[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අපවත් වී වදාළ කෝට්ටේ ශ්‍රී දේවානන්ද මා හිමි සමරා පින්කම්

අපවත් වී වදාළ කෝට්ටේ ශ්‍රී දේවානන්ද මා හිමි සමරා පින්කම්

වර්ෂ 1918 පින්බර දුරුතු මස පළමු වැනි දින උපත ලද පුත් කුමරු කුරුවිටගේ පේ‍්‍රමදාස නම් විය. පේ‍්‍රමදාස කුමරු අධ්‍යාපනය ලැබුවේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ය. සිංහල භාෂාව මෙන් ම ඉංගී‍්‍රසි භාෂාව හොඳින් උගත් මේ ශිෂ්‍යයා ඖෂධවේදී විභාගයෙන් සමත් ව ඖෂධවේදියකු වශයෙන් ජීවිකාව ආරම්භ කළේ ය.

අසරණ මිනිසුන්ට පිහිට වෙමින්, උගත් ගිහි – පැවිදි පඬිවරුන් සොයා ගොස් එතුමන්ලාගේ ඇසුර පැතූ මොහු බුදු දහම ගැඹුරෙන් උගෙන ගැටලු නිරාකරණය කර ගැනීමට උත්සුක විය. එපමණක් ද නොව ඒ උගත් දේ භාවිතයට ගැනීමට මෙන් ම ඒවා තම ජීවිතයට සම්බන්ධ කර ගැනීමටත් මහත් අභිරුචියක් දැක්වී ය. කෝට්ටේ රාජමහා විහාරයත්, කැලණිය රාජ මහා විහාරයත් මොහුගේ ආගමික කටයුතුවල මූලස්ථාන බවට පත් කර ගනු ලැබිණ. පෙහෙවස් සමාදන් වීම සඳහා කැලණි පන්සලට යාමට පුරුදු වී සිටි හෙතෙම තමාට ඉතා ආසන්නයේ පිහිටි කෝට්ටේ පන්සල ද පෙහෙවස් සමාදන් වීමේ කේන්ද්‍රස්ථානයක් කර ගත්තේ ය.

සිය පියාණන් වූ ජෝන් ද සිල්වා මහතා 1949 ජනවාරි මස 30 වැනි දින අනපේක්ෂිත ලෙස අභාවප්‍රාප්ත විය. පියාගේ අභාවයෙන් අවුරුදු දහයකට පසු වර්ෂ 1959 දෙසැම්බර් මස 08 වැනි දින මව මෙලොවින් සමු ගත්තා ය. මව වෙනුවෙන් තුන් මාසේ දානය කල් ඇති ව දී නිම කළ පේ‍්‍රමදාස තරුණයා ගිහි ගෙය හැර දමා නික්මුණේ ය.

මෙසේ නික්මුණු මහතාණෝ, අම්බලන්ගොඩ, ගල්දූවේ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ සමුත්පාදක කඩවැද්දුව ජිනවංශ නා හිමිපාණන් වහන්සේගේ අනුදැනීම සහිත ව එකී යෝගාශ්‍රම සංස්ථාවේ ශිෂ්‍යයකු ලෙසින්, වර්ෂ 1960 ජනවාරි මස පළමු වැනි දින අතුරුගිරියේ බෝධි රුක්ඛාරාමයේ දී පණ්ඩිත මුල්ලේගම සිරි සීලාලංකාර අධිකරණ නායක හිමිපාණන් වහන්සේ වෙත කෝට්ටේ දේවානන්ද නමින් පැවිදි බිමට පත් වූහ.

කෝට්ටේ දේවානන්ද සාමණේරයන් වහන්සේ වර්ෂ 1961 ජූලි මස 18 වැනි දින නිමලව අරණ්‍ය සේනාසනයේ ජල සීමා මාලකයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.

ඉනික්බිතිව තම පැවිදි ජීවිතය පරිපූර්ණත්වයට පත් කර ගැනීමේ පරමාධ්‍යාශයෙන් ඊට සුදුසු ස්ථානයක් සොයනුයේ කිරින්දේ පුහුල්වැල්ල ශ්‍රී රෝහණ ආරණ්‍ය සේනාසනය ගෝචර භූමියක් සේ සලකමින් එකී කාර්යය ඉටු කර ගැනීම වස් කලබලකාරි නාගරික පරිසරයෙන් බැහැර ව එහි වැඩම කළ හ. මේ කාලය වෙන විට කොළඹ ජර්මන් ධර්මදූත සංගමයේ පාලක මණ්ඩලය බෞද්ධාලෝක මාවතේ ජර්මන් ධර්මදූත මූලස්ථානය භාරගෙන කටයුතු කිරීම සඳහා යෝග්‍ය යතිවරයකු ලබා දෙන ලෙස කඩවැද්දුව ශී‍්‍ර ජිනවංශ නා හිමිපාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළේය. තමන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වූ කෝට්ටේ දේවානන්ද ස්වාමීන් වහන්සේ ජිනවංශ නා හිමිපාණන් වහන්සේගේ තෝරා ගැනීම විය. සසර දුක් කෙටි කර ගැනීම සඳහා නගරයෙන් බැහැර වනවාසී ජීවිතයට ඇලුම් කළ දේවානන්ද හිමියන්ට සිය ගුරුවරයාණන් වහන්සේගේ මේ ඇරයුම අභියෝගයක් විය. තමන් වහන්සේ ගරු කරන ගුරු දේවයාණන් වහන්සේගේ මේ ඉල්ලීම පැහැර හැරිය නොහැක්කක් බැවින් 1964 මාර්තු මාසයේ දී පුහුල්වැල්ලෙන් කොළඹට වැඩම කොට ජර්මන් ධර්මදූත ආශ්‍රමයේ කටයුතු භාරගත් සේක.

කොළඹ විජේරාම මාවතේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ අධිපතිව වැඩ විසූ මිරිස්සේ ගුණසිරි මාහිමිපාණන් වහන්සේ හදිසියේ අපවත් වූ නිසා, ඊට සුදුසු තෙර නමක් සොයා දෙන ලෙස කඩවැද්දුව ජිනවංශ මාහිමිපාණන් වහන්සේට යළිදු ආරාධනාවක් ලැබිණ. මේ සඳහා ද උන්වහන්සේගේ තේරීම වූයේ තම ශිෂ්‍ය රත්නයක් වූ කෝට්ටේ දේවානන්ද හිමිපාණන් වහන්සේ ම ය. අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්ම පීඨයේ අධිපතිව වැඩ විසූ ඉඳුරුවේ උත්තරානන්ද හිමිපාණන් වහන්සේ විසින් භාවනා උගැන්වීමේ ආචාර්ය ධූරයක් සඳහා ද උන්වහන්සේ තෝරා ගන්නා ලදී. වැටුප් ලැබීම ප්‍රතික්ෂේප කළ උන්වහන්සේ ඒ තනතුරු අතහැර දැමූ සේක. මේ සියලු තනතුරුවලට වඩා උන්වහන්සේ ගරු කළේ “භික්ෂූත්වය “ නමැති තනතුරට ය.

රැකීමට ඇත්තේ භික්ෂූත්වය පමණක් බවත් පරිහරණයට ඇත්තේ පාත්‍රා සිවුරු සහ තල්පත පමණක් බවත් උන්වහන්සේගේ දර්ශනය විය.

අපගේ ගුරු දේවයාණන් වහන්සේ වෙනුවෙන් මේ දක්වා අංක 417, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ශ්‍රී කල්‍යාණ ධර්ම ආශ්‍රමයේ අනුශාසක මිරිහානේ නන්ද මාහිමි ප්‍රධාන විහාරවාසී භික්ෂූන් වහන්සේගේ මූලිකත්වයෙන් සැදැහැබර දායක පින්වතුන්ගේ දායකත්වයෙන් අපවත් වී වසර 31 ක් අඛණ්ඩව ගුණානුස්මෘති පින්කම් ඉතා උසස් ලෙස කර පුණ්‍යානුමෝදාන කර ඇත. 32 වන ගුණානුස්මෘති පුණ්‍යානුමෝදනාව මේ මස 14 වැනි දින සිදුවේ. මෙම ගුණ සමරු පින්කමෙන් ජනිත සකල පුණ්‍ය ශක්තිය අපගේ ගුරුදේව කෝට්ටේ දේවානන්ද මාහිමිපාණන් වහන්සේට ලැබේවායි අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කර සිටිමු.

නිකිණි පුර පසළොස්වක

 අගෝස්තු 11 බ්‍රහස්පතින්දා
පූර්වභාග 10.41
පුර පසළොස්වක ලබා
12 සිකුරාදා
පූර්වභාග 07.08 ගෙවේ.
11 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 11

Second Quarterඅව අටවක

අගෝස්තු 19

Full Moonඅමාවක

අගෝස්තු 26

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]