[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නිකිණි පුර පසළොස්වක 2022-08-11

සත්පුරුෂ ගුණ

පින්බර නිකිණි පුන් පෝ දිනය අදයි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සඳහා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මැදිහත්වීමෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම ආරම්භ වූයේ අදවන් පෝ දිනක දී ය. එය සිහිපත් කරමින් ධර්මානුකූල දිවි පැවැත්ම තව තවත් ඔපවත් කර ගන්නට සියලු බෞද්ධයෝ උත්සුක විය යුතු ව තිබේ.

විශේෂයෙන් මේ අප ගත කරන්නේ වස්සාන සමයයි. වසරේ අනෙකුත් කාලවලට වඩා වෙහෙර විහාරස්ථාන ඇසුරු කරමින් දහම් මඟ යන්නට මෙකල බෞද්ධයාට ඉඩකඩ ලැබේ. ඒ භික්ෂූන් වහන්සේ ද විහාරස්ථානයෙහි ම වැඩ සිටිමින් තමන් වහන්සේගේ සේ ම, ගිහියන්ගේ ද ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් කටයුතු කරන්නට කැප වී සිටින බැවිනි. ධර්මානු ධර්ම පටිපන්න භික්ෂූන් වහන්සේ ගිහියාට කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමකි. උන්වහන්සේ නිරතුරුව උත්සාහ ගන්නේ ගිහියා පවින් වළකාගෙන යහපතෙහි යෙදවීමට ය. එදිනෙදා අත්දකින අනේකවිධ කටුක, දුක්බර ජීවන ගැටලු හමුවේ ඒවා නිරාකරණය කර ගන්නට, ජීවිතයේ යථාර්ථය අවබෝධ කරමින් ලෝ දහමට කම්පා නොවී ජීවත් වන්නට උන්වහන්සේ අවවාද ලබා දෙති.

ඒ අතරම ධර්ම මාර්ගය පෙන්වා දෙමින් මේ දුක් සහිත සසර මඟ නවතාලීමේ මාර්ගයට පිවිසෙන මාවත පෙන්වා දෙති. ඒ සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ හමුවී නිරන්තර අවවාද අනුශාසනා ලබා ගන්නා පුද්ගලයා ද නිතැතින් සත්පුරුෂයකු වනු ඇත. එවිට බෞද්ධයන් ලෙස අප බලාපොරොත්තු වන මේ ජීවිතයත්, පරලොව ජීවිතයත් සුඛිත මුදිත කර ගන්නට මඟ සලසා ගන්නට හැකි වනු ඇත.

බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක මේ ලෝකයෙහි ජීවත්වන පුද්ගලයන් තිදෙනකු පිළිබඳ දේශනා කොට වදාළහ. එක් අයෙක් අන්ධ ය. ඔහුගේ මැසස පෙනුණ ද මනස අඳුරු ය. සම්පත් ළඟා කර ගැනීමෙහි ඔහු අනුවණ ය. කුසල්, අකුසල්, වැරැද්ද, නිවැරැද් ද, උසස් පහත් බව, හොඳ - නරක වෙන්කොට දැන ගන්නට ද ඔහුට නුවණැස නැත.

අනෙක් පුද්ගලයා එක් ඇසක් ඇති පුද්ගලයා ය. ඔහු සම්පත් දියුණු කර ගැනීමෙහි නුවණැති ය. එහෙත් හොඳ, නරක, වැරැද්ද නිවැරැද්ද වෙන් කොට ගන්නට නුනුවණ ය.

තෙවැන්නා දෑසම පෙනෙන පුද්ගලයා ය. ඔහු නොලද සම්පත් ලැබීමට ද ලද සම්පත් දියුණුවට ද නුවණැති ය. එසේම හොඳ නරක, කුසල් - අකුසල්, වරද - නිවරද වෙන් කොට දැන ගනී.

මෙහිදී නුවණැස නැති අන්ධයාට සම්පත් නැත. හේ පින් ද නොකරයි. දෙලොව ම පරාජය ලබයි.

දෙවැන්නා, එක් ඇසක් පෙනෙන්නා කාමභෝගීය. හේ සොරකමින්, බොරුවෙන්, වංචාවෙන් ධනය රැස් කරන්නට දක්ෂ ය. හේ නිරයට ගොස් වැනසෙන්නෙකි.

තෙවැන්නා, දෑසම පෙනෙන පුද්ගලයා ධන සම්පත් උපයන්නේ දැහැමෙනි. උතුම් කල්පනාවෙන් යුතු ය. මනස නිරවුල් ය. උත්සාහය වීර්යය ඇත. යහපත් ජීවිතයක් ගත කරයි. මේ අපේ සමාජයේ ජීවත්වන පිරිස් ය.

මොවුන් හඳුනා ගැනීමෙන් පසු අන්ධ පුද්ගලයාත්, එක් ඇසක් පෙනෙන්නාත් දුරින් ම දුරු කළ යුතු ය. දෑස ම පෙනෙන උසස් පුද්ගලයා ම ඇසුරු කළ යුතු ය, යනුවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.

මේ අනුව විමසමින් අනුන් ගැන තක්සේරු කරනවා සේ ම තමන් ද ඒ අතරින් කවරකුගේ තැනට වැටෙනවා ද යන්න තමන් ගැන ම විමසා තීරණය කළ යුතු ය. සත්පුරුෂයෙක් නම් ඒ ගුණ තවත් වැඩිදියුණු කර ගන්නට, අසත් පුරුෂයෙක් නම් ඒ ගතිගුණ දුරු කර යහපත් තැනට එන්නට මේ වස්සාන සමයේ හෝ අධිටන් කර ගත යුතු ය.

අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේගෙන් ඒ සඳහා අවශ්‍ය අවවාද අනුශාසනා ලබන්න නොපැකිළිවිය යුතු ය.

නිකිණි පුර පසළොස්වක

 අගෝස්තු 11 බ්‍රහස්පතින්දා
පූර්වභාග 10.41
පුර පසළොස්වක ලබා
12 සිකුරාදා
පූර්වභාග 07.08 ගෙවේ.
11 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 11

Second Quarterඅව අටවක

අගෝස්තු 19

Full Moonඅමාවක

අගෝස්තු 26

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]