[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 තිස්තුන් වසරක අභිමානය සමරන සොබාදම් මවගේ විශ්මිත නිමැවුම ජාතික නාමල් උයන

 තිස්තුන් වසරක අභිමානය සමරන සොබාදම් මවගේ විශ්මිත නිමැවුම ජාතික නාමල් උයන

ජාතික නාමල් උයන කියන්නේ පිරිසුදු ඔක්සිජන් නිපදවන වනාන්තරයක්. මේ වනාන්තරය මගේ ජීවිතයයි. මේ සොබාදම නම් වූ අම්මා රැක ගැනීම මගේ සාංසාරික පාරමිතාවක් වෙන්න ඇති. මගේ අවසන් හුස්ම පොදත් මේ වනයට ම පිටකරන්න ලැබෙනවා නම් මට ඒක සතුටක්.”

ජාතික නාමල් උයන දශක 03කට වැඩි කාලයක් රැක බලාගත් වනවාසී රාහුල හිමියෝ සිය අතීතාවර්ජනය අරඹමින් එසේ පවසති.

ජාතික නාමල් උයන යනු මේ රටේ ජාතියේ උරුමයකි. රාහුල හිමියෝ නාමල් උයනට ඒමට පෙර එම වනය හැඳීන්වූයේ නා කැළය ලෙසිනි. කිසිවකුට එහි වටිනාකමක් ද නො තිබිණි.

ලෝකයේ ඉතා දුර්ලභ රෝස තිරිවානා නිධිය ඒ යුගයේ ප්‍රදේශවාසීන් හැඳීන්වූයේ ලුනු ගල් දෙබල් වශයෙනි. එම නිධිය කෙරෙහි ලෝකයේ ම අවධානයට යොමු වූයේ රාහුල හිමියන්ගේ ආගමනයත් සමඟ ය.

එය නිකම්ම සිදුවූවක් ද නොවේ. මේ කටයුත්තේ දී රීස තිරිවානා නිධියේ ඇති ගල්කැට තරමට වඩා රාහුල හිමියෝ නින්දා අපහාස වින්දහ, බැනුම් ඇසූහ, තර්ජන ගර්ජනවලට ලක්වූහ, එහෙත් ඒ කිසිම බාධකයකට රාහුල හිමි සෙලවිය නොහැකි විය. උපතින් ම කෙසඟ සිරුරකට හිමිකම් කියන රාහුල හිමියෝ නාමල් උයන රැක ගැනීමට යෝධයන් සමඟ හැප්පුනහ. අවසානයේ ඔවුහු මේ කෙසඟ සිරුර ඇති හිමියන් ඉදිරියේ දන නැමූහ.

එසේ තම ජීවිතය මෙන් රැකගනිමින් ජාතියට දායාද කළ නාමල් උයන උන්වහන්සේ අත්හළහ. ඒ හා සම්බන්ධ සියලු චංචල නිශ්චල සියලු දේපළ ද අත්හළහ. ඒ සියල්ල උන්වහන්සේ මධ්‍යම සංස්කෘතික අරමුදලට නීත්‍යානුකූල ව බාර දුන්හ. ඒ මතු පරපුරට නාමල් උයන රැකදීම සඳහා ය.

“මට ඕනෙ වෙලාවක දැන් ගහක් යට වුනත් මැරෙන්න පුළුවන්. මට දේපළ ගැන, බැංකු පොත් ගැන හිත හිතා හිතෙන් මැරෙන්න ඕන නැහැ. මට දැන් අවශ්‍ය වෙලාවක ගමන් මල්ලයි, කුඩෙයි අතට අරන් නිදහසේ එළියට බහින්න පුළුවන්. මට දැන් කිසි බරක් නැහැ. මුල් කාලයේ මේ ප්‍රදේශයේ බොහෝ ගිහි පැවිදි අය පවා සිතුවේ මම මේ වනයට අරක්ගත් කුම්භාණ්ඩයෙක් කියලා.

ඒත් භික්‍ෂුවක් වශයෙන් මම මගේ යුතුකම උපරිමයෙන් ඉටු කළා. නාමල් උයන අද ලෝකයේ ම ප්‍රසිද්ධයි. ලෝකයේ හැම රටකින් ම අද නාමල් උයන නරඹන්න එනවා. මම එදා දහදුක් විඳගෙන මේ නාමල් උයන රැකගත් නිසා අද එය රටට විදේශ ආදායම ගෙන එන ස්ථානයක් බවට පත්වුණා. මම නැති කාලෙක වුණත් නාමල් උයන දකින විට මගේ සේවය කාටත් සිහිපත් වේවි.”

රාහුල හිමිගේ ස්වරය දැඩි ය, එහෙත් අනුන්ගේ දුකේ දී පිහිට වන සිතක් උන් වහන්සේට ඇත.

“මම එහෙම ටිකක් සැර නොවුනා නම් මට තිබුණු අභියෝග එක්ක මේ නාමල් උයන රැක ගන්න බැහැ. මම අද තව පැත්තකින් සතුටු වෙනවා. මම නාමල් උයනට ආපු මුල් කාලයේ මට විරුද්ධ ව උද්ඝෝෂණ කළ, මට පෙත්සම් ගහපු, මට කැලෑ පත්තර ගහපු සමහර මිනිසුන්ගේ දරුවන්ට නාමල් උයන ව්‍යාපෘතිය යටතේ රැකියා ලබා දීමට හැකිවීම ගැන මම ගොඩක් සතුටු වෙනවා.. ”

ජාතික නාමල් උයන නිසා මේ ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය වුණා. එහෙම නොවුනා නම් මේ ප්‍රදේශයට කාගේවත් අවධානයක් යොමු වන්නේ නැහැ.

මගේ ඇස් දෙක පියවෙන්න පෙර නාමල් උයන වෙනුවෙන් තවත් යමක් කිරීමට මගේ හිතේ තියෙනවා. ඒ රෝස තිරුවනා නිධිය බැලීමට කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමයි. මම හිතනවා එය සාර්ථක වුණොත් රටට තවත් විදේශ විනිමය සපයා ගන්න පුළුවන් වෙයි කියලා. ජනාධිපතිතුමාගේ අවධානය මේ සඳහා යොමු වෙයි කියලා මම හිතනවා. රටේ සංචාරක ව්‍යාපාරය තවත් දියුණුවීමට එය හේතුවක් වේවි.

ගස් වැවීම වගේ ම වනය රැක ගැනීම දිවා රෑ පින් වැඩෙන පින්කමක් කියලා සංයුක්ත නිකායේ වනරෝපා සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ පින්කම සිදු කර මම අද සතුටු සිතින් ඉන්නවා.

ඒ වනවාසී රාහුල හිමියන්ගේ අභිමානයයි.

මැදින් අව අටවක

අප්‍රේල් 01 සඳුදා අ.භා. 09.07
අව අටවක ලබා 02 අඟහරුවාදා අ.භා. 08.05 ගෙවේ.
02 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල්  02

Full Moonඅමාවක

අප්‍රේල්  08

First Quarterපුර අටවක

අප්‍රේල්  15

Full Moonපසළොස්වක

අප්‍රේල්  23

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]