අනපේක්ෂිත සිදුවීම් කුඩා දරුවාට ද පොදුයි ඉවසීම දරාගැනීම පුරුදු කරන්න
දංකොටුව වෑකඩ ජාතික පාසලේ ආචාර්ය
ශාස්ත්‍රපති
බඩල්ගම සුමේධ තිස්ස හිමි
දරුවා සිල්වත් කරලීම මව්පියන් සතු මූලික වගකීමකි. සිල්වන්තයා තුළ ඇත්තේ ආදරණීය
බවයි. මමත්වයෙන් තොර පරාර්ථකාමී ආකල්පයි. හැඟීම් මත පදනම් නොවූ විනිවිද දකින
විචාරපූර්වකත්වයයි. මෙවැනි ප්‍රතිපත්ති මව්පිය චර්යාව තුළ ගොඩනැඟීම තුළින් දරුවා
සුපසන් ව සමාජගත කිරීමට මව්පියන්ට හැකි වේ.
සාම ජාතකයේ එන සාම කුමාරයා බෝධිසත්ව ගුණෝපේත උතුමෙකි. මව පියාගේ දෙනෙත් අන්ධ වීම
දුකට මෙන් ම සතුටට ද කාරණයක් බව සාම කුමරු සිතයි. එසේ සිතන්නේ තමන්ට මව්පියන්ට
සැලකීමට අවස්ථාවක් සැලසි ඇති නිසා ය. දරුවා මව්පියන්ට සැලකිය යුතු ය. නූතන දරුවාට
මෙය අවබෝධ කරලීම වඩාත් වැදගත් වේ. මවට පියාට උපස්ථාන කිරීම ද මංගල කාරණාවක් වේ.
මව්පියන් දරුවන්ට තමන් විඳි දුක් ලබාදීමට අකැමැති ය. තමන්ට වඩා සුරලොවක් දරුවන්ට
ලැබීමට අපේක්ෂා කරයි. දරුවාට දුක තේරුම් කළ යුතු ය. දුක අවබෝධ වීමට ඉඩ ලබාදිය යුතු
ය. ජීවිතයක ඇති කටුකත්වය, අමිහිරි බව දරුවා විසින් ම තේරුම් ගැනීම යථාර්ථවාදී වේ.
අවබෝධයකින් තේරුම් ගත් ජීවිත රටේ ජීවනාලියට මඟ කියන්නෝ වෙති. එවැනි වටපිටාවකට දරුවා
යොමු කිරීම සාධනීය කාරණාවකි.
බරණැස් නුවර රජ මුව දඩයමේ ගොස් මුවන්ට විදි හී පාරක් සාම කුමරුට වැදී සාම කුමරු
අනතුරට ලක් වූ පසු මව්පියන්ගේ උතුම් ප්‍රාර්ථනා මහිමයෙන් සාම කුමරුට යළි ජීවිත
භාග්‍ය උදාවීය.
සාම ජාතකය තුළ බරණැස් රජු මුව දඩයමේ ගොස් මුවන්ට විදි හී පහර සාම කුමරුට වදින්නේ ය.
ඒ සිතාමතා නොකළ දෙයකි. අනපේක්ෂිත සිදුවීමකි. දරුවාට ද අනපේක්ෂිත සිදුවීම්වලට මුහුණ
දීමට සිදුවේ. නොහිතන අවස්ථාවක නොසිතූ දෙයක් සිදුවිය හැකි ය.
එවැනි අවස්ථාවකට මුහුණ දීමට දරුවාට කායික, මානසික ශක්තිය හා ඉවසීම, දරාගැනීම යන
මානසික ගුණාංග පුරුදු පුහුණු කර තිබිය යුතු ය. එවැනි ගුණාංග ඇති දරුවන් සමාජගතවීම
තුළ රටේ අවශ්‍යතාවන්ට අවැසි දරු පරපුරක් බිහිකිරීමේ අවකාශය නිර්මාණය වේ.
සාම කුමරුගේ චරිතය මෛත්‍රිය මූලික වූවකි. දස පුණ්‍ය ක්‍රියාවලට ප්‍රමුඛස්ථානය ලබා
දේ. දරුවා තුළ ද මූලිකව නිර්මාණය කළ යුත්තේ මෛත්‍රියයි. මානසික අභ්‍යාසයක් ලෙස එය
දරුවන් තුළ ගොඩනැංවිය යුතු ය. තමන්ට අනුන්ට හා හැම දෙනාට මෙත් වැඩීම තුළ කායික
මානසික නිරවද්‍යතාවක් ගොඩනැඟේ. වෛරී මූලික හැඟීම්, තවත් කෙනකු පීඩාවට පත් කිරීම යන
හැඟීම්, මරා ගැනීම්, ගහ ගැනීම් වැනි ක්‍රියාදාමයන්වලට දරුවන් පෙළඹුණු අවස්ථා
වර්තමානයේ ප්‍රබලව දැකිය හැකි ය.
දරුවා අරගලකාරී මානසික ස්වභාවයෙන්
මුදවා ගැනීමට දරුවා දහම් අධ්‍යාපනයට
යොමු කිරීම,
විහාරස්ථාන ඇසුර භාවනා ආදී
කටයුතුවලට යොමු කිරීම,
වෙහෙර මලුව ඇමදීම ආදී කටයුතුවලට
යොමු කිරීම.
ආදී කොටගත් දස පුණ්‍ය ක්‍රියාවලින් පිරිපුන් චර්යාවලට ළමයා හුරුකිරීම ළමා පරපුරේ
ස්වර්ණමයභාවය ඇති කිරීමට හේතු වේ.
විශේෂයෙන් වර්තමානය තුළ දුරකථන හා සමාජ මාධ්‍ය වැනි කාරණා මූලික කරගෙන කුඩා කල සිටම
දරුවා හැඟීම්වලට ඉඩ දී ක්‍රියා කරන අයුරු ඒ තුළ ළමා ජීවිතය විනාශයට යන අයුරු ද බොහෝ
සිදුවීම් ඔස්සේ අපට දැකගත හැකි ය. මේවා වළකාලීමට නම් මව්පියන් නිවැරැදි විය යුතු සේ
ම දරුවා ද නිවැරැදි මාර්ගයට ගත යුතු ය.
දරුවා නිවැරැදි මාර්ගයට ගැනීමට නම් ළමයාට ඉදිරිය දෙස දූර දර්ශීව බැලීමට හුරු කළ
යුතු ය. විචක්ෂණ බව ඇති කළ යුතු ය. සිතාමතා ක්‍රියා කරන මඟ කයා දිය යුතු ය.
පන්සිල්, අටසිල් රැකීමට දරුවා පෙළඹවිය යුතු ය. දස පුණ්‍ය ක්‍රියා හා සිල් රැකීමට
දරුවා පෙළඹවිය යුතු ය. |