[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කසල මත විකසිත සුවඳැති මලක් විලසින කිළිටි තවරා නොගනිති සැබෑ බොදු සව්වෝ...

කසල මත විකසිත සුවඳැති මලක් විලසින කිළිටි තවරා නොගනිති සැබෑ බොදු සව්වෝ...

කසල ගොඩක් බඳු සමාජයේ නමට පමණක් බෞද්ධයකු නොවී, සැබෑවට ම බුදු මඟ අනුගමනය කර, කසල ගොඩේ විකසිත මලක් මෙන් වෙමු. ප්‍රඥාව දල්වා ගනිමු. කසළ තවරා නොගෙන පිරිසුදු ජීවිතයක් ගත කිරීමට උත්සාහවත් වෙමු

යථා සංඛාර ධානස්මිං
උජ්ඣිතස්මිං මහා පථෙ
පදුමං තත්ථ ජායේථ
සුචිගන්ධං මනෝරමං

නිවෙස්වල ආහාර පිළියෙළ කිරීමේ දී එළවළු, පලතුරු මෙන් ම මුලුතැන්ගෙයි ඉතිරිවන දුගඳ වහනය වන බොහෝ දෑ සමහරු කසල ගොඩට දමති. ඇතැම් අය මහමඟ පාර දෙපසට දමති. නගර සභාවෙන් ඉවත් නොකර තිබෙන එවැනි ස්ථානවලට තව තවත් කුණු එකතු වේ.

කසළ ඇති තැනට කසළ එකතුවීම සාමාන්‍ය සිරිතකි. කල් ගතවීමේ දී කසලවලින් දුගඳ වහනය වන අතර, මීයන්, කැරපොත්තන්, පණුවන් මෙන් ම නිල මැස්සෝ ද එවැනි තැන්වල සැරිසරති. පසුව අව්වට වැස්සට දිරාපත්‍ ව පොහොර බවට පත්ව එම ස්ථානවල විවිධ ගස් පැළ වේ. ඒවායේ සිත්කළු සුවඳ මල් වර්ග හටගනී. එම මල්වල පැහැයේ හෝ සුවඳෙහි හෝ කිසිදු අඩුවක් නැත. කුණු ගොඩේ සාරය උරාගෙන තව තවත් සරුවට ම පුෂ්පයෝ විකසිත වෙති. කසල මත විකසිත වුව ද කුණු තවරා නොගනිති. පරිසරය අලංකාර කරමින් සුවඳ වහනය කරති. මී මැසි, බඹර, සමනල් වැනි කෘමීන් සේ ම පැනි කුරුල්ලන් ආදී පක්‍ෂීන් ද නිරතුරුව ම මල්වලින් පැනි උරා බොති.

ඒවං සංඛාර භූතේසු
අන්ධ භූතේ පුතුජ්ජනෙ
අතිරෝචති පඤ්ඤාය
සම්මා සම්බුද්ධ සාවකෝ

පුහුදුන් ජන සමාජයේ ඇතැම් පිරිස් කුණු ගොඩක් බඳු ය. පසිඳුරන් පිනවීමට පස් පව් දස අකුසල් ම කරති.

වත්මන වන විට මුළු ලොව ම යුද බිමකි. දිනපතා ම මිනිස් ඝාතන සිදු වේ. බල අරගල නිසා දිනකට සිදුවන මිනිස් ඝාතන කෙළවරක් නැත. කුඩා දරුවෝ ද දහස් ගණනින් මිය යති. අවි ආයුධ සංස්කෘතියක් බිහිව ඇත. ඇතැම් රටවල පාසල්, පෙර පාසල්වල දරුවන් පවා අවි භාවිත කරති. ගුරුවරුන්ට පවා වෙඩි තබා ඝාතනය කරති. එතරම් ම අවි ආයුධ සංස්කෘතිය බහුල වී ඇත. තම මත නොඉවසන අය ඝාතනය කරති. සුළු දෙයකට පවා මනුෂ්‍ය ඝාතන කරන අතර කුලියට මිනීමරන සංස්කෘතියක් බිහිවී ඇත. තිරිසන් සතුන් ඝාතනය ගැන කවර කතා ද?

සොරකම, මංකොල්ලකෑම, පැහැර ගැනීම් සෑම රටක ම පාහේ සුලභ සිදුවීම් ය. මහ මුහුද මැද පවා කොල්ලකරුවන් එවැනි ක්‍රියාවල නිරත වෙති. එවැනි ක්‍රියා පාලනය කිරීමට පාලකයන්ට පවා නොහැකි තත්ත්වයක් උදාවී ඇත. අපරාධකරුවෝ එතරම් ම බලවත් ව ඇත. පසිඳුරන් පිනවීම සඳහා බොහෝ රටවල් විවිධ දුරාචාර මඟ අනුගමනය කරති. සමාජ මාධ්‍ය මෙන් ම විවිධ ජනමාධ්‍ය මඟින් ඒ සඳහා ජනතාව පොළඹවති.

බොරු කීම, බොරු කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. මුළු මහත් සමාජය ම එකිනෙකා රවටා ගනිමින් පවතී. අල්ලා ගැනීම සහ අහුවීම ලෝක න්‍යායක් බවට පත්ව ඇත.

සමාජයේ ඉහළ ස්ථරවල මෙන් ම පවුල් සංස්ථාවේ ද අන්‍යොන්‍ය විශ්වාසය ගිලිහී ගොසින් ය. කුඩු, මත්පෙති, මත්වතුර වැඩිහිටියා සේ ම කුඩා දරුවා ද ගිල ගෙන ඇත. ලෝකයට ම පිළිලයක් බඳු මත්ද්‍රව්‍ය පාතාලයේ ප්‍රධාන ආදායම බවට පත්ව ඇත. ඇතැම් රටවල් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අය වෙනම ප්‍රාන්තවල කොටු කර ඇත. අප සැම දිවි ගෙවන්නේ මෙවැනි සමාජ වටපිටාවකයි. එම නිසා ම අපට මෙම සමාජ ක්‍රමය අසන්නට, දකින්නට මෙන් ම නිතර ඇසුරු කරන්නට සිදුව ඇත. අපගේ අනාගත පරපුර ගොඩනැඟෙන්නේ මෙවැනි පරිසරයක් තුළයි. අපරාධ කරුවන්ගේ මෙන් ම දූෂිතයන්ගේ දරුවන්ට වෙන ම පාසල් නොමැත. සැවොම එකම පාසලේ, එකම පන්තියේ ඉගෙනුම ලබති. අත්දැකීම් බෙදා ගනිති. සම අසුරට වැටෙති. ගමේ මළ ගෙදර, බණ ගෙදර, මඟුල් ගෙදරට සැවොම එක්වෙති. කසල ගොඩවල් බඳු විවිධ අය ඒ අතර සිටිය හැකි ය. කසල

ගොඩේ පිපෙන මල් කසල තවරා නොගන්නාක් මෙන් මෙවැනි දූෂිතයන් නිතර හමුවන සමාජයක ජීවත්වන සැබෑ බෞද්ධයා ප්‍රඥාව දල්වා ගත් අයකු විය යුතු ය. හොඳ නරක තෝරා බේරා ගත හැකි අයකු විය යුතු ය. අපගේ දරු පරපුරට ඒ බව අවබෝධ කර දිය යුතු ය. බුදු දහම හා බුද්ධ චරිතය ඔවුන්ගේ ජීවිතවලට සමීප කළ යුතු ය. දියෙන් කිරි වෙන් කරන හංසයකු විලසින් හොඳ නරක තෝරාගත හැකි අයකු බවට පත් කළ යුතු ය.

රෝස මලේ නටුවෙ කටූ...
වන බඹරෝ ඔහොම හිටූ...

ළමයකු, වන බඹරාට පවසන්නේ රෝස ගසේ කටු තිබෙන නිසා ළං නොවන ලෙසයි.

නටුව නොවේ මල සිඹිමී...
මම ළමයෝ පැනි උරමී...

වන බඹරා පවසන්නේ කටුවල පැටලී තටු ඉරා නො ගෙන, අවශ්‍ය සාරය උරා බොන්නට මම දක්ෂයි ළමයෝ යනුවෙනි.

රූපවාහිනිය, සමාජ මාධ්‍ය වැනි ආයතනවල ක්‍රියා කරන අය වුව ද කසල තවරාගත් අයකු නම් සමාජයට හිතකර වැඩසටහන් බලාපොරොත්තු විය නොහැක. ජංගම දුරකතන ආදියේ දී වුව ද හොඳ දේ වෙනුවට නරක දේ පමණක් ජීවිතයට ළං කර නිකරුනේ වටිනා කාලය නාස්ති කරන අය අප අතර ඇත.

කසල ගොඩක් බඳු සමාජයේ නමට පමණක් බෞද්ධයකු නොවී සැබෑවට ම බුදු මඟ අනුගමනය කර කසල ගොඩේ විකසිත මලක් මෙන් වෙමු. ප්‍රඥාව දල්වා ගනිමු. කසළ තවරා නොගෙන පිරිසුදු ජීවිතයක් ගත කිරීමට උත්සාහවත් වෙමු.

මැදින් අව අටවක

අප්‍රේල් 01 සඳුදා අ.භා. 09.07
අව අටවක ලබා 02 අඟහරුවාදා අ.භා. 08.05 ගෙවේ.
02 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල්  02

Full Moonඅමාවක

අප්‍රේල්  08

First Quarterපුර අටවක

අප්‍රේල්  15

Full Moonපසළොස්වක

අප්‍රේල්  23

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]