[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහී නදී තෙර අසබඩ දුප්පතුන්ගේ ජීවිත අනතුර නොදත් ධනියගෝපාල

ධනිය ගෝපාල සූත්‍රය:

මහී නදී තෙර අසබඩ දුප්පතුන්ගේ ජීවිත අනතුර නොදත් ධනියගෝපාල

සෝවති පුත්තෙහි පුත්තිමා
ගෝමියෝ ගොභි තථෙව සොවති
උපධීහි නරස්ස සොවනා
නහී සො සොවති සො නිරූපධී

දරුවන් ඇති තැනැත්තා දරුවන් නිසා ශෝක වෙයි. ගවයන් ඇති තැනැත්තා ගවයන් නිසා ශෝක වෙයි. මිනිසා විසින් රැස් කරන ලෞකික සම්පත් ශෝකය පිණිස පවතී.ලෞකික රැස්කිරීම් නැති තන්හි ශෝකයක් නැත.

සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායෙහි සුත්ත නිපාතයට අයත් ධනිය ගෝපාල සූත්‍රය ඇසුරින් කාරණා කීපයක් සාකච්ඡා කිරීම මෙහි අරමුණයි.

අතීතයේ භාරතීය ජනතාවගේ වටිනාම සම්පත වූයේ ගවයායි. වර්තමානයේ පවා එය වෙනස් වී නැත. විශාඛාව දීග යද්දි පියා ඇයට ද දායාද කළේ ද ගව රංචුවකි. ගොවිතැන ප්‍රධාන කර ගත් ජනතාවගේ ප්‍රධාන මිතුරා ගවයා වන අතර, කිරිවලින් ස්වයංපෝෂිතවීම ද ඒ තුළින් සිදු විය.

බුද්ධ කාලයෙහි දඹදිව විසූ ධනිය ගෝපාල විශාල ගව රංචුවක හිමිකරුවෙකි. දඹදිව පංච මහා ගංගාවන්ගෙන් එකක් වන මහී ගංගාව අසබඩ ඔහු තම ගව රංචුව සමඟ ජීවත් විය.

එක් දිනක් සවස් යාමයේ සතර දිගින් අහස කළුවර කොට විශාල ධාරානිපාත වර්ෂාවක පෙර නිමිති පහළ විය. එවිට ධනිය ගෝපාල ඉක්මනින් තම කටයුතුවල නිරත විය. සේවකයින් යොදවා ප්‍රමාණවත් දර, ගොඩ ගසා ගත්තේ ය. දෙනුන්ගෙන් කල් තියාම කිරි දොවා ගත්තේ ය. වසු පැටවුන් කණුවල බැඳ ගවයින් කොටුව තුළට ගාල් කර ගත්තේ ය.

අවශ්‍ය ආහාර පාන සකසා ගත්තේ ය. හුළු එළි දල්වා අඳුර මකා මැසි මදුරුවන්ගෙන් ආරක්ෂාව සලසා ගත්තේ ය. තමාගේ රූමත් බිරිඳත්, දරුවනුත් අසලම රඳවා ගත්තේ ය. සියලු ආරක්ෂාව ඇත. කිසිදු බියක් ධනිය ගෝපාලගේ සිතට නොදැනුනේ ය. ඒ නිසා ඇති තරම් වහින්නයි ඔහු වැස්සට ආරාධනා කළේ ය.

මේ ආරාධනාව පද්‍යයක ස්වරූපයෙන් සූත්‍රයෙහි දැක්වෙයි.

පක්ඛෝදනෝ දුද්ද ඛීරෝහමස්මි
අනුතීරෙ මහියා සමාන වාසො
ජන්නාකුටි ආහිතො ගිනි
අථ වෙ පත්ථයසි පථස්ස දෙව

මෙහි අදහස වන්නේ,

පිසින ලද බත් ඇත්තෙමි. දොවා ගන්නා ලද කිරි ඇත්තෙමි. නදී තෙර අසල පිරිවර හා සමඟ වසමි, කුටිය සෙවිළිකර ඇත. ගින්න ද දල්වා ඇත. මේඝය, දැන් ඇති තරම් වැහැපන්.

සැබැවින්ම ධනිය ගෝපාල ගැයූ ගීයෙහි අර්ථවත් වන්නේ කුරිරු ධනවාදියකුගේ ආත්මාර්ථකාමී සිතිවිලි නොවේද? ඔහුට වැස්ස කෙතරම් ආස්වාදයක් වන්නේ ද? ඒත් මහී නදි තෙර අසබඩ වසන දුප්පත් ජනයාගේ ජීවිතවල අනතුර ධනිය ගෝපාලට දකින්නට නොහැකි විය.

තමා සියලු සම්පතින් ඉසුරුමත්ව ඇති බැවින් අන්‍යයන්ට කවර හානියක් වුව ද තමාට කම් නැත. එදාටත් වඩා මේ සිතිවිලි අදට කෙතරම් ගැළපේ ද? වැටකඩොලු, තාප්ප ප්‍රාකාරාදියෙන් තනි වී සියලු සැප, සියලු ආරක්ෂාවන් ලබමින් ධනිය ගෝපාල මෙන් සිතන්නෝ මේ සමාජයේ කොපමණ වෙත් ද?

මහ මඟ එදා වේල සරිකර ගත නොහැකිව වෙහෙසෙන දුගී කම්කරුවාගේ වේදනාව නොදන්නෝ කොතෙකුත් වෙත්ද? ඔවුනට ලැබෙන්නට ඇති දේ පවා වංචා කරමින් තම සුඛ විහරණය සඳහා යොදා ගන්නා උසස් නිලධාරී පැළැන්තියක් අපට නැත්ද? ඉහළ ජනයාගේ සුඛ විහරණය වෙනුවෙන් මංමාවත්වල වෙහෙසෙන්නෝ කොතෙක් වෙත්ද?

ධනිය ගෝපාලගේ මේ ධනවාදී සිතිවිලි ඇසුරින් නූතන කවියකු වන පරාක්‍රම කොඩිතුවක්කු අර්ථවත් නිර්මාණයක් කළේ ය. එය කාලයක් උසස් පෙළ විභාගයට ද නිර්දේශව තිබුණි. මෙම කවියා කොතරම් ප්‍රතිභාපූර්ණ ලෙස නූතන සමාජ විවරණය පිණිස මෙය යොදා ගෙන ඇත්දැයි බලන්න.

ධනිය ගෝපාල තොප
කුරිරු ධනවාදියෙකි
කන්ද උඩ මාලිගේ සිටි ඔබට
කන්ද යට අපේ පැල නොපෙනේ ය.

අම්මා තව ආවෙ නැහැ ගස් කපනව කිරි
කට්ටියේ
උදේ රැයින් තාත්තා ගියෙ කුලී වැඩක්
සොයා ගන්ට
දොළ ගැලුවොත් හෙට උදේට කොහොමද
ඉස්කෝලෙ යන්නේ
ගස් තෙමුණොත් නම වැටෙන්නෙ නෑ
අම්මට හෙට දිනේට
පුංචි පැලේ මං තනි වුණු වෙලාවේ
පමා වෙලා වැහැපන් වැහි වලාවේ

කන්ද උඩ මාලිගයේ සියලු රැකවරණ ද, ආහාර ද, රූමත් බිරිඳක ද සමග වෙසෙන ධනිය ගෝපාලට වැස්ස ආශිර්වාදයක් වන විට පහත ගං තීරයේ සිය දහසක් දුගී ජනයාගේ ඛේදවාචකයේ දෝංකාරය මේ ඔස්සේ අපට කියැවෙයි.

කෙසේ වෙතත්, ධනිය ගෝපාල කන්ද මුදුනේ මෙසේ ගයද්දී බුදුපියාණන් වහන්සේ මහී ගඟ අසල මදක් නුදුරින් රුක් සෙවනක වැඩ සිටියහ. ඒ බව ධනිය ගෝපාල දැන සිටියේ නැත.

බුදුරදුන් එතැනට වැඩියේ ධනිය ගෝපාලයන්ගේ මේ කුරිරු සිතිවිලි නසා සසරින් නිදහස් කර ගන්නට මඟ හෙළිකර දීම සඳහා ය.

ධනිය ගෝපාලයන් තම පද්‍යයෙන් “මේඝයට වැහැපන්” යන ආරාධනා කරද්දී එය බුදුරදුන්ගේ කන වැකුණි. එවිට බුදුහු එයට පිළිතුරක් ලෙස පද්‍යයක් වදාළහ.

“අක්කොධනෝ විගත ඛිලෝහමස්මි
අනුතිරෙ මහියා ඒක රත්ති වාසො
විවටා කුටි නිබ්බුතො ගින
අථ ඛෙ පත්ථයසි පවස්ස දෙව“

මෙහි අදහස මෙසේ ය.

“ක්‍රෝධය තුරන්කර ඇත. ක්ලේශ බන්ධනයන් නැමැති සසරෙහි බැඳ තබන සියලු කණු උදුරා දමා ඇත. මහී ගං තෙරෙහි එක් රැයක් පමණක් වෙසෙමි. භවය නැමැති කුටිය වසා සිටින කෙලෙස් පියස්ස නැති බැවින් විවෘත ය. අකුසල් ගින්න නිවා දමා ඇත.

ඉතා ගැඹුරු ධර්මයක් රැගෙන එන බුදුරදුන්ගේ මේ පිළිතුරින් ධනිය ගෝපාල විස්මයට පත්විය. ඔහු එයින් කුල්මත් විය. එහෙත් ධනිය ගෝපාලට පිළිතුරු දුන් කවියා කවුදැයි එක්වරම හඳුනා ගන්නට නොහැකි විය.

එහෙයින් තව තවත් රසවත් පද්‍ය අසමින් සතුටු වන්නට ධනිය ගෝපාල කල්පනා කළේ ය. මෙසේ පද්‍ය ගණනාවක් ම ඔහු ගායනා කළේ ය. ඒ සියල්ලට ම බුදුහු පිළිතුරු දුන්හ.

ධනිය ගෝපාලගේ අවසන් පද්‍යයෙන් කියවුනේ “දරුවන් ඇති තැනැත්තා දරුවන්ගෙන් සතුටු වෙයි. ගව සම්පත ඇති තැනැත්තා ගව සම්පතින් සතුටු වෙයි. මිනිසාට ඇති සැපත, සම්පත් පිරී පැවතීමයි. සම්පත් නැති තැනැත්තාට සතුටින් ජීවත් විය නොහැකි ය.”

මෙය ඕනෑම පුහුදුන් කෙනකුගේ කල්පනාව විය හැකි ය. දරුවන්, ගවයන් ඇති තැනැත්තා එයින් සතුටක් ම විඳී. එමෙන්ම කාම සම්පත්, ඥාති සම්පත්, ඉඳුරන් පිනවන විවිධ සම්පත්, අනෙකුත් විවිධ රැස් කිරීම් නිසා තමාට තෘප්තියෙන් ජීවත් විය හැකියි. ඒවා නැති කල්හි සතුටක් නැත. ධර්මයෙන් බැහැර වූ ලෞකික සිතුම් පැතුම් අනුව මේ අදහස නිවැරැදි ය.

එහෙත් ධර්මානුකූලව විග්‍රහ කර බැලීමේ දී මේ සියල්ල වේදනාව ම ඇති කරවන්නේ නැත්ද? එබැවින් තථාගතයන් වහන්සේ අප මාතෘකා කළ ගාථාවෙන් ධනිය ගෝපාලට පිළිතුරු දී වදාළහ.

එයට අනුව දරුවන් ඇත්තා දරුවන් නිසාම ශෝකයට පත් වෙයි. පීඩාවට පත් වෙයි. බැඳීම් ඇති වෙයි. ගවයන් ඇත්තා ද එසේ ම ය. ආශාවෙන් රැස් කළ සියල්ල වැනසී යන විට ශෝකයම ඇති වෙයි. එබැවින් උපධි නැති තැන එනම්, රැස් කිරීමක් නැති තැන දුකක් ද නැත.

මේ දේශනාව ඇසූ ධනිය ගෝපාලගේ සිත නිදහස් වුණි. යථාවබෝධයට පත් වුණි. බිරිඳ සමඟ අඳුරේ ම තථාගතයන් වහන්සේ සරණ ගොස් බුදු සව්වන් බවට පත් වූහ. සසර දුක් කෙළවර කොට උතුම් නිවනට පත්වූහ.

ලෞකික සිතුම් පැතුම්වලින් මිදී මොහොතක් මේ ගැන සිතා බලන්න.

නිකිණි පුර පසළොස්වක

 අගෝස්තු 11 බ්‍රහස්පතින්දා
පූර්වභාග 10.41
පුර පසළොස්වක ලබා
12 සිකුරාදා
පූර්වභාග 07.08 ගෙවේ.
11 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 11

Second Quarterඅව අටවක

අගෝස්තු 19

Full Moonඅමාවක

අගෝස්තු 26

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]