[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසුනට ආලෝකයක් වූ මාදෝවිට පඤ්ඤාකිත්ති නාහිමියෝ

සසුනට ආලෝකයක් වූ මාදෝවිට පඤ්ඤාකිත්ති නාහිමියෝ

හෝමාගම පුරාණ විහාරාධිපතිව හා සීනාදී සිවු කෝරළයේ ප්‍රධාන සංඝනායක ධුරය හෙබවූ ගෞරවාර්හ මාදෝවිට පඤ්ඤාකිත්ති නාහිමියෝ අපවත් වී පසුගිය ජූලි මස 22 වන දිනට සිවු වසරකි. මෙම ලිපිය උන්වහන්සේට උපහාරයක් වශයෙන් පළ වේ.

මීට සිවු වසරකට පෙර අපවත් වී වදාළ හෝමාගම පුරාණ මහා විහාරාධිපති ගෞරවාර්හ මාදෝවිට පඤ්ඤාකිත්ති නායක මාහිමියන් වහන්සේ විහාරාධිපතීන් වහන්සේ නමක් වශයෙන්,පිරිවෙන් හා පාසල් ආචාර්යවරයකු වශයෙන්,සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු වශයෙන්, ශාසනාරක්ෂක මණ්ඩල සභාපතිවරයකු,ලේඛකාධිකාරින් වහන්සේ නමක වශයෙන්,නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ නමක වශයෙන්,හෝමාගම පුරවරය කේන්ද්‍ර කොට ගනිමින් සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්මට සිදු කළ මහඟු මෙහෙවර සුළුපටු නොවේ.

1941 මැයි මස 10 වැනි දින බදුල්ල දිස්ත්‍රික්කයට අයත් මාදෝවිට නම් සුන්දර ග්‍රාමවරයෙහි විසු නවරත්න මුදියන්සේලාගේ කිරිබණ්ඩා හා නවරත්න මුදියන්සේලාගේ බණ්ඩාරමැණිකේ යන පින්වත් දෙමාපියන්ගේ පස් දෙනෙකුගෙන් යුත් පවුලේ කනිටු දරුවා ලෙස උපන් උන්වහන්සේ කලබුලුලන්ද මහා විද්‍යාලයෙන් ගිහි පාසල් අධ්‍යාපනය හදාරා සසුන් කෙත අස්වැද්දීමේ පුරාකෘත පින් මහිමය දායාද කොට උපත ලැබූ හෙයින් ම 1952 දී බිබිලිගමුවේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේගේ හා මාදෝවිට පේමානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් මාදෝවිට ශ්‍රී විජයාරාමයේදී පැවිදි දිවියට එළඹෙන්නේ මාදෝවිට පඤ්ඤාකිත්ති යන ශාසනික නාමයෙනි.

දියතලාව සුධර්මාලංකාර විද්‍යායතන පිරිවෙනින් මූලික පැවිදි අධ්‍යාපන කටයුතු ආරම්භ කළ උන්වහන්සේ පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙනින් උසස් අධ්‍යාපනය ලබා 1964 වර්ෂයේ දී විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට (වත්මන් කැලණිය විශ්වවිද්‍යාලය) ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධිය ද සමත් වුහ.

මාගම්මන සීලවිමල,මාගම්මන සීලාලංකාර, පිටිපන ඥානිස්සර යන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් උන්වහන්සේලා අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාවේ කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී උන්වහන්සේගේ උපසම්පදාව සිදුවිය. පැවිදි ආචාර්යයන් වහන්සේලාගේ පුර්ණ ආශිර්වාදය හා ආචාර්යත්වය ද ඇතිව එම උපසම්පදා පින්කම 1968 වර්ෂයේදී පැවති අතර අප කථානායකයන් වහන්සේගේ දිවි ගමනේ නව පරිච්ඡේදයක් පෙරළීමට එය සමත් වුහ.

අනතුරුව කුඩා පොල් අතු කුටියක් පමණක් පැවැති, බිත්තිවල කුඹුර පන්සල හෙවත් හෝමාගම පුරාණ විහාරයට වැඩම කළ උන්වහන්සේ ස්වකීය වාසස්ථානය වශයෙන් එහි වැඩ සිටිමින් අපවත් වන තුරු සුවිශාල මෙහෙවරක් ශාසනික, අධ්‍යාපනික, ජාතික හා සංස්කෘතික වශයෙන් ඉටු කළහ.

එදා පොල් අතු මඩුවක් පමණක් පැවති හෝමාගම පුරාණ විහාරය උන්වහන්සේ අපවත් වන විට පැවති අකාරය අධ්‍යයනය කිරීමෙන් පමණක් වුවත් උන්වහන්සේ ශාසනය වෙනුවෙන් ඉටු කළ මෙහෙවර කියා පායි.

පැවිද්දන් සිය දිවියෙන් වැඩි කොටසක් මිඩංගු කරමින් දර්ශනීය හා සුව පහසුකම් සහිත විහාරස්ථාන ගොඩනඟන්නේ තමන් වෙනුවෙන් නොවේ. සිය ලේ ඥාති පරපුර වෙනුවෙන් නොවේ.අනාගත සම්බුද්ධ ශාසනය භාර ගැනීමට සසුන්ගත වන පැවිද්දන් වෙනුවෙනි.

සතර පේරුවේ දායක දායිකාවන් වෙනුවෙනි.සමස්ත බෞද්ධ ලෝකයාම වෙනුවෙනි.

එදා මහත් දුක් ගැහැට විඳීමින් උන්වහන්සේ ඉදි කළ දර්ශනීය හෝමාගම පුරාණ විහාරය අද සමස්ත බෞද්ධ ලෝකයාට ම මහත් සෙවණක් සපයන මධ්‍යස්ථානයකි.

සිය අධ්‍යාපනික මෙහෙවර හෝමාගම විද්‍යාවර්ධන පිරිවෙනින් ඇරඹූ උන්වහන්සේ අනතුරුව එහිම පරිවේණාධිපතින් වහන්සේ වශයෙන් කටයුතු කරමින් අමිල මෙහෙවරක් කළහ.

1976 වර්ෂයේ දී පාසල් ගුරු සේවයට එක් වූ උන්වහන්සේ කළුපහන මහා විද්‍යාලය,ඕපනායක විද්‍යාකර විද්‍යාලය හා හෝමාගම මහා විද්‍යාල යන විද්‍යාලයන්හි ධර්මාචාර්යයන් වහන්සේ නමක ලෙස සුවිශාල අධ්‍යාපනික මෙහෙවරක නිරත වූ අතර 1988 වර්ෂයේ සිට බුද්ධ ධර්මය ගුරු උපදේශක තනතුරකටත්, අනතුරුව විශ්‍රාම දිවියට එළඹෙන තෙක් හෝමාගම අධ්‍යාපන කලාපයේ බුද්ධධර්ම විෂය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලෙසත් අධ්‍යාපනික ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළහ.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාවට අතිශය ලැදි යතිවරයන් වහන්සේ නමක වූ උන්වහන්සේ කෝට්ටේ රාජමහා විහාර පාර්ශ්වීය සිරි මංගල සංඝ සභාවේ සම ලේඛකාධිකාරීන් වහන්සේ වශයෙන් ඉටු කළ මෙහෙවර සුළුපටු නොවේ. උන්වහන්සේ අප මහා සංඝ සභාවටත්, පොදුවේ සසුනටත් ඉටු කළ මෙහෙවරට කෝට්ටේ මහා සංඝ සභාව මගින් 1993 වර්ෂයේ දී ශ්‍රී සද්ධර්මවාගීශ්වර ගෞරව නාමයත් , 2001 වර්ෂයේ දී සිනාදී සිවු කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවියත් පිරිනැමීමෙන් අගය කළහ.

ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ කිහිප නමක් ම සසුනට ඇතුළත් කළ අතර උන්වහන්සේලා ද සුවිශාල සේවාවන්හි නිරත වීම උන්වහන්සේට උපහාරයක් ම වන්නේ ය.

මෙසේ විශිෂ්ට මෙහෙවරක් සසුන වෙනුවෙන් ද අධ්‍යාපනය හා සමාජය වෙනුවෙන් ද ඉටු කළ අපේ ගෞරවාර්හ මාදෝවිට පඤ්ඤාකිත්ති නාහිමියෝ සසර අනිස බව පසක් කරමින් 2018 ජූලි මස 22 වැනි දින අපවත් වූහ. උන්වහන්සේට ජාත්‍යාදී දුකින් නිදහස් වූ නිවන් සුව සැලසේවා.

නිකිණි පුර පසළොස්වක

 අගෝස්තු 11 බ්‍රහස්පතින්දා
පූර්වභාග 10.41
පුර පසළොස්වක ලබා
12 සිකුරාදා
පූර්වභාග 07.08 ගෙවේ.
11 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 11

Second Quarterඅව අටවක

අගෝස්තු 19

Full Moonඅමාවක

අගෝස්තු 26

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]