[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොතෙන් නොව ජීවිතයෙන් අත්විඳිය යුතු ධර්මය

පොතෙන් නොව ජීවිතයෙන් අත්විඳිය යුතු ධර්මය

දිනක් බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණෙන එක්තරා පුත්‍රයෙක් තම පියා මියගිය බවත්, තම පියා සුගතියකට එළඹවීම පිණිස කටයුතු කර දෙන ලෙසත් උන්වහන්සේගෙන් ඉල්ලා සිටියේ ය.

බුදුන් වහන්සේ එයට කැමැත්ත ලබාදුන් අතර, ඒ සඳහා පසුදින ගංගා නම් නදිය සමීපයට පැමිණෙන ලෙසත්, ඒ සමඟම ලබු කැට හා ගල් කැට කිහිපයක් රැගෙන එන ලෙසත් දැන්වූහ.

ඒ අනුව නියමිත දිනයේ බුදුන් වහන්සේ උක්ත ස්ථානයට වැඩම කළහ. පුත්‍රයා ද එම ස්ථානයට පැමිණ, තම පියාගේ සුගතිය සලසා දෙන ලෙස දැන්වීය.

එවිට බුදුහිමියෝ “රැගෙන එන ලද ගල් කැට ගංගා නම් නදියේ පා කරන ලෙසත්, ලබු කැට ජලයේ ගිල්වන ලෙසත්” ඔහුට පැවසූහ. එයින් විමතියට පත් එම පුත්‍රයා

“සාමාන්‍යයෙන් ගල්කැට ජලයේ පා කළ නොහැකි ය, ලබු කැට ජලයේ ගිල්විය නොහැකි ය, ගල්කැට වතුර යටට ගොස්, ලබුකැට ජලයේ පාවීම සාමාන්‍ය ස්වභාවයයි ඔබ වහන්සේ විසින් පවසන ලද්ද කළ නොහැක්කකි” යනුවෙන් පැවසී ය.

එවිට බුදුන් වහන්සේගේ පිළිතුර මෙ පරිදි විය.

“යම් හෙයකින් එය කළ නොහැක්කක් සේ ම, ඔබ විසින් මාගෙන් “ඔබ පියා සුගතියකට එළඹ වන ලෙස කරන ලද ඉල්ලීම ද එපරිදි ම කළ නොහැක්කකි” යනුවෙනි.

ඉන් ගම්‍යමාන අර්ථය වනුයේ කිසිවකුටත් ඔබ උසස් තත්වයකට හෝ පහත් තත්වයකට ඇද දැමිය නොහැකි බවත්, එය තමා සන්තකව ම පවතින්නක් බවත් ය.

මේ ගතවන වස්සාන සමය තමාගේ උසස් බව කෙරෙහි ඉවහල් කර ගැනීමට උත්සුක වන ලෙස මූලිකව ම දැක්විය යුතු ය.

විහාරස්ථානවල භික්ෂූන් වහන්සේ බහුල ව වැඩ වාසය කරන මෙම සමය ධර්මය කෙරෙහි වඩාත් සමීපවන කාලපරාසයක් කර ගැනීමට වෙහෙසිය යුතු ය. බෝධි පූජා, බුද්ධ පූජා, ධර්ම දේශනා හා පිරිත් දේශනා වැනි අනේකවිධ ආගමික වතාවත් තුළ සිත පිහිටුවා කුසල් වැඩීම ප්‍රමුඛාභිලාෂය කර ගත යුත්තේ වේ. මේ සියල්ල තුළ ධර්මය ප්‍රායෝගික ජීවිතයට ගලපා ගැනීම අනිවාර්ය වූවකි.

දානයක් දීමේ දී, එය අන් අයගේ මෙහෙයවීමකින් තොරව, තමාගේ ම සිත තුළ උපන් සිතිවිල්ලෙන් සිදුකෙරේ ද, එය අසංඛාරික සිතකි. අන් අයගේ මෙහෙයවීමෙන් සිදුවනුයේ සසංඛාරික නමි. බුද්ධ වන්දනාව, භාවනාව හා ධර්ම ශ්‍රවණය වැනි එදිනෙදා දිවියේ නිරන්තර සිදුකෙරෙන කුසල ක්‍රියාවන් තුළින් ඔබ අත්කර ගනුයේ අසංඛාරික හෝ සසංඛාරික කුසල් ද යන්න ඔබ ඔබෙන් ම ප්‍රශ්න කළ යුතු ය.

යමකු ධර්මය කොතරම් දන්නේ නමුදු, ධර්මානුකූලව ජීවත් නොවේ නම්, හේ අනුන්ගේ ගවයන් රකින ගොපල්ලකුවන් බව බුද්ධ දේශනාවයි. කෙතරම් දහම් දෙසුවත්, ශ්‍රවණය කළත්, කියෙව්වත් හෝ හැදෑරුවත් ප්‍රායෝගික ව ජීවිතය තුළින් ධර්මය අත්විඳීය නොහැකි නම්, එම ජීවිතය අවාසනාවන්ත වූවකි. මෙත්තා, කරුණා, මුදිතා හා උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ පිළිබඳ තරමක් සිතා බලන්න. දිනකට කී වතාවක් ඔබ එම ගුණාංග වඩන්නේ ද? දිනකට කී වරක් ද්වේශය, ඊර්ෂ්‍යාව හා වෛරය මත පදනම්ව කටයුතු කරන්නේ ද? උක්ත ද්වය ඇසුරෙන් ඔබ රැකියාවේ නිරත ආයතනය තුළ හෝ, නිවසේ දී හෝ වඩාත් ප්‍රගුණ කරනුයේ මොනවා ද? ධර්ම මාර්ගය ඔබේ ප්‍රායෝගිකත්වයේ සාර්ථක හෝ අසාර්ථක බව ඔබටම තීරණය කළ හැකි ය.

මෙතෙක් ඔබ අනුන්ගේ තීරකයා වූයේ නම්, අදම ඔබ ඔබේ තීරකයා වන්න. ඔබට මඟහැරුණු බොහෝ දෑ අවබෝධය පිණිස මඟ සැලසෙනු ඇත.

අම්මා කෙනකු දරුවකුට ආහාර පිසින්නේ මෛත්‍රිය හා කරුණාව ප්‍රමුඛ කොට ගෙන ය. එය මෛත්‍රියේ සංකේතයක් නම්, ඔබ අන් අය වෙනුවෙන් කරන ක්‍රියා තුළ එකී මෛත්‍රිය ගැබ්ව ඇත්දැයි සිතන්න.

උදාහරණයක් ලෙස, ඔබ යමකුට තේ ටිකක් සාදා දෙන්නේ ද? “බිවුවත් එකයි, නැතත් එකයි, මහ කරුමයක්” වැනි සිතිවිලි තුළ පිහිටා ඔබ එම කර්තව්‍යයෙහි නිරත වන්නේ නම්, ඔබ තුළින් මෛත්‍රිය ප්‍රායෝගික ව දැකිය හැකි ද? ලෝකයෙහි සැබෑ ජයග්‍රහණය ලබනුයේ සිත පිරිසුදු මිනිසුන් ය. සිත අපිරිසුදු මිනිසුන් ලබන ජයග්‍රහණයන් ඉතා තාවකාලික වෙති.

එක්තරා කාලයක දක්ෂ වඩුවෙක් වාසය කළේ ය. ඔහු ආයතනයකට අනුබද්ධ ව ප්‍රධානියකු යටතේ සේවය කළේ ය. ඔහු අතින් බොහෝ නිවාස මනරම් ව නිර්මාණය වුණි. වසර හතළිහක් පමණ මෙම කර්මාන්තයෙහි නිරත වූ මොහුට විශ්‍රාම ගැනීම කෙරෙහි සිත් පහළ විය. ඔහු තම ආයතන ප්‍රධානියා වෙත ගොස් තමාට විශ්‍රාම ගැනීමට අවශ්‍ය බව දැන්වීය. දැන්ම විශ්‍රාම නොගන්නා ලෙසත්, අවසාන වශයෙන් මා වෙනුවෙන් නිවසක් තනා දෙන ලෙසත් ආයතන ප්‍රධානියා ඉල්ලා සිටියේ ය.

“මෙතරම් කාලයක් මා වැඩ කළත්, මාගේ මහන්සිය, කැපවීම පිළිබඳ කිසිදු තැකීමක් නොකොට තවදුරටත් මාගෙන් වැඩ ගැනුමට මොහු උත්සාහ දරයි”

යනුවෙන් කල්පනා කළ මෙම වඩුවා එම නිවස ඉතාම ඉක්මණින් නිර්මාණය කොට නිම කළේ ය. ඒ අනුව, එතෙක් ඔහු විසින් නිර්මාණය කරන ලද කැතම නිර්මාණය එය බවට පත්විය.

අනතුරුව ආයතන ප්‍රධානියා වෙත ගිය මෙම වඩුවා තම කර්තව්‍යය නිම කළ වග දැන්වීය. එවිට ආයතන ප්‍රධානියා මෙලෙස පැවසී ය:

“ඔබ විසින් මා වෙනුවෙන් මෙතරම් කලක් බොහෝ සේවයක් ඉටු කරන ලදී, එයට කෘතගුණ ලෙස මෙම නිවස ඔබ වෙනුවෙන් නිර්මාණය වූවකි” යනුවෙනි. සිතන්න: මෙම නිවස එම වඩුවා වෙනුවෙන් නිර්මාණය කරන්නක් වග දන්නේ නම් ඔහු අතින් එය කෙසේ නිම වනු ඇතිද? එබැවින් තමා විසින් කරනු ලබන ඕනෑම කටයුත්තක දී අන් අය කෙරෙහි මෙත් සිත් පෙරදැරිව සිදුකිරීම වඩාත් ප්‍රයෝජනවත් ය. සැබැවින් ම මෛත්‍රිය, කරුණාව, මුදිතාව හා උපේක්ෂාව යන ගුණාංග දරුවන්ට, ඤාතීන්ට, මිත්‍රයන්ට පමණක් සීමා නොකොට සියල්ලන් කෙරෙහි ම පවත්වා ගැනීමට හැකි නම්, එය ධර්මය ප්‍රායෝගික ව ජීවිතයට ගලපා ගැනීමකි.

මෛත්‍රිය යනු සැම දෙනා කෙරෙහි ම මිතුරු බව පැතිරවීමයි. අන් අයගේ දුක දැක හද කම්පාවීම කරුණා නමි. අන් අයගේ දියුණුව දැක ඒ කෙරෙහි තුටුවීම මුදිතාවයි. දුකේ දී හා සැපේ දි කම්පා නොවීම උපේක්ෂාවයි (උදා- මවකට දරුවකු විසින් බැණ වැදුණත්, දරුවා කෙරෙහි වන සෙනෙහසින් ඇය එය දරා සිටී ධාර්මික හා වඩාත් ප්‍රබුද්ධ සමාජයකට මෙම ඉගැන්වීම් උපයෝගීකොට ගත යුතු ය.

අප කවුරුත් එළඹ සිටිනුයේ තාවකාලික නවාතැනකටයි. බොහෝ දෙනකු විසින් අමතක කොට ඇති හා පිළිගැනීමට අකැමැති සත්‍යය ද එයයි.

එක්තරා සෙන් කතාවකට අනුව, දිනක් වයසක පුද්ගලයකු ගමනක් යමින් සිටී. අඳුර වැටුණු හෙයින් ඔහුට නවාතැනක් සෙවීමට සිදුවුණි. එක් ගෙයක් සමීපයට පැමිණි ඔහු ගෙදර අයිතිකරුට අඬගැසුවේ ය. එවිට නිවසින් එළියට පැමිණි තරුණ අයකු

“ඔබ කවුද?, ඔබට අවැසි කිමද?” යනුවෙන් ප්‍රශ්න කළේ ය. එවිට වයසක පුද්ගලයා “අන්ධකාරය බැවින් අද රාත්‍රිය ඔබේ අම්බලමේ නැවතී සිට යා හැකි දැයි” විමසීය. එවිට තරුණයා “ඔබ කුමක්ද පැවසුවේ? මෙය අම්බලමක් කියා ද ඔබ කියන්නෙ?” යනුවෙන් විමසී ය. තවද, මෙය අම්බලමක් නොවන බවත්, මෙය මට පරම්පරාවෙන් ලැබුණු මාළිගාව බවත් ඔහු පැවසුවේ ය. එවිට වයසක තැනැත්තා - “ඔබට පෙර මෙහි වසන ලද්දේ කවුරුන්ද?” “මගේ තාත්තා”. ඔහු දැන් කොහිදැයි විමසූ විට, තරුණයා ඔහු මියගොස් ඇතිබව කීවේ ය. තාත්තාටත් පෙර වසන ලද්දේ කවුරු කවුරුදැයි ආදී ලෙස විමසන කල, පිළිවෙලින් ඔවුන් මිය ගොස් ඇති බව එම තරුණයා ප්‍රකාශ කළේ ය. එවිට වයසක පුද්ගලයා ප්‍රශ්න කරනුයේ “බොහෝ දෙනා මෙහි පැමිණ නැවතී සිට යන බැවින් මෙය සැබැවින් ම අම්බලමක් නොවන්නේ ද? යන්නයි. එබැවින් මේ සසරේ එක් නවාතැනක නැවතී තාවකාලික සැපයක් වෙනුවෙන් සසරේ සදාකාලික දුක් විඳීන්නන් නොවන්නට අප වීර්ය කළ යුතු ය.

කකචූපම සූත්‍රය දක්වනුයේ යමකු කියතක් ගෙන තමාව දෙකට ඉරන්නේ නමුදු, එය කරවන්නන් කෙරෙහි ද්වේශ නොකිරීමට තරම් සිත පුරුදු කරන ලෙස ය. එය ලෙහෙසි වූවක් නොවුණ ද, එය අවසාන ඉලක්කය නම්, උක්ත පරිදි සිතිවිලි දැරීම ධර්මය ප්‍රායෝගික කොට ගැනීමක් ද යන වග තමාගෙන් ම විමසිය යුත්තකි.

බුදුන් වහන්සේ විසින් භික්ෂූන්ට දෙන ලද වටිනාම උපදේශයක් වේ. එනම්, “මහණෙනි, ඔබ වහන්සේ එකට එකතු වූ විට, ධාර්මික කතාවේ නිරතවන්න, නැතිනම් නිශ්ශබ්දව සිටින්න” යනුවෙනි. මෙය කායික

ක්‍රියා හා මානසික සිතිවිලි කෙරෙහි ද ගෙන “ධාර්මික දේ ම කරන්න, ධාර්මික දේ ම සිතන්න”. ලැබූ කෙටි මනුසත් දිවිය හිස් වූවක් කර නොගන්න. ගතවන වස්කාලයේ තමන් තුළ ඇති උක්ත අඩුපාඩු නිවැරැදි කර ගනිමින්, කුසල් වඩන ප්‍රායෝගික ජීවිතයක් කෙරෙහි ධර්මය නිවැරැදිව ගලපා ගන්නේ නම් ඉන් ඔබට වන යහපත වෙන කිසිවකුට අත්පත් කර දිය නොහැකි සුභසිද්ධියක් ලෙසම වටහා ගන්න.

නිකිණි පුර පසළොස්වක

 අගෝස්තු 11 බ්‍රහස්පතින්දා
පූර්වභාග 10.41
පුර පසළොස්වක ලබා
12 සිකුරාදා
පූර්වභාග 07.08 ගෙවේ.
11 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 11

Second Quarterඅව අටවක

අගෝස්තු 19

Full Moonඅමාවක

අගෝස්තු 26

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]