[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෝසත් දරු පිරිසක් ජාතියට දායාද කිරීම දහම් පාස‍ෙල් අරමුණයි

බෝසත් දරු පිරිසක් ජාතියට දායාද කිරීම දහම් පාස‍ෙල් අරමුණයි

දහම් පාසල් දිනය යෙදී තිබුණේ පසුගිය 3 වැනිදාටය. 2022 අවුරුද්දට දහම් පාසල් ආරම්භ කර අවුරුදු 127කි. අපේ දහම් පාසල් සේවාවේ ආරම්භය සනිටුහන් වන්නේ 1895 අගෝස්‌තු මස 03 වැනි දිනය. ඒ ගාල්ලේ වැලිවත්තේ ශ්‍රී විජයානන්දාරාමයේ දී සර් හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌ මැතිතුමා හා බ්ලැවැට්‌ස්‌කි මැතිනියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ දහම් පාසලයි.

වර්ෂ 1895 අගෝස්තු මස 03 වැනි දින ගාල්ල වැලිවත්ත විජයානන්ද විහාරස්ථානයෙහි ඇහැලේපොළ ජිනෝරස ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් ඇරඹි විජයානන්ද දහම් පාසල විහාරස්ථානයක ආරම්භ වූ සංවිධානාත්මක ප්‍රථම දහම් පාසල වන බව මූලාශ්‍ර අනුව පැහැදිලි ය. ඒ අනුව දහනව වැනි සියවසේ අග භාගයේ දී හා විසිවැනි සියවසේ ප්‍රථම භාගය වන විට දිවයින පුරා ඉරුදින බෞද්ධ දහම් පාසල් ව්‍යාප්තිය සිදු වී ඇත.

වර්ෂ 1889 දී ශ්‍රීමත් ඩි. බී. ජයතිලක මැතිතුමාගේ සහභාගිත්වයෙන් ඇරඹී, කොළඹ තරුණ බෞද්ධ සංගමය මෙරට දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය උදෙසා සුවිශේෂී පුරෝගාමී මෙහෙවරක් ඉටුකර ඇති බව මේ මොහොතේ සිහිපත් කළ යුතුව ඇත.

1920 වර්ෂයේ දී දහම් පාසල් විභාග පැවැත්වීම ආරම්භ කිරීම හා දශක 05 කට ආසන්න කාලයක් දහම් පාසල් විභාග පැවැත්වීම, දහම් පාසල් අධ්‍යාපනයට අවශ්‍ය පෙළපොත් සම්පාදනය කර ලබා දෙමින් ඉටුකළ මෙහෙය අතිමහත් ය.

එසේම අතිපූජනීය මහා සංඝරත්නයේ හා එවකට ජීවත්ව සිටි උදාරතර මිනිසුන්ගේ ස්වෙච්ඡා වගවීමත්, බහුතර ජනයාගේ කැපවීමත් දහම් පාසල් අධ්‍යාපනය නොනැසී රැඳී පැවත්මට බෙහෙවින් ඉවහල්වී ඇත.

වර්ෂ 1956 දී සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ආරම්භ කිරීමත් සමඟ බෞද්ධ දහම් පාසල් සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබීමට හේතු විය. එවකට පැවති සියලු දහම් පාසල් සංස්කෘතික දෙපාර්තමේන්තුව ලියාපදිංචි කර, දහම් පාසල් පද්ධතියේ සම්පූර්ණ වගකීම සංස්කෘතික දෙපාර්තමේන්තුවට පවරා, එවකට ප්‍රාදේශීය ආදායම් නිලධාරී කොට්ඨාස හෙවත් මේවන විට ක්‍රියාත්මක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පදනම් කර ගනිමින් ප්‍රාදේශීය සාසනාරක්ෂක මණ්ඩල පිහිටුවා, දහම් පාසල් ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලවලට අනුයුක්ත කර දහම් පාසල් අධ්‍යාපනයට ඵලදායිතාවක් උදාකර දීමට හැකි වී ඇත.

2002 වර්ෂයේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩල ඒකාබද්ධ කර, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය ස්ථාපිත කර බුද්ධ සාසන අමාත්‍යංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්යයන් සදහා සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ උපදේශකත්වයෙන් ක්‍රියාත්මක කිරීම දක්වා වූ දහම් පාසල් පාලන හා පරිපාලන ව්‍යුහයේ විකාශනය මත අදවන විට සමස්ත දහම් පාසල් පද්ධතිය සුවිශේෂී සන්ධිස්ථානයකට පැමිණ ඇති බව සඳහන් කළ යුතු ය.

අද වනවිට නිපුණතා පාදක අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වේ. ඒ අනුව ජාතික අධ්‍යාපනය කොමිෂන් සභාව මගින් පොදු නිපුණතා 05 ක් හඳුන්වා දී ඇත.

සන්නිවේදන නිපුණතා

පරිසරයට අදාළ නිපුණතා

ආචාර ධර්මවලට හා ආගමට අදාළ නිපුණතා

ක්‍රීඩා හා විවේකය පිළිබඳ නිපුණතා

ඉගෙනීමට ඉගෙනීම පිළිබඳ නිපුණතා ඒ අතර වෙයි. එකී නිපුණතා දහම් පාසල් විෂය නිර්දේශවලට ද අදාළ කර ක්‍රියා කිරීම සිදුවේ.

බුදු දහම පදනම් කර ගෙන තමා හා තම, අවට පරිසරය පිළිබඳ නිවැරැදි අවබෝධයක් ඇති, එම අවබෝධයට අනුව හැසිරෙන සහ එසේ හැසිරීමේ ප්‍රතිඵල අද්දකින ගුණ නැණ බෙලෙන් යුතු බෝසත් දරු පිරිසක් සමස්ත ජාතියට දායාද කිරීම මෙරට බෞද්ධ දහම් පාසල් අධ්‍යාපනයේ ප්‍රධාන පරමාර්ථය වේ. එකී පරමාර්ථය පෙරදැරිව දහම් පාසල් අධ්‍යාපනයේ යෙදෙන දරුවාගේ ආකල්ප සංවර්ධනය සඳහා අපේක්ෂිත පොදු නිපුණතා දහයක් ද, බෞද්ධ විද්වතුන් විසින් හදුන්වා දී ඇත.

දහම් පාසල් අධ්‍යාපනයේ වටිනාකම හැඳින ගෙන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ක්‍රියා කරයි.

බුද්ධ චරිතය හා වෙනත් ශ්‍රේෂ්ඨ චරිත හැඳීන ඒවා චරිතායනය කරයි.

පන්සිල් සුරකිමින් සඟරුවනට හා ගුරු දෙගුරුන්ට ගරු බුහුමන් දක්වයි.

ධර්මය පිළිබඳ නිවැරැදි නිරවුල් දැනුමක් ඇතිව තමන්ටත් අනුන්ටත් හිතසුව පිණිස වන පෞරෂයක් ගොඩනඟා ගැනීමට ක්‍රියා කරයි.

කායික හා මානසික සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වෙමින් විවේකය ඵලදායී ලෙස ගත කරයි.

දේශාභිමානයෙන් යුතුව ශාසනික උරුමය සහ බෞද්ධ සංස්කෘතික දායාද ආරක්ෂා කර ගැනීමට ක්‍රියා කරයි.

බෞද්ධ නිර්ණායක අනුව කළ යුතු හා නොකළ යුතු දේ ඇඳීන ගෙන ඒ අනුව ක්‍රියා කරයි.

බෞද්ධ ආර්ථික හා දේශපාලන දර්ශනය හැඳිනගෙන ඊට අනුගත වෙයි.

බෞද්ධ සිරිත් විරිත් වත් පිළිවෙත් හා පරිසරය හැඳිනගෙන ඊට අනුරූපී ව ක්‍රියා කරයි.

පාලි භාෂා කුසලතාව සහ අභිධර්මය පිළිබඳ මූලික දැනුම ඇති කර ගැනීමට ක්‍රියා කරයි.

මෙම නිපුණතා පදනම් කර ගනිමින් අධ්‍යයන කටයුතුවල නිරතවන ළමයා සමාජ හා පරිසර හිතකාමි අයකු වශයෙන් සමාජගත වේ. එය වර්තමාන සමාජයට අතිශයින් වැදගත් වේ. මේ අනුව දහම් අධ්‍යාපනය ලබන ළමයාගේ දැනුම, ආකල්ප, නිපුණතා සංවර්ධනය වී යහපත් පුරුදුවලින් හෙබි යහපත් සමාජයක් ගොඩ නඟා ගැනීම සදහා ඔහු මැදිහත්කරුවකු වන බව තරයේ විශ්වාස කරමි..

එමෙන්ම දහම් පාසල් අධ්‍යාපනය නැංවීම වෙනුවෙන් ඇප කැප වී කටයුතු කරන දහම් පාසල් ආචාර්යවරුන්ට මෙන් ම ශාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරි හිමිවරුන්, සභාපති හිමිවරුන් හා නිස්සරණාධ්‍යාශයෙන් කටයුතු කරනු ලබන අනෙකුත් සියලු දෙනාට සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රණාමය ද හිමි වේ.

නිකිණි පුර පසළොස්වක

 අගෝස්තු 11 බ්‍රහස්පතින්දා
පූර්වභාග 10.41
පුර පසළොස්වක ලබා
12 සිකුරාදා
පූර්වභාග 07.08 ගෙවේ.
11 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 11

Second Quarterඅව අටවක

අගෝස්තු 19

Full Moonඅමාවක

අගෝස්තු 26

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]