[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

මැදින් අව අටවක 2023-03-15

මායාවක් නොවන සතුට ඇති තැන

මිනිසා සියල්ල කරන්නේ සතුටින් ජීවත් වන්නට ය. සුව පහසුව පිණිස ය. කෙනකුගෙන් කෙනකුට වෙනසකට ඇත්තේ සතුට උපයා ගන්නා විදිහේ ය.

මේ දේ හරි යැයි මුළා වූ කෙනෙක් වැරැදි මඟ යමින් සුවය සොයති. තවත් කෙනෙක් කවර හේතුවක් නිසා හෝ අඩුම තරමින් සිය මව්පිය දූ දරුවන් නිසා හෝ වරදක් කිරීමට නො පෙළඹෙති. ඔවුහු ජීවිතයේ සුව සොයනුයේ දැහැමිව ය.

මේ දෙපිරිස ම සමාජයේ ජීවත්වෙති. එහෙත් තමන්ටත් අනුන්ටත් අනර්ථයක් කර නොගෙන ධාර්මික සතුටක් විඳිනුයේ කවර හේතුවක් නිසා හෝ තමන්ගේ ධාර්මික ප්‍රතිපත්ති කඩ කර නොගන්නා පුද්ගලයා ය. එවැන්නෝ පවුලට, ගමට, රටට, ලෝකයට ද ගෙන දෙන්නේ සැනසුමකි. සැබෑ බෞද්ධයා එවැන්නෙකි. ඔහු කවර හේතුවක් නිසා හෝ පාපයට නැඹුරු නොවේ. පවෙහි ලජ්ජා බිය ඇත්තෙක් වේ.

න අත්තහෙතුª න පරස්ස හෙතු
න පුත්තම්ච්ඡෙ න ධනං න රට්ඨං
න ඉච්ඡ්‍යෙය අධම්මෙන සමිද්ධි මත්ත නො
ස සීලවා පඤ්ඤවා ධම්මිකො සියා

ධම්ම පදයෙහි සඳහන් වන්නේ නුවණැති පුද්ගලයා තමන් නිසා පව් නො කරන්නේ ය. අනුන් නිසා පව් නො කරන්නේය. ඔහු සිය දියුණුව අදැහැමි බවින් කිසිවිටෙකත් නො පතන්නේ ය. නොකැමැති වන්නේ ය. ගිහියෙක් වුව ද පැවිද්දෙක් වුව ද ඒ තැනැත්තා සිල්වතෙකි. නුවණැත්තෙකි යනුවෙනි. මේ සැබෑ බෞද්ධයන්ගේ ස්වභාවය යි.

මෙම ගාථා ධර්මයට නිදානය වූ කතා පුවත දැන ගැන්ම ද බෞද්ධයාට ඉතා වැදගත් වන්නේ තම යහපත් අරමුණු මුදුන් පමුණුවා ගන්නට ඉවසීමෙන් බාධක ජය ගත යුතු ආකාරයත්, ආදර්ශ සම්පන්න ජීවිතය තුළ ඇසුරු කරන පිරිස් ද ජීවිතය අර්ථ සම්පන්න කරගන්නා ආකාරයත් අපූර්ව ලෙස විස්තර කෙරෙන බැවිනි.

සැවැත්නුවර ධම්මික නම් උපාසකයෙක් විය. දැහැමෙන් දිවි ගෙවූ ඔහු සිත බොහෝ කලක පටන් පැවිදිවීමේ බලවත් කැමැත්තක් ඇතිවුණි. ඒ බව සිය බිරිඳට දැන්වූ පසු ඇය කියා සිටියේ ඔහුට දාව ඇයගේ කුස දරුවකු පිළිසිඳගෙන ඇති බවත්, දරුවා බිහිවන තෙක් නො සිට මහණ වුවහොත් එය තමන්ට නිගාවක් වන බවත් ය. එහෙයින් දරුවා බිහිවුණු පසු මහණ වන ලෙස ඇය ඉල්ලා සිටියා ය.

උපාසක ද ඇයගේ කැමැත්තට ඉඩ දුන්නේ ය. දරුවා බිහිවීමෙන් පසු පැවිදි ජීවිතයට එළඹ උන්වහන්සේ භාවනාවට ම සිත යොමු කර වෙර වීර්ය වඩා රහත් ඵලය ලැබූහ. තම පියාණන් වූ ධම්මික තෙරුන්ගේ අනුශාසනා ලද පුතු ද පැවිදි විය. පිළිවෙත් පිරීමෙහි පසුබට නොවූ උන්වහන්සේ ද කලෙකින් රහත් බවට පත් වූහ.

සිය පුතු ද පැවිදි දිවියට ඇතුළත් වීම මවට දැරිය නොහැකි පාඩුවක් විය. එහෙත් තුනුරුවන කෙරෙහි ඇය ද බොහෝ සැදැහැ ඇත්තී ය.

“මම යම් කෙනෙක් නිසා ගිහිගෙයි විසුවෙමි ද මට සැනසුම ගෙන දුන් සැමියාත්, පුතාත් දෙදෙනා ම උතුම් සම්බුදු සසුනේ පැවිදි බව ලැබූහ. ගිහි ගෙදර දුක් කම්කටොලු මාගෙ හිස පිට පමණක් රැඳුණේය"යි සිතා ජීවිතය කළකිරුණා ය. ගිහිගෙය හැරයමි’යි සිතා මෙහෙණවරට ගොස් පැවිදි වූවා ය. වීර්යවන්ත වූ ඇය විදසුන් වඩා කෙලෙස් සතුරන් බිඳ උතුම් රහත්ඵල ලැබුවා ය.

මෙසේ ධම්මික උපාසකගේ පවුලේ සියලු දෙනා උතුම් නිවනින් සැනසුණේ පියෙක් ලෙස ධම්මික උපාසක තුළ වූ නොසැලෙන අධිෂ්ඨානය, ඉවසීම, වීර්යවන්ත බව හා ආදර්ශ සම්පන්න චරිතය නිසා ය. මෙවන් චරිත දැන කියවා ඒ ගුණදම් තමන් තුළ ද වඩා වර්ධනය කර ගන්නට බෞද්ධයා වෙර වීර්යය වඩන්නේ නම් සැබෑ සැනසුම ජීවිතයට දුර නොවනු ඇත.

මැදින් අව අටවක

මාර්තු 14 අඟහරුවාදා අ.භා. 08.20 න් අව අටවක ලබා 15 බදාදා අ.භා. 06.43 න් ගෙවේ.
15 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 15

Full Moonඅමාවක

මාර්තු 21

First Quarterපුර අටවක

මාර්තු 29

Full Moonපසළොස්වක

අප්‍රේල් 05

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]