[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සරල පැවතුම් සහිත ආර්ථික රටාවකට හුරුවීම වැදගත්

සරල පැවතුම් සහිත ආර්ථික රටාවකට හුරුවීම වැදගත්

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ දක්ෂිණ ලංකාවේ ද්විතීය අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී සුමංගල ඛේමානන්ද ශාස්ත්‍රපති හෑගොඩ අස්සජි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

පි‍්‍රයසම්භාවනීය විශිෂ්ට සේවාවක නියුතු ධර්ම විනයධර බහුශ්‍රැත භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් ප්‍රකට ඔබ වහන්සේ කුඩා අවධියේ ගුරු හාමුදුරුවරුන්ගේ ආශ්‍රය නිශ්‍රය ලබපු ආකාරය ප්‍රකාශ කරමින් සාකච්ඡාව ආරම්භ කරමු නායක හාමුදුරුවනේ,

1958 වර්ෂයේ ජූලි මස 28 වැනිදා ගාල්ල දිස්ත්‍රික්කයේ හෑගොඩ නමින් හඳුන්වන බොහොම රමණීය ගැමි පරිසරයක තමයි මගේ ජන්මෝත්පත්තිය සිදු වුණේ. මගේ පියාගේ පියා විලියම් චාර්ලිස් අප්පුහාමි ශ්‍රද්ධාවන්ත උපාසක මත්මයෙක් නිසාම මා පැවිදි වෙනවා දැකීමට බොහොම ආසාවෙන් සිටියා. ඒ වගේම සංසාරගත පුණ්‍ය ශක්තියක් නිසාදෝ පුංචි කාලයේ සිටම මටත් පැවිදි වීමට විශාල ආසාවක් තිබුණා.

ඒ අනුව නානායක්කාරවසම් ලොකු වෙල්ලාලගොඩගේ මානිස් අප්පුහාමි මහෝපාසකතුමා අමුගොඩ රුහුණගේ පිනදරහාමි මහෝපාසිකා මාතාව යන සද්ගුණවත් ශ්‍රද්ධා බුද්ධිසම්පන්න මව්පිය දෙපළගේ ආශිර්වාදය ඇතිව අපවත් වී වදාළ කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ උප ප්‍රධානාචාර්ය පුංචි බොරැල්ල බෞද්ධ මධ්‍යස්ථානාධිපති දෛවී වාග් විශාරද කීර්ති ශ්‍රී සුමංගල රාජකීය පණ්ඩිත හෑගොඩ ධමිමින්දාභිධාන කොළඹ නවකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ස්වාමින් වහන්සේ, කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ උප ප්‍රධානාචාර්ය හෑගොඩ නිග්‍රෝධාරාමය, ගිංතොට සෝමාරාමය, යන උභය විහාරාධිපති රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ ථේරවාද දර්ශන විශාරද රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හෑගොඩ ඛේමානන්දාභිධාන බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ස්වාමීන් වහන්සේ, අම්පාර දිගාමඩුල්ල ශ්‍රී විද්‍යානන්ද පරිවේණාධ්‍යක්ෂ මහාවාපී මහා විහාරය, ලාහුගල නීලගිරි රාජමහා විහාරය ඇතුළු විහාරගණයේ අධිපති සද්ධර්මවාගීෂ්වර ශ්‍රී සුමනතිස්ස හෑගොඩ ඉන්දසාරාභිධාන නැගෙනහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ස්වාමින් වහන්සේ වැනි සාර්වභෞම ගරු සම්භාවිත ආචාර්යපාදෝත්තමයාණන් වහන්සේගේ ආචාර්යත් වයෙන් ඉඳුරුව කටුකොළිහේ සද්ධර්මෝදය විශ්ව විද්‍යාල පිරිවෙන් ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත සද්ධර්මවාගීශ්වර විනයාචාර්ය ශ්‍රී ඥාානවිමල ගල්බඩ නන්දාරාමාභිධාන ගාලු පළාතේ ද්විතීය සංඝනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් 1975 වර්ෂයේ ජනවාරි මස 27 වැනි දින හෑගොඩ ශ්‍රී නිග්‍රෝධාරාම පුරාණ විහාරස්ථානයේ දී උත්තරීතර පැවිදි ජීවිතයට එළඹුණා.

අනතුරුව ඉඳුරුව කටුකොළිහ සද්ධර්මෝදය පිරිවෙන, කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය මහා පිරිවෙන, ගාල්ල ශ්‍රී පුඤ්ඤසාර මහ පිරිවෙන, නුගේගොඩ ශ්‍රී සුභද්‍රාරාම මහ පිරිවෙන යන සසුන්කෙත බැබළවූ දීප්තිමත් පරිවේණාස්ථානයන්හි වැඩ සිටි ධර්ම විනයධර ශ්‍රද්ධා සම්පන්න ආදර්ශවත් සුපේශල ශික්ෂාකාමී ශාස්ත්‍රඥයන් වහන්සේගේ මඟපෙන්වීමෙන් ශාසනානුලෝමී හැඟීමෙන් ධර්ම ශාස්ත්‍රෝන්නතිකාමිත්වයෙන් යුතුව ශාස්ත්‍රිය ශික්ෂණය ලබා ගැනීමට තරම් පුණ්‍ය ශක්තිය බලවත් වුණා. ඒ වගේම හෑගොඩ ඛේමානන්ද නාහිමි, හෑගොඩ ධම්මින්ද නාහිමි, හෑගොඩ ඉන්දසාර නාහිමි වැනි ලංකා ශාසනාම්බරය ආලෝකවත් කළ නිවැරැදි ශාසනික ප්‍රතිපදාව අනුගමනය කරමින් සුපේශල ශික්ෂාකාමී අර්ථ චර්යාවෙන් සම්භාවනාවට පාත්‍ර වූ ගුරුදේවෝත්තමපාදයන් වහන්සේගේ අභාසය පුණ්‍යවන්ත පැවිදි ජීවිතය සම්භාවනාවට පාත්‍ර වීමට හේතු වුණ බවත් කෘතවේදීව සිහිපත් කළ යුතුයි. නිසි වයස් සම්පූර්ණ වීමත් සමඟ පූර්වෝකෘත පුණ්‍ය මහිමයට අනුව 1980 වර්ෂයේ දී උතුම් අධිශිල සංඛ්‍යාත උපසම්පදා ශීලයට පත් වීමට තරම් භාග්‍යවන්ත වුණා.

උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් ව ශාස්ත්‍රවේදී උපාධිය හැදෑරුවා. අනතුරුව පාසල් ආචාර්යවරයකු වශයෙන් සේවය කළ කාලපරිච්ඡේදයේ දී ශාස්ත්‍රපති උපාධිය, පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ලබා ගැනීමට කටයුතු කළා.

පන්ති සාමාර්ථයක් සහිතව විශ්වවිද්‍යාල උපාධිය දිනා, වියත් භික්ෂුවක් වශයෙන් ස්වකීය විහාරස්ථාන කේන්ද්‍රකොට සාමාජික ආගමික වශයෙන් සංවිධානාත්මක ව සිදු කරන සේවාව පැහැදිලි කරන්න අපේ හාමුදුරුවනේ.

මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමටත් පෙර වයස අවුරුදු 18දී විතර විහාරස්ථානය ප්‍රතිසංස්කරණ කරමින් 300ක් 400ක් පමණ දරුවන් දහම් අධ්‍යාපනය ලබන දහම් පාසලට ප්‍රධානාචාර්ය වශයෙන් ප්‍රදේශයට සුචරිතවත් දරු පරපුරක් දායාද කිරීම ආරම්භ කළා. 1975 වර්ෂයේ සිට වසර 45ක් පුරා ප්‍රධානාචාර්යවරයා වශයෙන් කළ සේවය 1988 වර්ෂයේ සිට දහම් පාසල් ගුරු උපදේශකවරයකු වශයෙන් සුචරිතවත් සමාජයක් වෙනුවෙන් තවදුරටත් පුළුල් කළා.

අනතුරුව මූලික අධ්‍යාපනය ලැබූ ශාරිපුත්ත විද්‍යාලයේ ආචාර්යවරයකු වශයෙන් ගුරු සේවය ආරම්භ කරමින් විජයබා විද්‍යාලය, එගොඩ උයන සුනන්දෝපනන්ද විද්‍යාලය, කොළඹ 10 අශෝක විද්‍යාලය, ගාල්ල ගිංතොට මහා විද්‍යාලය ආදී පාසල්වල ආචාර්යවරයකු වශයෙන් දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය ලබා දෙමින් 2010 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා සහකාර, නියෝජ්‍ය, විදුහල්පති ධූර දක්වා වගකීම් දරමින් දැයේ දරු පරපුර වෙනුවෙන් මහත් සේවයක් ඉටු කළා.

ඒ වගේම ගමේ සැදැහැවතුන්ගේ ආධාර උපකාර ලබා ගෙන අසූමහා ශ්‍රාවක චිත්ත සමාධි කංචුක චෛත්‍ය, සතර දේවාල, ලැගුම්ගෙය, නව විහාර මන්දිරය, දාන ශාලාව, බෝධිප්‍රාකාරය, විදුලිය හා ජල පහසුකම් ඇතුළුව හෑගොඩ නිග්‍රෝධාරාම විහාරස්ථානය සියලු විහාරාරාංගයන්ගෙන් සමලංකෘත දර්ශනීය විහාරස්ථානයක් බවට පත් කළා.

2013 වර්ෂයේ දී නැණසල පරිගණක මධ්‍යස්ථානය පිහිටුවීමටත්, නිග්‍රෝධාරාම මාවත කාපට් කිරීමටත් මූලිකව ක්‍රියා කළා. මහා හෑගොඩ නිග්‍රෝධාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති, අම්පාර ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ විහාරාධිපති, ගාල්ල ගිංතොට ශ්‍රී සෝමාරාම පුරාණ විහාරයේ විහාරාධිපති වශයෙන් විශාල ශාසනික කාර්යභාරයක් ඉටු කරනවා. 2014 වර්ෂයේ සිට හික්කඩුව දකුණු ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති වශයෙන් විශාල සමාජ මෙහෙවරක් සිදු කරගෙන යනවා.

ඉන්දියාව, තායිලන්තය, බුරුමය, ඩුබායි ආදී රටවල ධර්මදූත සේවාවක නියැළෙමින්.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා අභිවෘද්ධිය වෙනුවෙන් සිදු කළ සේවය ඇගයීමට ලක් කරමින් ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සානුනායක කාරක මහා සංඝ සභාව වෙතින් සද්ධර්මකීර්ති ශි‍්‍ර සුමංගල ඛේමානන්ද ගෞරව නාමය සහිතව දක්ෂිණ ලංකාවේ ද්විතීය අධිකරණ සංඝනායක පදවියෙන් සම්භාවනාවට පාත්‍ර වුණා.

ජාතික, ආගමික, සාමාජික වශයෙන් පැන නඟින ගැටලු පිළිබඳ ප්‍රබුද්ධ ලෙස බලන නායක ස්වාමින් වහන්සේ නමක් වශයෙන් ඒවා නිරාකරණය කිරීමෙහිලා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රවේශයකින් සාකච්ඡාව අවසන් කරමු නායක හාමුදුරුවනේ,

අපි කෙතරම් ධර්ම දේශනා කළත්, බෞද්ධ ප්‍රතිපත්ති ප්‍රායෝගිකව පවුල් සංස්ථාව තුළ ගොඩනැඟී නැති නිසා අද සමාජය ගුණධර්මවලින් පිරිහීමට පත් වෙලා තිබෙනවා. වැඩිහිටියන් දරුවන්ට නිවැරැදි ආදර්ශ සපයමින් ළමා පරපුර ගුණවත් කිරීමට පුළුවන් තරම් උත්සාහ ගන්න අවශ්‍යයි. ප්‍රතිපත්ති ගරුක, විනයගරුක සාරධර්ම හොඳින් අනුගමනය කිරීමෙන් තමයි සමාජය යහපත් තැනකට ගන්න හැකියාව ලැබෙන්නේ. ඒ නිසා ආදර්ශවත් බව ඉතාම වැදගත්. බෞද්ධ ප්‍රතිපත්තිවල තිබෙන අල්පේච්ඡතාව, සුභරතාව ය, සැහැල්ලු ගති පැවතුම් යන ලක්ෂණ සමාජය තුළ ගොඩනැඟී නැති නිසා පුහු මානයෙන් කටයුතු කරනවා. එය ආර්ථික ම ය වශයෙන් බිඳ වැටීමට හේතුවක්. ඇති හැකි සෑම අවස්ථාවක දී ම සරල පැවතුම් සහිත ආර්ථික රටාවකට හුරු වීම වැදගත්.

ජීවන ගමනේ 65 වැනි වියට පා තැබූ නාහිමිපාණන් වහන්සේට තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නීරෝගි චිරජීවනය ලැබේවා.

නිකිණි පුර පසළොස්වක

 අගෝස්තු 11 බ්‍රහස්පතින්දා
පූර්වභාග 10.41
පුර පසළොස්වක ලබා
12 සිකුරාදා
පූර්වභාග 07.08 ගෙවේ.
11 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 11

Second Quarterඅව අටවක

අගෝස්තු 19

Full Moonඅමාවක

අගෝස්තු 26

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]