දැනුම විනය සදාචාරය සපිරි තෝතැන්න
දහම් පාසලයි
තමන් වපුරන දෙයට අනුකූල ව අස්වැන්න ලැබෙන්නාක් මෙන් යහපත් කටයුතු උදෙසා යහපත්
ප්‍රතිඵල ද, අයහපත් කටයුතු සඳහා අයහපත් ප්‍රතිඵල ද ලැබේ. එ නිසා යහපත් ප්‍රතිඵල උදා
කර ගැනීමට ශක්තිමත් අඩිතාලමක් තිබිය යුතු ය. දහම් අධ්‍යාපනය තුළින් පුද්ගල දිවියට
ලැබෙනුයේ මහත් ආශිර්වාදයකි. එය දැනුම, විනය, සංස්කෘතිය, සදාචාරය සපිරි තෝතැන්නකි
දහම් අධ්‍යාපනය යනු බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවැරැදි මාර්ගය නොහොත් පිළිවෙත
මනාව අධ්‍යයනය කිරීම යි. දහම් අධ්‍යාපනයක් අවශ්‍ය වන්නේ නො මඟ ගිය පිරිස් සුමගට
ගැනීම සඳහා ය. මානව වර්ගයා ක්‍රමයෙන් වැඩිවියට පත්වීමත් සමඟ ආගන්තුකව එන ක්ලේශ
ධර්මයන් නිසා වෙනසට බඳුන් වේ. ඕනෑම පුද්ගලයෙක් රාග, දෝෂ, මෝහ, ශ්‍රද්ධා, බුද්ධි හා
විතක්ක යන චරිත හයෙන් එකකට හෝ කීපයකට හසු වේ.
දහම් අධ්‍යාපනය පුළුල් වශයෙන් දියත් කිරීම උදෙසා දහම් පාසල් ක්‍රමය ආරම්භ විය. ඒ
සඳහා
පළමු දහම් පාසල ආරම්භ කරන ලද්දේ 1895 අගෝස්තු මස 03 වන දින, ගාල්ල වැලිවත්තේ
විජයානන්දාරාමයේ දී, අමෙරිකන් ජාතික ඕල්කට්තුමා හා රුසියන් ජාතික බ්ලැවැස්ට්කි යන
දෙපළගේ ප්‍රධානත්වයෙනි. දහම් පාසල් ආරම්භයත් සමඟම මෙරට අධ්‍යාපන කේෂ්ත්‍රයේ
විපර්යාසයක් සිදුවුව ද වර්තමානයේ එය තරමක් දුරට වෙනස්වී ඇත.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් කරුණු අධ්‍යයනය කිරීම මෙන් ම ඒවා ජීවිතයට ළඟා කර
ගනිමින් යහපත්, දැහැමි ජීවිතයක් ගත කිරීමට දරුවා හුරුකිරීම ද දහම් අධ්‍යාපනය තුළින්
සිදු වේ. එනම් මෙතෙක් පැවැති පාසල් අධ්‍යාපනය මඟින් මොළය දියුණු කළ ළමයා ඊටපසු හදවත
දියුණු කිරීමට ද පුරුදු වීම ය.
“අධ්‍යාපනය යනු ජීවත් වීමේ ක්‍රියාවලියක් මිස අනාගත ජීවිතය සඳහා ජීවත්වීමක් නෙවේ”
යන ජොන්ඩිව් නම් වූ අධ්‍යාපනඥයාගේ මතයට සාපේක්ෂ ව දහම් පාසල් අධ්‍යාපනය ද
ප්‍රායෝගික වශයෙන් ජීවිතයට සම්බන්ධ කර එයින් නිවැරැදි ගමන් මඟක් පාදාදීමකි.
පාසල් අධ්‍යාපනය මඟින් විවිධ විෂයයන් පිළිබඳ දැනුමක් ඇති උගතුන් බිහි කරයි.
පුද්ගලයකු විෂයයන්ගෙන් පමණක් උගත් වූ පමණින් ඔවුන් සාර්ථක නැත. සමාජයට වින කරන,
මව්පියන්ට නො සලකන, අනුන්ට හිංසා කරන, මුදලට යටත් වී නොයෙකුත් අපරාධ කරන උගත්
වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතීඥවරුන් කොතෙකුත් අද සමාජයේ දක්නට ඇත. ඔවුන්ගෙන් රටට
හා සමාජයට කිසිදු යහපතක් නැත.
දහම් පාසල පුද්ගලයා හික්මවන, ගුණ ගරුක, චරිතවත් කෙනකු බවට පත්කරවන මධ්‍යස්ථානයකි. ඒ
සඳහා බුද්ධ චරිතය, ජාතක කථා හා ආදර්ශවත් චරිත මත පදනම් වූ විෂයානුබද්ධ කරුණු උපයෝගී
කර ගනු ලැබේ. එය සෑම දරුවෙක් ම ලබා ගත යුත්තේ ළමා මනස සංවර්ධනය කර ගැනීම උදෙසා ය.
ළමා පරපුර වැනසී යන නපුරු මාවත් වසා දමා දරුවන් පිළිබඳ හොඳ අවබෝධයකින් සිටීමත්,
එවැනි ළමා පරපුරට දහම් අධ්‍යාපනයේ වටිනාකම පහදා දීමත් වැඩිහිටියන්ගේ බලවත්
යුතුකමකි. එහිදී කුමන ආකාරයේ සිතුම් පැතුම්, හැඟුමන් ඇති අය සමඟ බාල පරපුර මිතුරු
වී සිටීද යන්න ගැන සැලකිලිමත් වීම වැදගත් වේ.
ළමා මනස තුළ සෑම දෙයක් කෙරෙහි ම ආදරයක්, සුබවාදී ආකල්පයක් ඇතිවන අයුරින් ක්‍රියා
කිරීම දහම් ගුරුවරයාගේ වගකීම හා යුතුකම වේ. ඔවුන් තුළ දැනුම, ආකල්ප, කුසලතා, ඇතිවන
අයුරින් ක්‍රියා කළ යුතුව ඇත්තේ ඉතා සැලකිල්ලෙන් හා ඉවසීමෙන් බව මතක තබාගත යුතු
කරුණකි. කුමන අවස්ථාවකදීවත්, ළමා මනස තලාපෙළා දැමීම නුසුදුසු ය. දඬුවම් කිරීමට
අවශ්‍ය තැනක දී මානුෂීය දඬුවම් ක්‍රම ද අනුගමනය කළ යුතුව ඇත. තිලමුට්ඨි ජාතක කතාව
ඇසුරෙන් දඬුවමේ ගුණ අගුණ කියාදීමට හැකි වේ.
ආදරය හා විශ්වාසය නැති වී යන විට ළමා මනස අපවිත්‍ර වීමේ ප්‍රවණතාව වැඩි වන අතර ඒ
තුළින් සිදුවන්නේ අසහනකාරී ලොවකට ළමා මනස පත්කිරීම ය. එනිසා ළමා පරපුරට ප්‍රධාන
වශයෙන් ආදරය අවශ්‍ය වේ. ඔවුන්ට ආදරය කරන්නේ වැඩිහිටියන් පමණක් නොව දෙවියන්, බඹුන්
හා සතුන් ඇතුළු ජීව ලෝකය ද ගස්වැල් වැනි අජීව ලෝකය ද දරුවන්ට ප්‍රතිචාර දක්වනු ඇත.
වත්මන්හි දහම් අධ්‍යාපනයට ලැබී ඇති වටිනාකම මීට වඩා වැඩි දියුණු කළ යුතු ය.
සතියකට එක දිනයක් පමණක් පවතින දහම් පාසලට තම දරුවා පිටත්කොට, දහම් අධ්‍යාපනයකට හුරු
කිරීමට අපොහොසත් වන දෙමව්පියන්ට ඒ ගැන පසුතැවිලි විය යුතුවේ.
“තාදිසං වපතේ බීජං -
යාදිසං හරතේ ඵලං”
බුදු දහම තුළ විස්තර වනුයේ තමන් වපුරන දෙයට අනුකූල ව අස්වැන්න ලැබෙන්නාක් මෙන්
යහපත් කටයුතු උදෙසා යහපත් ප්‍රතිඵල ද, අයහපත් කටයුතු සඳහා අයහපත් ප්‍රතිඵල ද ලැබෙන
බවයි. එ නිසා යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමට ශක්තිමත් අඩිතාලමක් තිබිය යුතු ය. දහම්
අධ්‍යාපනය තුළින් පුද්ගල දිවියට ලැබෙනුයේ මහත් ආශිර්වාදයකි. එය දැනුම, විනය,
සංස්කෘතිය, සදාචාරය සපිරි තෝතැන්නකි. පුද්ගල ආධ්‍යාත්මය ගොඩනැඟීමට එමඟින් ලැබෙන
පිටිවහල අතිමහත් ය. ජීවිතයේ යථාර්ථය සහ එය පවත්වා ගත යුතු අන්දම දහම් පාසල මඟින්
පුද්ගල සිතට ඒත්තු ගන්වයි. එසේ ම දහම් පාසල් සිය ගණනක් ඉදිකළහොත් සිරගෙවල් ද දහස්
ගණනක් වැසී යනු නො අනුමාන ය. මන්ද පුද්ගල දිවිය ගොඩනැඟීමට දහම් අධ්‍යාපනය බොහෝ
බලපෑමක් එල්ල කරන බැවිනි.
වර්තමානය වන විට මෙම තත්ත්වය බොහෝදුරට වෙනස් තත්ත්වයකට පත්ව ඇත. සැබැවින් ම මෙය
මහත් ශෝචනීය තත්ත්වයකි. එසේම මහත් විනාශයකට මූලාරම්භයක් ලෙස ද මෙය දැක්විය හැකි ය.
අද මෙවන් තත්ත්වයකට සමාජය ඇද වැටීමට බොහෝ සාධක බලපා තිබේ. කාර්මීකරණය, නාගරීකරණය හා
ගෝලීයකරණය ඒ අතරින් ප්‍රධාන වේ. රටක සංවර්ධනයට එම සාධක අවශ්‍ය බව මනා ය.
සමහර දරුවන් තුළ ධර්මය පිළිබඳ කිසිම වැටහීමක් නොමැති තරම් ය. එසේම දහම් පාසල්
අධ්‍යාපනය ලැබීම ද ඔවුහු පැහැර හරිති. ඇතැම් විට මවුපියන් ද එම තත්ත්වයට අනුබල
දෙති. මන්ද ඔවුන්ට දහම් පාසලට වඩා අතිරේක පන්ති වටිනා බැවිනි. නමුත් අවසානයේ විෂයය
කේන්ද්‍රීය දැනුම පමණක් සහිත ප්‍රචණ්ඩත්වය රජයන සමාජයක් බිහිවේ.
දහම් පාසල තුළින් පමණක් ම ගුණගරුක, යහපත් දරුවකු බිහි කිරීම කළ නොහැක. ගුණගරුක
දරුවකු බිහි කිරීමේ ක්‍රියාවලියේ දී පාසල හා මව්පියන් එහි කොටස්කරුවන් වන්නේ ය.
ඔවුන්ට ද එහිදී ඉතා භාරදූර කාර්‍යභාරයක් පැවරී ඇත.
මව්පියන් සුනඛ කූඩුවලට දමන දරුවන්, දරුවන් කුණු බක්කිවලට දමන මව්පියන්, මනුෂ්‍ය
ඝාතකයන්, අපරාධකරුවන් බොහොමයක් බිහි වී ඇත්තේ ද, ළමා නිවාස හා වැඩිහිටි නිවාස
බොහොමයක් ඉදි වී ඇත්තේ ද දහම් අධ්‍යාපනය නිසි ලෙස නො ලැබීම නිසාවෙනි.
එසේම දහම් පාසලේ මූලික පරමාර්ථය, අරමුණ පිළිබඳ ව සමාජයට නිවැරැදි වැටහීමක් නොමැති
වීම ද වත්මන් ශෝචනීය තත්ත්වයට ප්‍රබල සාධකයකි. කෙසේ නමුත් පළමුව දහම් පාසල්
අධ්‍යාපනයේ වටිනාකම තේරුම් ගත යුතු වේ. එමඟින් ප්‍රචණ්ඩත්වයෙන් තොර ආදරණීය,
සාමකාමී, නිවහල් සමාජයක් බිහිවනු නිසැක ය. මෙසේ දහම් අධ්‍යාපනයෙන,් රටට වැඩදායී
ගුණදායී පුරවැසියන් බිහිවේවා'යි ප්‍රාර්ථනා කරමි.
අලවතුගොඩ ශ්‍රී ධර්මෝදය මූලික පිරිවෙනේ ආචාර්ය,
අස්ගිරි මහා විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී,
වල්පොල ධම්මානන්ද හිමි |