[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ධර්ම විනයධර තලවතුගොඩ විමලධම්ම නාහිමි

ධර්ම විනයධර තලවතුගොඩ විමලධම්ම නාහිමි

තලවතුගොඩ පන්තිනි ගමගේ සියදෝරිස් පෙරේරා හා හෙට්ටි ආරච්චිගේ මිසිලින් පෙරේරා යන පින්වත් මවුපියන්ට උපන් පස්වන දරුවා වශයෙන් උපන් පන්තිනි ගමගේ සිරිපාල පෙරේරා අපේ විමලධම්ම නාහිමියෝ ය.1941 ඔක්තෝම්බර් මස 08 වන දින උපත ලද සිරිපාල පෙරේරා දරුවා හෝ/කලල්ගොඩ මහා විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබමින් සිටියදී උතුම් පැවිදි දිවියට පත්වීමට මග පෑදීම ජිවිතයේ සුවිශේෂී සිදුවීමකි.

ගනේලන්ද පුරාණ විහාරස්ථානය අසලම පදිංචි වී සිටි සිරිපාල පෙරේරා නම් වූ අවුරුදු නවයක් පමණ වූ කුඩා දරුවා දෙමාපියන්ගේ ආශිර්වාදය මධ්‍යයේ 1950 වර්ෂයේ දී පැවිදි දිවියට පත් වන්නේ කොට්ටාව පැලැන්වත්තේ දිගන ධම්මකිත්ති මංගලාරාමයේ දී තලවතුගොඩ විමලධම්ම් නමිනි.

මෙදිනම උන්වහන්සේ සමඟ පැවිදි වූ අනෙක් සාමණේර නම වූවේ වර්තමානයේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාවේ උතුම් මහානායක පදවිය හොබවා වදාරණ,ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති,ආචාර්ය අතිගරු ඉත්තෑපාන ශ්‍රී ධම්මාලංකාර මහානායක මාහිමිපාණන් වහන්සේ ය. කලල්ගොඩ ධම්මසිරි නාහිමියන්ගේ හා තලවතුගොඩ ධම්මාලෝක නාහිමියන්ගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ ලෙස එකම දිනක පැවිදි දිවියට පත් වූ උන්වහන්සේලා සාසනය වෙනුවෙන් ඉටු කළ මෙහෙවර සුලුපටු නොවේ.

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන, මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන, ශ්‍රී ලංකා විද්‍යාල පිරිවෙන, පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙන හා ගාල්ල කිතුලම්පිටිය ආනන්ද පිරිවෙන යන පිරිවෙන්වලින් අධ්‍යාපනය හදාළ උන්වහන්සේ නැවත දිගන විහාරස්ථානයට වැඩම කොට ආයුර්වේද වෙදකම මහත් උනන්දුවෙන් හදාරා අසරණ රෝගී ජනයාට පිළිසරණක් වීමට මඟ පාදා ගත්හ.තමන් වහන්සේගේ ම ඖෂධ ශාලාවක් ආරම්භ කිරීමට සිතු උන්වහන්සේ පදවිය අලිවංගුව ශ්‍රි බෝධිරුක්ඛාරාම විහාරස්ථානයට වැඩමවා ඖෂධ ශාලාවක් ආරම්භ කළ අතර, ප්‍රදේශයේ කාගේත් ආදර ගෞරවයට ලක් වෙමින් කාලයක් ම එහි වැඩවසමින් ජනයාට මහත් සේ උපකාරී වූහ.

අනතුරුව පදවියෙන් නැවත දිගනට වැඩම කළ උන්වහන්සේ රාජාංගනය යාය 13 ප්‍රදේශයේ නව විහාරස්ථානයක් ආරම්භ කළහ.එය ශ්‍රී බෝධිරුක්ඛාරාමය වශයෙන් වර්තමානයේ හඳුන්වන සකලාංග පුර්ණ විහාරස්ථානයකි. පැල්පතකින් අරඹන ලද මෙම විහාරස්ථානය දියුණු කිරීම සඳහා විමලධම්ම නාහිමියන් ගත් වෙහෙස අපමණ ය. මෙසේ අප්‍රමාණ දුක් වෙහෙස විඳ දියුණු කළ එම ස්ථානය මහාචාර්ය අත්තන්ගනේ රතනපාල නායක මාහිමියන් වහන්සේට භාර දී නැවත කොළඹට වැඩම කිරීමට තරම් උන්වහන්සේ පරිත්‍යාගශීලි වූහ.

නැවත කොළඹට වැඩම කළ විමලධම්ම නාහිමියන්ට ගනේලන්ද පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරින් වහන්සේ ලෙස කටයුතු කිරීමට ගුරු දේවයන් වහන්සේ වූ තලවතුගොඩ ධම්මාලෝක නාහිමියන්ගෙන් උපදෙස් ලැබුණි.

අනතුරුව 1998 වර්ෂයේ දී ගුරුදේවයන් වහන්සේගේ අපවත් වීමෙන් අනතුරුව විහාරාධිපති ධුරයට පත් වූ උන්වහන්සේ ජරාවාස ව පැවති, එතරම් ජනතාවගේ ඇස නොගැටුණ ගනේලන්ද පුරාණ විහාරය අද පවතින තත්ත්වයට පත් කිරීමට උන්වහන්සේ අප්‍රමාණ ව කැප වූහ. ප්‍රදේශවාසී ජනතාවගේ, පරිත්‍යාගශීලි ජනතාවගේ සහාය උන්වහන්සේට නොඅඩුව ලැබුණි. එසේ කාගේත් සහාය ලබමින් උන්වහන්සේගේ නායකත්වය යටතේ දියුණු වූ ගනේලන්ද පුරාණ විහාරස්ථානය අද දැකුම්කළු කාගේත් ශ්‍රද්ධා භක්තිය දියුණු කරවන ස්ථානයක් බවට පත්ව තිබීම තුළින් උන්වහන්සේ අප්‍රමාණ වූ නිරාමිස සතුටක් ලබන්නට ඇත.

විහාරස්ථාන ගොඩනංවමින් උන්වහන්සේ සසුන වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දුන් අතර පන්නිපිටිය විද්‍යාලංකාර පරිවේණාධිපති,කර්මවාගාචාර්ය ,ආචාර්ය ගැමුණුපුර සෝමවංස හිමිපාණන් වහන්සේ ඇතුළු වටිනා ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ ගණනාවක් ඇති කරමින් ඉටු කළ සසුන් මෙහෙය කාගේත් ප්‍රසාදයට ලක්ව තිබේ.

මෙසේ ශාසනය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ උන්වහන්සේගේ මෙහෙවර අගය කළ කෝට්ටේ මහා සංඝ සභාව උන්වහන්සේට සිනාදී සිවු කෝරළයේ උප ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමූහ.

අසුතුන් වසක සිය ජිවන ගමනේ සූසැත්තෑ වසරක සසුන් මෙහෙවර නිමා කරමින් උන්වහන්සේ පසුගිය 13 වන දින අපවත් වී වදාළහ.අපවත් වී වදාළ ගෞරවාර්හ තලවතුගොඩ විමලධම්ම නායක මාහිමියන් වහන්සේට උතුම් නිර්වාණාවබෝධය වේවා.

මැදින් අව අටවක

අප්‍රේල් 01 සඳුදා අ.භා. 09.07
අව අටවක ලබා 02 අඟහරුවාදා අ.භා. 08.05 ගෙවේ.
02 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල්  02

Full Moonඅමාවක

අප්‍රේල්  08

First Quarterපුර අටවක

අප්‍රේල්  15

Full Moonපසළොස්වක

අප්‍රේල්  23

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]