[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිත සකසා සැප ලබන්න

සිත සකසා සැප ලබන්න

තථාගතයන් වහන්සේගේ නිරන්තර සාකච්ඡාවට බඳුන් වූ කරුණු අතර මූලික ස්ථානයක් සිත පිළිබඳ යොමු වී ඇති ආකාරය ත්‍රිපිටක ධර්මය තුළින් අනාවරණය වේ. ධම්මපද පාළියෙහි චිත්ත වග්ගය ද සිත පිළිබඳ ඉතා සරලව අපිට තොරතුරු සපයන එක් ස්ථානයකි.

විවිධ උපමා උපමේයයන් ද මේ සඳහා යොදා ගෙන ඇති අයුරු දැක ගත හැකි ය. එහි ඇති සැලීම් ස්වභාවය පමණක් නොව චපල බව පිළිබඳ ද තොරතුරු සඳහන් වේ.

එමෙන් ම නොරැකිය හැකි බව පමණකුදු නොව වංක බව පිළිබඳවත් එසේ ඇද ගැසෙන සිත වඩු කාර්මිකයකු ලීයක ඇද හරින්නාක් මෙන් සෘජු කර ගත යුතු ආකාරය ද දැක්වේ.

එසේම සිතෙහි ඇති සැළෙන බව දැක්වීම සඳහා දියෙන් ගොඩගත් මත්සයකුගේ හැසිරීම් රටාව අපේ අවධානයට ලක්කොට ඇත. මෙම වංකභාවයත්, සැළෙන ස්වභාවයත් අප විසින් සවිමත් කර ගතයුතු වන්නේ කෙලෙස් දුරලීමේ දුෂ්කර ක්‍රියාවලිය ශක්තිමත් කර ගැනීම සඳහා බව ඉතා පැහැදිලි ය.

පුහුදුන් සත්වයින්ගේ නිරන්තර අපේක්ෂාව වන්නේ සැප කැමතිවීම මෙන් ම එම සැප ළඟා කර ගැනීම සඳහා ක්‍රියාත්මක වීම ය. සැපයෙහි ස්වභාවය ලෞකික සහ ලෝකෝත්තර යනුවෙන් දෙයාකාර වේ. ලෞකික සැප අපේක්ෂාවෙන් නිරන්තරව උත්සාහ වන බොහෝ පිරිසක් වේ. “අස්සාදනීයත්වය” එහි ස්වාභාවය වේ.

ලෝකෝත්තර සැපයෙහි සුවිශේෂත්වය වන්නේ අවින්දනීය බව ය. එය සැපයක් වන්නේ ද එනිසාම ය. කෙසේ නමුත් කිනම් සැපයක් සඳහා වුව ද අපේ සිතට හිමි වන්නේ ප්‍රමුඛතාවක් ම ය. ධම්මපද පාලියෙහි ඇතුළත් මෙම ගාථා ධර්මයෙන් පැහැදිලි කරනුයේ සිතෙහි ඇති මෙම ස්වභාවය පිළිබඳයි.

දුන්නිග්ගහස්ස ලහුනෝ
යත්ථ කාම නිපාතිනෝ
චිත්තස්ස දමතෝ සාධු
චිත්තං දන්තං සුඛා වහං

මෙහි ඇතුළත් “දුන්නිග්ගහස්ස” යන යෙදුම දමනය කිරීමට ඇති අසීරුතාවපැහැදිලි කරන්නකි.

සිත ඉතා දුෂ්කරව දමනය කරනවා මතු නොව එක් අරමුණක තබා ගැනීමේ නොහැකියාව ද පෙන්නුම් කෙරේ.

කෙසේ නමුත් සිතෙහි හීලෑ බව සඳහා ධර්මය ම හේතුවන අතර, ඒ සඳහා කිසිදු විකල්ප මාර්ගයක් නොගත හැකි වේ.

“ලහුනෝ” යන්න ක්ෂණිකව සිදුවන සිතෙහි හට ගැනීම හා බිඳීයාම ඉතා යුහුසුළුව සිදුවන අයුරු ප්‍රකාශ කරන්නකි. මරණ ධර්මය පිළිබඳ කරන විග්‍රහයන් හිදී ක්ෂණික මරණය ලෙස දක්වා ඇත්තේ ද මෙම කරුණම ය.

“යත්ථ කාම නිපාතිනෝ” මින් අදහස් වන්නේ ද සිත තමා කැමති අරමුණ කරා අප නොදැනුවත්ව ම ගමන් ගන්නා බවයි. සිත, සිත කැමති ඕනෑම තැනක රැඳිය හැකි බව මින් ප්‍රකාශ වන අතර, එහිදී උස් පහත්කම් හෝ නෑ නොනෑකම් විෂය වන්නේ නැත. කායිකව සිදු වන සිරගත කිරීමක දී වුව ද සිත තම රුචිකත්වයන් හා සමඟ නිදහස් ව හැසිරෙන අයුරු මින් පැහැදිලි කෙරේ. මෙබඳු වූ සිත කීකරු කර ගැනීම ම නොව දමනය කර ගැනීම කළ හැකි වන්නේ නම් “සුඛාවහං” ලොව්තුරා සැප සඳහා මං පෙත් විවර වන බව ධර්මයෙහි දැක්වේ.

මේ අනුව සැප අපේක්ෂා කරන්නන්ගේ වගකීම වන්නේ “චිත්තං දන්තං” යනුවෙන් දැක්වෙන පරිදි තම සිත මනාව කීකරු කර ගැනීම ය. බුද්ධ ධර්මය මනෝ මූලික ධර්මයක් වශයෙන් සමයාන්තරව සුවිශේෂී ඉගැන්වීමක් බවට පත්ව ඇත්තේ ද තම වගකීම තමා විසින් ම සම්පූර්ණ කොට ගෙන සැප ළඟා කර ගත යුතු වන නිසා විය යුතු ය.

එළඹ ඇති වස්සාන සමයෙහි ඉතිහාසය තථාගත ධරමාන කාලය දක්වා දිවෙන්නක් බව අපේ ධර්ම සාහිත්‍ය මඟින් අනාවරණය කරනු ලැබේ. එහි දැක්වෙන තොරතුරු අනුව අතීතයේ සිටම මෙම උතුම් පින්කම සඳහා භික්ෂු භික්ෂුණීන් ද මතු නොව දායක දායිකාවන් වශයෙන් ගිහි සමාජය ද දක්වා ඇත්තේ විශාල උනන්දුවකි.

භාග්‍යවතුන් වහන්සේ මේ සඳහා ශ්‍රාවක ශ්‍රාවිකාවන් උනන්දු කර ඇත්තේ තමන් වහන්සේ ද මෙම චාරිත්‍ර ධර්මයෙහි නිරත වෙමිනි. බරණැස ඉසිපතන මිගදාය කේන්ද්‍ර කොටගෙන ඇරඹුණ මෙම දීර්ඝ කාලීන ව්‍යායාමයෙහි නියැළෙන ලද්දේ, එය විනය ප්‍රඥප්තියක් වනවා මතු නොව ශාස්තෘ නියමයක් ලෙස ද සලකමින් ය.

ඒ අනුව ආරාධනා ලැබ හෝ නොලැබ මෙම උතුම් සිරිතෙහි නියැළීම සඳහා ඇතැම් විට භික්ෂූන් වහන්සේ ගව් ගණනක් යොදුන් ගණන් පා ගමනින් වැඩම කර ඇති අයුරු අපේ ධර්ම සාහිත්‍ය මඟින් වාර්තා කොට ඇත. එසේ ගමන් ගන්නා භික්ෂූන් මුහුණ දෙන ලද දේශගුණික සහ පාරිසරික ගැටලු පමණක් නොව ගෝචරස්ථාන පිළිබඳ දුෂ්කරතාවන් පිළිබඳව ද සඳහන් වේ.

එමෙන්ම අමනුෂ්‍ය උපද්‍රව ද මතු නොව විවිධ මනුෂ්‍ය උපද්‍රව ද විඳ දරා ගනිමින් මෙහි නියැළුණු ආකාරය සැබැවින්ම අනුවේදනීය වේ.

බුදුරදුන් තව්තිසාව ආදී දිව්‍ය ලෝකයන්හි පවා වස් වසා වැඩ සිටි අතර “යව“ වැනි රළු ආහාරයන් ද වළඳමින් අති දුෂ්කරතාවන්ගෙන් යුතුව නේරංජාවේ දී වස්සාන සමයක් ගෙවාලු ආකාරය ද ප්‍රකට සිදුවීමකි.

කෙසේ නමුත් මෙම විශේෂිත කාල සීමාව තුළ දී කිසියම් මාර්ගඵලයකට පත්වීම දායක දායිකා අපේක්ෂාව වූයේ මතු නොව භික්ෂූන් වහන්සේගේ ව්‍යායාමය ද වූයේ වස්සානය නිම වීමට පෙර කෙසේ හෝ නිර්වාණ අවබෝධය ලබා ගැනීම ය.

තත් කාලීනව බොහෝ ශ්‍රාවකයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ලබන ලද කමටහන් ඇතිව මහත් වීර්යයෙන් යුතුව එම උතුම් සුවය අත්විඳීම සඳහා අධිෂ්ඨානශීලී වූහ.

ඉහත ගාථා ධර්මය දේශනා කොට ඇත්තේ ද වස්සාන සමයක සිදු වූ එබඳු සිදුවීමක් පාදක කොටගෙන ගත් එක්තරා භික්ෂුවක් අරමුණු කොටගෙන ය.

ධනවත්, සැදැහැවත් බවින් ද පරිපූර්ණ මාතිකමාතා නම් වූ උපාසිකාවක් වූවා ය. ඇය නිරන්තරයෙන් ම තම පුණ්‍ය මහිමයෙන් ලබන ලද ධනය පරිහරණය කරන ලද්දේ පරලොවට ද ගෙන යා හැකි අයුරින් ය.

බුද්ධාදී රත්නත්‍රය පිළිබඳ වූයේ අසීමිත විශ්වාසයක් ද මතු නොව ගෞරවාන්විත වූ පිළිගැනීමකි. එක්තරා වස්සාන සමයකට ආසන්නව සැට නමක් පමණ වූ භික්ෂු පිරිසක් එම ගමට වැඩමවන ලද්දේ, එම උපාසිකාව ඉතා මිහිරි අයුරින් දන් පැන් සකසා දෙමින් මහත් ගෞරවයන් යුතුව පිළිගන්නා ලදී.

භික්ෂු පිරිස පිළිබඳ අතිශය ‘ප්‍රසාදයට පත්ව සිටි මාතික මාතාවෝ එළඹෙන වස්සාන සමයෙහි වස් වසා වැඩ සිටීම සඳහා රමණීය වූ ආරාමයක් ද තනවා පූජා කළාය. එමතු ද නොව වස් විසීම සඳහා ආරාධනා කරනුයේ සිව්පසයෙන් පූජා පවත්වමින් සංඝෝපස්ථානයෙහි නියැළුනේ ද මහත් ශ්‍රද්ධාවෙන් යුතුව ය.

භික්ෂු පිරිසද එම උපාසිකාවගේ ශ්‍රද්ධා මහිමය තේරුම් ගෙන ඇයට ද අනුග්‍රයක් වශයෙන් වෙන් වෙන්ව අධිෂ්ඨානශීලී ව භාවනාවෙහි නියැළුණි. එක් දිනක් ආරාමයට ගිය මාතික මාතාවන්ට කිසිදු භික්ෂුවක් දක්නට නොලැබීමෙන් කැළඹුණ සිතැත්තී සීනුව නාද කරන්නී එක් එක් නම වෙන් වෙන් මාර්ගවලින් තනි තනිව පැමිණීම දැක විමතියට පත් වුණි, භික්ෂු පිරිස කිසියම් කරුණක් නිසා අසමගිව අසතුටින් වෙන්ව සිටිතැයි සැක සිතුවා මතු නොව විමසුම් කරන්නී ලද පිළිතුර වූයේ තමන් වහන්සේ සිදු කරන භාවනාව සඳහා ඇති විය හැකි බාධා අවම කිරීම සඳහා එක්ව නොවෙසෙන බවයි.

මේ අනුව භාවනාව පිළිබඳ කිසියම් අවබෝධයක් මෙන් ම රුචියක් ඇති කර ගත් එම උවැසිය තමන් ද එහි යෙදිය යුතු යැයි දිරිමත්ව කායගතාසති භාවනාවෙහි යෙදුණි. අනාගාමි ඵල සුවය ලබා ගැනීමට සමත් වූවා ය.

අනතුරුව වස් විසූ භික්ෂු පිරිස එතෙක් මගඵල ලාභී නොවන බව දැන රහත් භාවය ලබා ගැනීම සඳහා විවිධ අයුරින් උනන්දු කරවන ලද්දේ භික්ෂුහුද අධිෂ්ඨානශීලීව බවුන් වඩා රහත්භාවයට පත් වූහ.

බුදුරදුන් හමුවේ දී මාතික මාතාවගේ බහුවිධ ගුණයන් ද ප්‍රකාශ කළහ. මෙම සිදුවීම අසා සිටි එක්තරා භික්ෂුවක් එම ස්ථානය හා උපාසිකාව සොයා යන්නේ ඇයගේ අනුග්‍රහය ද නොඅඩුව ලබමින් භාවනාව සඳහා යොමු වූයේ නමුදු උපාසිකාවගේ පරසිත් දන්නා නුවණ පිළිබඳ දැන බියපත් ව බුදුරදුන් මුණ ගැසී තමන්ට මුහුණ දීමට සිදු වූ ගැටලුව ප්‍රකාශ කරන ලදී.

පුහුදුන් තම සිතට නැඟෙන විවිධ පාපී සිතිවිලි උපාසිකාව විසින් දැකිය හැකි යැයි සිතා පසුගාමී වූ එම භික්ෂුව දිරිමත් කළ තථාගතයන් වහන්සේ, සිත රැක ගැනීම දුෂ්කර වුව ද එම ව්‍යායාමය සැපය සඳහා හේතු වන බව දේශනා කරමින් හෙතෙම නැවතත් එම ස්ථානයටම යොමු කරන ලදහ.

අනතුරුව උපාසිකාවගේ අනුග්‍රහය ලබමින් දැඩි සේ භාවනාව සඳහා උත්සාහවත්ව ක්‍රියා කළ එම තෙරුන් රහත් භාවයට පත්වීමේ සිදුවීම උක්ත ගාථාව දේශනා කිරීම සඳහා හේතු වී ඇත.

නිකිණි පුර පසළොස්වක

 අගෝස්තු 11 බ්‍රහස්පතින්දා
පූර්වභාග 10.41
පුර පසළොස්වක ලබා
12 සිකුරාදා
පූර්වභාග 07.08 ගෙවේ.
11 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 11

Second Quarterඅව අටවක

අගෝස්තු 19

Full Moonඅමාවක

අගෝස්තු 26

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]