේ නම්, තමන්
දියුණුවේ මාවතට අවතීර්ණ වී සිටී ද, නැතිනම් පිරිහීමේ මඟට බැස සිටින්නේ ද යන්න තමන්ට
ම හඳුනා ගත හැකි ය.
බොහෝ විට අප දිවා රෑ නොබලා වෙහෙසෙන්නේ දියුණු වන්නට ය. වැඩි පිරිසක් එහි දී මුල්
තැන දෙන්නේ මිල, මුදල්, යාන – වාහන , ගේදොර, වතුපිටි ආදි භෞතික සම්පත් ගොඩගසා ගන්නට
ය. ඒ සඳහා අනුගමනය කරන ක්‍රමවේදය දහමට එකඟ ද, නොවේ ද යන්න වැඩි දෙනකුට ප්‍රශ්නයක්
නොවන බව පෙනෙන්නේ තමන් වැනි ම වූ තවත් මිනිසකුගේ වුව ප්‍රාණය පවා බිල්ලට දී මුදල්
පසුපස හඹා යන සිදුවීම් දුලබ නොවන හෙයිනි.
කෙනෙක් දහදිය මහන්සියෙන් හරිහම්බ කරගත් දේ කිසිදු හිරිකිතයකින් තොරව සොරා ගෙන තමන්
මෙන් ම අඹුදරුවන් ද පෝෂණය කරන්න තරම් ලජ්ජා බිය නැති අය අප ජීවත්වන සමාජයේ මොනතරම්
නම් සිටිනවා ද? අනුන් මහන්සිවී උපයන දෙයින් වැඩි ප්‍රමාණයක් තමන් සන්තක කර ගනිමින්,
අනුන්ට ලැබෙන්නට තිබෙන දේ උපායෙන් නැති නම්, බලහත්කාරයෙන්, එසේත් නැති නම්
ප්‍රධානීන්ගේ දැන හැඳුනුම්කම් මතින් තමන් සන්තක කර ගන්නා අය මොනතරම් සිටිනවා ද?
සිසිලසක්, සුවයක්, සැපයක් සේ මොහොතකට හැඟුණ ද, නුදුරේ දී ම මේ පාපයන්ගේ විපාක
ගෙවන්නට වන කල මොවුන් ප්‍රමාද ය. ලිප මත තැබූ සැලියක සතුටින් දිය කෙළියේ සිටින
කකුළුවා ඒ වතුර උතුරන විට දැවී මිය යන්නේ ය. අදහමින් ධනය රැස් කරන්නාට සිදුවන දෙය ද
ඒ ටික ම ය. තමන් කරන පාපයන්ගේ විපාකය ගෙවන්නට වන කල මහා ගිනි ජාලාවක දැවෙන්නා හා
සමාන ය.
තථාගතයන් වහන්සේ දේශිත දහම් මඟ සමාජයට අවධාරණය කරන්නට සියලු දෙනා ඇප කැප විය යුතු
බව හැඟෙන්නේ බොහෝ පිරිස් අධර්මයට ම මුල් තැන දී පිරිහෙමින් සිටින බැවිනි. එය
වැඩිහිටියන් වූ පසු කළ හැක්කක් නොවේ. බහ තෝරන වයසේ සිට ම කුඩා දරුවාගේ පටන් ආරම්භ
කළ යුතු ධර්මතාවකි.
වහ වහා අපේ සමාජයේ ආකල්පමය වෙනසක් කළ යුතු ව තිබේ. ඒ ගෞරවණීය ලෙස ජීවත්වීමේ
අවශ්‍යතාවයි.
ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක දැඩි අවශ්‍යතාවක් පවතී. එහිලා සියලු ආගමික නායකයන්, සමාජ
නායකයන් භේද නොසලකා පෙරමුණ ගත යුතු ව තිබේ. එසේ නැති නම් සිදුවන්නේ ඉහිරුණ කිරට හඬා
වැළපෙන්නට ය. මන්ද සමාජය අදහැමි වූ කල සියල්ලට ම එහි නරක විපාකවලට ඉතාම නරක ලෙස
මුහුණ දෙන්නට වන නිසා ය. |