ප්‍රථම ධර්ම සංගායනාව හා ශාස්ත්‍රීය බෞද්ධ අධ්‍යයනය
බුදුරජාණන් වහන්සේ පන්සාළිස් වසක් මුළුල්ලේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය බුද්ධ
පරිනිර්වාණයෙන් මාස තුනක් ඇවෑමෙන් සංගායනා කළ බව මූලාශ්‍රයන්හි සඳහන් වෙයි.
සම්බුද්ධ ශාසනයෙහි අභ්‍යන්තරිකව හා බාහිරව පැමිණි මෙන් ම පැමිණිය හැකි උවදුරු සමනය
කිරීමේ අරමුණින් මහා කාශ්‍යප තෙරුන් ප්‍රමුඛ මහ තෙරවරුන් විසින් ධර්ම ගෞරවයෙන්
සංගායනා කළ බව පෙන්වාදිය හැකි ය.
මගධාධීශ්වර අජාසත් රජුගේ අනුග්‍රාහකත්වය අනුව වේහාර පර්වතයේ සප්තපර්ණි ගුහා ද්වාරයේ
කරවන ලද අගනා මණ්ඩපයක මාස හතක් මුළුල්ලේ සංගායනාව සිදු කළ අතර එම සංගායනාව සඳහා
මහරහතන් වහන්සේ පන්සිය නමක් සහභාගි වූ හෙයින් එය පඤ්චසතිකා ලෙස ද හැඳින්වෙයි.
මෙහිදී අවධානය යොමු කරනු ලබන්නේ ප්‍රථම ධර්ම සංගායනාව ශාස්ත්‍රීය බෞද්ධ අධ්‍යාපනයේ
ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි බව අනාවරණය කිරීම යි. මුල් බුදුසමය තුළම
ධර්මය ශාස්ත්‍රීය ලෙස අධ්‍යයනයට නැඹුරුවක් පැවති බව හඳුනාගත හැකි ය.
මුල් සූත්‍ර දේශනා දෙස විමසිල්ලෙන් බැලීමේ දී මේ පිළිබඳ හඳුනාගත හැකි ය. ඒ අතර
ශාස්ත්‍රීය අධ්‍යයනයේ නැඹුරුතා කිහිපයක් ලෙස සංක්ෂිප්ත දේ විස්තර කොට දැක්වීම, ධර්ම
සංග්‍රහ ගොනු කිරීම, උපුටාගත් ගාථා උධෘත විස්තර කිරීම ආදිය පැවති අතර, සංක්ෂිප්ත දේ
විස්තර කොට දැක්වීමේ දී අනුගමනය කළ ක්‍රමවේද කිහිපයක් හඳුනාගත හැකි ය.
01. ධර්ම පද වෙනම ගෙන ඒවායේ
අර්ථයට සමාන අර්ථ ඇති පර්යාය පද
යෙදීම.
02. ප්‍රස්තුත ධර්මපදයේ ප්‍රභේද දැක්වීම
03. නිදර්ශන කතා ඉදිරිපත් කිරීම
04. පද විග්‍රහ කිරීම.
05. සමකාලීන ඉතිහාස තොරතුරු
දැක්වීම.
ධර්ම සංග්‍රහ ගොනු කිරීම ලෙස මෙහි දී අදහස් වන්නේ නිසි ක්‍රමවේදයකට අනුව ධර්ම කරුණු
සංග්‍රහ කිරීම යි. දීඝ නිකායේ සංගීති හා දසුත්තර සූත්‍ර දෙස අවධානය යොමු කිරීමේ දී
මෙම කරුණු පැහැදිලි වෙයි.
පසුකාලීනව අංගුත්තර නිකායානුගත ධර්ම සංග්‍රහ ක්‍රමයට දසුත්තර සූත්‍රය බලපෑ බව
පැහැදිලි වෙයි. එමෙන් ම පාරායණ වග්ගයේ ගාථාදිය ගෙන වෙනත් සූත්‍රයන්හි විග්‍රහ කොට
ඇති ආකාරය හඳුනාගත හැකි ය. එමඟින් පැහැදිලි වන්නේ උපුටාගත් ගාථා උධෘත ආදිය විස්තර
කරමින් ධර්ම කරුණු පැහැදිලි කිරීමේ සම්ප්‍රදායයක් පැවති බවයි.
තවද ආමිකච්නා, දේශනා, පට්ඨපනා, විවරණා විභජනා ආදී ක්‍රමවේද ඇසුරෙන් ධර්මය විග්‍රහ
කළ සම්ප්‍රදායයක් ද විය. මෙවැනි ශාස්ත්‍රීය අධ්‍යයන ක්‍රම භාවිතය මඟින් පැහැදිලි
වන්නේ මුල් බුදුසමය තුළ ද ශාස්ත්‍රීය අධ්‍යයනයේ නැඹුරුතාවක් පැවති බවයි.
භික්ෂු හා භික්ෂුණි ශාසනයන් මෙහෙයවීමට තමන් වහන්සේගේ ශ්‍රාවකයකු පත් කිරීමට
මැළිවීමත්, ඒ වෙනුවට උන්වහන්සේ දේශනා කළ ධර්මය ශාස්තෘත්වයේ තබා ගැනීමටත් එය
මාර්ගෝපදේශකයා ලෙස සැලකීමට අනුශාසනා කිරීමත් හේතු කොට ගෙන එම ධර්මය හා විනය කවරේද
යන්න තීරණය කිරීම සඳහා ශ්‍රාවකයින්ට කාලය ගත කිරීමට සිදු විය. ධර්මාවබෝධයට වඩා
වැදගත් තැනක් ශාස්ත්‍රවේදයට මේ නිසා ලැබිණ.
මෙම පරිණාමයට මඟ පෑදූ තවත් කරුණක් නම්, බුදුන් වහන්සේගේ කාලයේ දී මෙන් ම
පරිනිර්වාණයෙන් පසුව ද බෞද්ධ ශ්‍රාවකයින් හා අන්‍ය ලබ්ධිකයින් විසින් බුදුන්
වහන්සේගේ ධර්මය විකෘති කොට දැක්වීමයි.
බුදුන් වහන්සේ ජීවමාන ව සිටින විට උන්වහන්සේගේ ධර්මය වැරැදි ලෙස විස්තර කිරීමට
ඉදිරිපත් වූ භික්ෂූන් අතරින් අරිට්ඨ භික්ෂුව සහ සාති භික්ෂුව යන දෙදෙනා වහන්සේගේ
අදහස් සුප්‍රකට ය.
වයස්ගත වී පැවිදි වූ සුභද්දගේ ප්‍රකාශය බුදුදහම ශාස්ත්‍රීය අංශයට යොමු කිරීමට හේතු
විය. චුල්ලවග්ගයේ පඤ්චසතිකත්තක වාර්තාවට අනුව මහා කාශ්‍යප තෙරුන් සංගීතියේ
අවශ්‍යතාව අවබෝධ කොට ගෙන ධර්මය ආරක්ෂා කර ගැනීමේ ක්‍රියා මාර්ගයක් ලෙස ප්‍රථම
සංගීතිය පැවැත්වීමට උත්සුක වී ඇත. සංගීති වාර්තාව නිරීක්ෂණයේ දී පැහැදිලි වන්නේ
විසිරී පැතිරී පැවති සම්බුද්ධ දේශනාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ සංග්‍රහ වූ
බවයි. එහි දී ධර්මය හා විනය වශයෙන් සමස්ත බුද්ධ වචනය වර්ගීකරණය විය.
“අථ ඛො ථෙරා භික්ඛු රාජගහං අගමංසු ධම්මඤ්ච විනයඤ්ච සංගායිතුං....”
මෙලෙස ධර්මය හා විනය අතරින් පළමු කොට ම විනය ශික්ෂාවන්ගේ වැදගත්කම සලකා විනය
සංගායනා කළ බව වාර්තා වෙයි. විනය සංග්‍රහ කරන ක්‍රමවේදය මෙහිදී ඉතා වැදගත් වෙයි.
සෑම විනය ශික්ෂාවක් ම ප්‍රධාන වශයෙන් වත්ථු, නිදාන, පුග්ගල, පඤ්ඤත්ති, අනුපඤ්ඤත්ති,
ආපත්ති හා අනාපත්ති යන ක්‍රමවේද සත යටතේ සංග්‍රහ වන පරිදි සංගායනා කරනු ලැබේ.
මෙම ක්‍රමවේද සත අනුගමනය මඟින් පැහැදිලි වන්නේ විනය සංගායනාව යම් ශාස්ත්‍රීය
ප්‍රස්තුතයක සිට ක්‍රමානුකූල ක්‍රමවේදයක් යටතේ සිදු වූ බවයි. මෙම ක්‍රමවේද සත යටතේ
සතර පාරාජිකාවන් සංග්‍රහ වූ ආකාරය චුල්ලවග්ගයේ දක්වා ඇත. මෙම ක්‍රමයට අනුව උභතො
විභංගය සංග්‍රහ වූ බව තවදුරටත් එහි සඳහන් වෙයි.
විනය සංගායනා කිරීමෙන් අනතුරුව ආනන්ද තෙරුන්ගේ මැදිහත් වීමෙන් ධර්මය සංගායනා කරන
ලදී. එහිදී සෑම ධර්ම පර්යායක් වූ නිදාන, පුග්ගල ආදී ක්‍රමවේද දෙක යටතේ සංගායනා කරන
ලද අතර, එම ක්‍රමවේදයට අනුව පඤ්චනිකාය විමසූ බව සඳහන් වේ. ප්‍රථම සංගීති අවස්ථාවේ
දී ධර්ම පර්යායන් සංග්‍රහ කිරීමේ විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළ බව පැහැදිලි ය.
ඒ අනුව සූත්‍රයන්හි ඓතිහාසිකත්වය හා අනන්‍යතාව තහවුරු කර ගැනීමට හැකි වූ බව
පැහැදිලි ය. සංගීති වාර්තාවේ දැක්වෙන පරිදි බ්‍රහ්මජාල හා සාමඤ්ඤඵල යන සූත්‍රවල ඉහත
ක්‍රමවේදයට අනුව සංග්‍රහ වූ ආකාරය නිදර්ශන ලෙස චුල්ලවග්ග වාර්තාවේ දක්වා ඇත.
ප්‍රථම ධර්ම සංගායනාව පිළිබඳ අපහට තොරතුරු අනාවරණය වන පැරැණිතම මූලාශ්‍රය වන
චුල්ලවග්ග වාර්තාව අනුව පෙනී යන්නේ ධර්මය සංරක්ෂණය සඳහා ශාස්ත්‍රීය ප්‍රස්තුතයක සිට
ආරම්භක පියවර කිහිපයක් ප්‍රථම සංගායනාවේ දී මහ තෙරවරු අනුගමනය කළ බවයි. ඒ අනුව විනය
ශික්ෂා ප්‍රධාන ක්‍රමවේද සතක් යටතේ උභතෝවිභංගය ලෙස සංග්‍රහ කළ අතර ධර්මය ප්‍රධාන
ක්‍රමවේද දෙකක් යටතේ පඤ්ච නිකායක් ලෙස සංග්‍රහ කරන ලද බවයි.
වර්තමානයේ විද්‍යමාන අභිධර්ම පිටකය පිළිබඳ හෝ අභිධර්මය පිළිබඳ සඳහනක ප්‍රථම සංගීති
චුල්ලවග්ග වාර්තාවේ සඳහන් නොවේ. ථේරවාද සාම්ප්‍රදායික මතය අනුව මෙම ගැටලුව නිරාකරණය
කොට ඇත්තේ පඤ්චනිකාය තුළ අභිධර්මය ඇතුළත් ව පවතින බව දැක්වීමෙනි. මේ පිළිබඳ ව මඳක්
විමසා බැලිය යුතුව පවතී.
මහතෙරවරුන් විසින් ධර්මය සංගායනා කිරීමේ දී අනුගමනය කළ ප්‍රධාන ක්‍රමවේදයක් පිළිබඳ
වූ දීඝනිකායට්ඨ කතාවේ සඳහන් වෙයි. එහි දැක්වෙන පරිදි ධර්මය හා විනය සංගායනා කරන විට
මහ තෙරවරු සංස්කරණ කාර්යයක නිරත වී ඇත. එම සංස්කරණය කරන ලද්දේ යම්කිසි න්‍යාය
පත්‍රයක් මත බව පැහැදිලි ය.
එනම් ඉවත් කළ යුතු දෑ ඉවත් කොට, එක් කළ යුතු දෑ එක් කිරීම ය. මෙහිදී අනුගමනය කළ
න්‍යාය වූයේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයේ ඉවත් කළ යුතු කිසිවක් නොමැති අතර, එයට හේතු
වී ඇත්තේ තථාගතවරු අර්ථ රහිත එක් අකුරක්වත් නො කියන බැවින් බව ය.
එමෙන් ම ශ්‍රාවකයන්ගේ හෝ දේවතාවන්ගේ හෝ භාෂිතයෙහි ඉවත් කළ යුතු දේ ඇති අතර ධර්ම
සංග්‍රාහක තෙරවරු ඒවා ඉවත් කරන ලදි. මෙහිදී බුද්ධ භාෂිතය හා ශ්‍රාවක භාෂිතය අතර
පවතින ගැටලුවක ඡායාවක් හඳුනාගත හැකි ය. මහතෙරවරු විසින් සංගායනාවේ දී ශ්‍රාවක
භාෂිතයේ පැවති අඩුපාඩු ඉවත් කොට සංස්කරණය කළ බව මේ අනුව පැහැදිලි වෙයි.
එමෙන් ම මහතෙරවරු එකතු කළ යුතු දෑ එකතු කළහ. එලෙස එකතු කරන ලද්දේ ‘තෙනු සමයෙන’ තෙත
ඛොපන සමයෙන අථඛො’ ‘එවං වුත්තේ’ ‘එතදවොච යන සම්බන්ධක වචන පමණි. පෙළ පුරාම මෙවැනි වචන
හඳුනාගත හැකි ය. එම වචන ප්‍රථම ධර්ම සංගායනාවේ දී ධර්මය හා විනය සංස්කරණයේ දී එකතු
වූ ඒවා ය.
මෙහිදී පැහැදිලි වන්නේ ප්‍රථම සංගායනාවේ දී මහ තෙරවරු යම්කිසි න්‍යායානුගත
ක්‍රමවේදයකට අනුව ශාස්ත්‍රීය ලෙස ධර්ම විනය සංග්‍රහ කළ බවයි.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
මයුරපාද පිරිවෙන් මහා විහාරාධිවාසී
රාජකීය පණ්ඩිත,
ශාස්ත්‍රපති, ශාසන කීර්ති ශ්‍රී
රත්මලානේ රතනසිරි හිමි |