සමව
දිවි පැවැත්මේ
වටිනාකම හඳුනාගන්න
බුදු දහම පරලොවට හිත සුව පිණිස දේශනා කරන ලද දහමක් ලෙස ඇතැම් දෙනා විශ්වාස කරති.
නමුත් එම විශ්වාසය නිවැරැදි නො වන බවත්, සත්‍ය නො වන බවත් බුදුදහම වූ කලී දෙ ලොවට ම
අභිවෘද්ධිය සලසා දෙන්නා වූ දහමක් බවත්, එය ජාති, ආගම් රටවල් භේදයකින් තොරව සැමට
සාධාරණ වූ අකාලික දහමක් බවත් සඳහන් කළ යුතු ය.
ත්‍රිපිටකයේ විවිධ සූත්‍ර දේශනා විමසා බැලීමෙන් ඉහත කාරණාව මනාව පැහැදිලි වේ. අපගේ
විමසුමට භාජනය වන ව්‍යග්ඝපජ්ජ සූත්‍ර දේශනාව ද එයට හොඳම නිදසුනකි.
භාග්‍යවතුන් වහන්සේ විසින් දීඝජානු කෝලිය කුල පුත්‍රයාට මෙම ව්‍යග්ඝපජ්ජ සූත්‍ර
දේශනාව දේශනා කර ඇත. මේ සූත්‍ර දේශනාවෙන් මෙලොව දියුණුවට හේතුවන කරුණු සතරක් හා
පරලොව දියුණුවට බලපාන කරුණු සතරක් විස්තර කෙරේ.
මෙලොව දියුණුවට
*
වීර්යය හෙවත් උත්සාහ සම්පත්තිය
*
උපයා ගත් වස්තුව රැක ගැනීම නම් වූ ආරක්ෂා සම්පත්තිය
*
යහපත් මිත්‍ර සේවනය නම් වූ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය
*
අයවැය දෙක සමව පවත්වා ගැනීම නම් වූ සමජීවිකතාව
මරණින් මතු දියුණුවට
*
තෙරුවන් කෙරෙහි පවත්නා විශ්වාසය වන ශ්‍රද්ධා සම්පත්තිය
*
කය වචන දෙකෙහි සංවරය නම් වූ සීල සම්පත්තිය
*
පරිත්‍යාගය හෙවත් දීම නම් වන ත්‍යාග සම්පත්තිය
*
විදසුන් නුවණ වූ ප්‍රඥා සම්පත්තිය යන පරලොව හිතසුව පිණිස වන කරුණු සතරයි.
මේ කරුණු අට අතරින් මෙලොව හිත සුව පිණිස හේතු වන සතර වන කරුණ වන්නේ සමජීවිකතාව යි.
මෙතැන් සිට එම කාරණය පිළිබඳ කෙටියෙන් විමසා බලමු.
සම දිවිපැවැත්ම කවරේ ද? මේ ලෝකයේ කුළ පුත් තෙමේ භෝගයන්ගේ අයවැය දැක ඉතා වැඩිත්
නොකොට, ඉතා අඩුත් නො කොට, මෙසේ මාගේ අයවැය ඉක්මවා සිටී. මෙසේ අයවැය ඉක්මවා නො සිටි
යැයි සමව දිවි ගෙවයි. එය උපමාවකින් මෙසේ දැක්වේ.
“තරාදියකින් බඩු කිරන්නෙක් මෙ පමණ බඩු දැමීමෙන් ඉහළ යන්නේ ය. මෙ පමණ බඩු දැමීමෙන්
පහළ යන්නේ යැයි දැන දෙපැත්ත ම අඩුවැඩි නො කොට සමව තබා ගෙන බඩු කිරන්නා සේ ධන සම්පත්
උපයන්නා වූ පුද්ගලයා තමා උපයන ධනය අය හා වැය ඉක්මවා නොයන ආකාරයට සමව පවත්වා ගෙන
කටයුතු කර ගෙන යාම සමජීවිකතාව නම් වේ. එසේ වියදම් කිරීම තුළින් මෙලොව හිත සුව පිණිස
උපයන ධනය පරිහරණය කරන්නේ නම් වේ.
ධන පරිහරණය පිළිබඳ ඉතා විශිෂ්ට ඉගැන්වීමක් සිඟාලෝවාද සූත්‍ර දේශනාවෙහි අන්තර්ගත වේ.
එහි දී උපයන ධනය සිව් කොටසකට බෙදා ඉන් එක් කොටසක් තමාගේ පරිභෝජනය සඳහාත්, අනෙක්
කොටස් දෙක තමා නියුතු රැකියාවේ දියුණුව සංවර්ධනය සඳහා යොදාගත යුතු බවත්, සිව්වන
කොටස ජල, නියග සොරසතුරු ආදී කරදර විපත්තිකර අවස්ථාවක ප්‍රයෝජන ගැනීම සඳහා තැන්පත්
කර සුරැකිව තැබිය යුතු බවත් එහි සඳහන් වේ.
එසේ ධනය පරිහරණය කිරීම ආර්ථික සංවර්ධනය කර ගැනීමට ඉතාමත් යෝග්‍ය මඟ පෙන්වීමකි. මේ
ආකාරයට ධනය නිසි කළමනාකාරිත්වයක් යටතේ කටයුතු කළ තරුණයකු ඒ නගරයේ ම මහා ධන සිටුවරයා
බවට පත් වූ ආකාරයත් චුල්ලසෙට්ඨි ජාතක කතා පුවතින් මනාව පැහැදිලි වේ. ඔහු බුද්ධිමත්
ආකාරයෙන් මී කුණක් විකුණා ආරම්භ කළ ව්‍යාපාරය දියුණු කර ගත්තේ බුද්ධිමත් ආකාරයෙන්
ධන පරිහරණය කිරීම නිසා බව පෙනේ.
පුද්ගලයා උපයන ධනයෙන් ලබන ප්‍රයෝජන විවිධ තැන්වල විස්තර කර ඇත. අංගුත්තර නිකායේ
සූත්‍ර දේශනාවක ධනයෙන් ගත යුතු ප්‍රයෝජන පහක් දැක්වේ.එම කරුණු පහ මෙසේ සඳහන් වේ.
තමාගේ ප්‍රයෝජනයට ගැනීම, තම මව්පිය අඹුදරු දැසි දස් කම්කරු ආදී තමන්ගෙන් යැපෙන්නන්
පෝෂණය කිරීම. තමාගේ හිත මිත්‍රයන්ට සංග්‍රහ කිරීම. සොර සතුරු ගිනි ජල ආදී විපත්ති
කරදර අවස්ථාවන්හි දී ප්‍රයෝජනයට ගැනීම, තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු කිරීම, ඒවා
පංචබලි නමින් දැක්වේ ඥාති බලි, ආගන්තුක සංග්‍රහයට, මිය පරලොව ගිය නෑයන්ට පින් දීම,
දෙවියන්ට පුද පඬුරු දීමට, රජයේ ආදායම් බදු ගෙවීමට. තමාගේ මතු සසර ගමන සැපවත් කර
ගැනීම සඳහා සිල්වත් ගුණවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් පැන් දීම පරිත්‍යාග කිරීම ආදිය
ධනයෙන් ගත යුතු ප්‍රයෝජන ලෙස එහිදී දක්වා ඇත. මේ පිළිබඳ කෙටියෙන් ම ප්‍රකාශ කරන්නේ
නම් දීම හෙවත් පරිත්‍යාගය හා පරිභෝජනය ධනයෙන් ගත යුතු ප්‍රයෝජන වශයෙන් දක්වා ඇත.
ඉහත කරුණු සපුරා ගැනීම සඳහා ධන සම්පත් යෙදවිය යුත්තේ කෙසේදැයි විමසා බලන විට
පෙනෙන්නේ අය හා වැය පිළිබඳ නිසි අවබෝධයකින් යුතුව කටයුතු නො කරන බවයි. ලොව වෙසෙන
සෑම දෙනාම එක හා සමාන ධනය ඇති පුද්ගලයෝ නොවෙති. ඔවුනොවුන් ගේ ආදායම් විවිධ ය. එනිසා
සෑම දෙනාට ම එක හා සමාන විය පැහැදම් කිරීමට නො හැකි ය.
ධනය ඇති පුද්ගලයා තමාගේ විවිධ අවශ්‍යතාවන් සඳහා ඉතා විශාල ධනයක් විය පැහැදම් කරයි.
නමුත් දුප්පත් පුද්ගලයාටත් එසේ තම අවශ්‍යතාව සඳහා විශාල ධනයක් වැය කළ නො හැකි ය.
නමුත් සමාජයේ විවිධ පුද්ගලයන් කටයුතු කරන ආකාරයට ඔවුහු කටයුතු කරන්නට ගොස් විවිධ
බැංකු, සමිති සමාගම්වලින් ණයට මුදල් ගෙන විය පැහැදම් කිරීමට පුරුදුව ඇත. එසේ කළත්
ඔවුන්ට පසුව එම මුදල් ගෙවා ගත නොහැකිව ණය මුදල්වලට පොළී ගෙවමින් අවසානයේ ගේදොර
වතුපිටිත් උකසට තැබීමට සිදුවන අතර, ලොවට ම ණයකාරයන් වී මානසිකව පීඩා විඳීමින්,
දහදුක් විඳීමින්, අවමන් ලබමින් සිට අවසානයේ ජීවිතය විනාශ කර ගැනීමට පවා සිදු වූ
පුවත් දක්නට ලැබේ.
මිල මුදල් ඇති අය එසේ විය පැහැදම් කළත් දුප්පත් පුද්ගලයා තමාගේ ආදායම් තත්ත්වය ගැන
සිතා ඒ ලැබෙන මුදලට සමාන විය පැහැදම් කිරීමට අවශ්‍යතා පිරිමසා ගැනීමට පුරුදු විය
යුතු වේ.
අවශ්‍ය දෙයට හා අනවශ්‍ය දෙයටත් විශාල වශයෙන් මුදල් විනාශ කිරීම පුද්ගලයෙක් දිවුල්
කෑමට සමාන කර දක්වා ඇත. දිවුල් කෑමට කැමති පුද්ගලයා ගසට නැඟ එහි අතු සොලවා ඉදුණු
පැසුණු හා ගැට ආදී සියල්ල ම කඩා දමා ඉදුණ ගෙඩි පමණක් රැගෙන යයි. අනෙක් ඒවා ගස යටම
විනාශ වීමට ඉඩ හරී. මුදල් තිබුණත් අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීමත් එවැනි ය. එබඳු
කි‍්‍රයාවන් බෞද්ධ ආර්ථික දර්ශනයට එකඟ නොවේ. පුද්ගලයකුගේ ධනය විනාශ වන ක්‍රම
රාශියක් දහමේ දක්වා ඇත. ඉන් ප්‍රධාන කරුණු සතරක් වශයෙන් දක්වා ඇත්තේ ස්තී‍්‍ර
ලෝලත්වය, සුරාවට සූදුවට ලොල් බව හා පාප මිත්‍ර සේවනය, ධන විනාශයට ප්‍රධාන කරුණු
සතරක් වශයෙනි. මේ එක් කාරණාවක් වුවත් ධන විනාශයට ප්‍රමාණවත් බව වර්තමාන සමාජය
තුළින් වුව ද පැහැදිලි වේ. කරුණු සතරම යෙදුනහොත් කවර කතා ද?
කොතෙක් ධනය තිබුණත් පාප මිත්‍ර සේවනය නිසා ඉතා සුළු කලකින් ධනය විනාශ වී යන බව
පෙන්වීමට හොඳම නිදසුනක් ලෙස මහධන සිටු පුත්‍රයාගේ කතා පුවත යෝග්‍ය වේ.
මේ සිටු පුත් හට මව්පිය උරුමෙන් අසූ කෝටියක් ධනයටත්, සිය බිරිඳගේ පාර්ශ්වයෙන් ලැබූ
අසූ කෝටියක් ධනයටත් මහධන සිටුපුත් භාග්‍යවන්තයෙක් විය. නමුත් මොහු ධන පරිහරණය
පිළිබඳ කිසිසේත්ම සිහිනුවණින් කටයුතු කළ බව දක්නට නොවීය. පාප මිත්‍රයන් හා එක්ව
දිවා රෑ නො බලා ස්තී‍්‍ර ලෝලීව, සුරාවට ලොල්ව, සූදුවට ලොල්ව කටයුතු කර විශාල
ධනස්කන්ධය සුළු කාලයකින් අවසන් කර අන්තිමේ සියලු සේසතම අහිමිව සිය බිරිඳ සමඟ මහ මඟ
සිඟා කෑමට සිදුවීම ඊට හොඳම නිදසුන වේ. විලකට ජලය ලැබෙන මාර්ග වසා වතුර පිටවන දොරටුව
පමණක් විවෘත කිරීමෙන් ජලය සිඳී යන්නා සේ ධනය විනාශ වේ. එහෙයින් ධන පරිභෝජනය මනා
අවබෝධයෙන් ම කළ යුතු බව කිව යුතු ය.
තවද ධනයට ලෝභීව ඒවා විය පැහැදම් නොකර ආරක්ෂා කිරීමත්, මහත් අනුවණකමකි. මහත් ධනයක්
තිබී නමුත් තමාගේ ප්‍රයෝජනයට හෝ අඹු දරුවන්ගේ හෝ ප්‍රයෝජනයට නො ගෙන ආරක්ෂා කිරීම
රකුසකු අරක්ගත් විලක් මෙන් එම ධනය ඵල රහිත වේ. රකුසන් අරක්ගත් විලක සීතල මිහිරි ජලය
කිසිවකු හටත් පයෝජනයට ගත නොහැකිව අවසන පොළවට ම සිඳීයන්නේ යම් සේ ද, එමෙන් ලෝභී
පුද්ගලයාගේ ධනයටත් එම ඉරණම ම අත් වේ.
කිසිවකු හටත් ප්‍රයෝජනයක් ලබාගත හැකි නොවේ. එසේ ධනය හරිහම්බ කර නොකා නොබී මරණයට
පත්වීම අනාථ මරණය ලෙස දහමෙහි හැඳීන්වේ.
අතීතයේ විසූ ඉල්ලීස සිටු, තෝදෙය්‍ය සිටු, මච්ඡරිය කෝසිය සිටු, අපුත්තක සිටු වැනි
චරිත තුළ ලෝභීව නොකා නොබී තම ධනය රැස්කර තබා මිය ගිය අයුරු එම සිද්ධි තුළින්
අනාවරණය වේ. එහෙයින් අවශ්‍ය දෙයට වියදම් කිරීමත් අය යම් සේ ලැබේ ද එලෙසම වැය
වියදමත් සමව කරන්නේ නම් එය සමජීවිකතාව වේ.
ගිහියකු විසින් ලැබිය හැකි සැප සතරක් වන අත්ථි සැපය,භෝග සැපය, අණන සැප හා අනවජ්ජ
සැපය වේ. මේ සැප සතරට ම හිමිකාරයකු වීමට නම් ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ සඳහන් වන උත්සාහ
සම්පත්තිය, ආරක්ෂා සම්පත්තිය, කල්‍යාණ මිත්‍රත්වය හා අය වැය සමව පවත්වා ගැනීම
අවශ්‍ය වේ. එවිට ඉහත සැපයට හිමිකාරයකු විය හැක.
එසේනම් එම සැප ලබන්නට ධනය කෙරෙහි අධික ලෝභයක් නැතිව, අනවශ්‍ය ආකාරයට ධනය වියදම්
කරන්නේ නොමැතිව තමාට ලැබෙන ධනයෙන් සෑහීමකට පත් ව සන්තුස්සකෝ යන ගුණය ඇතිව පහසුවෙන්
පෝෂණය කළ හැකි බව සුභර ගුණයත් ඇතිව කටයුතු කිරීමෙන් මෙලොව දියුණු ඇති කර ගත හැකි
වේ. මෙලොව ජීවිතය යහපත් වූ කල පරලොව ජීවිතයත් යහපත් වේ. ඒ අනුව දෙලොව දියුණුවට මේ
කරුණු මැනවින් උපකාර වන බව මෙයින් පැහැදිලි වේ.
පොතුහැර දෙගල්ලස්සේගෙදර
සංඝබෝධි පරමානන්ද විහාරාධිපති.
දඹදෙණි හත්පත්තුවේ ද්විතීය
සංඝනායක
මාබෝපිටියේ විමලඤාණ හිමි |