[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලෝකය කියවමින් ජීවිතය දකින්න

ලෝකය කියවමින් ජීවිතය දකින්න

කිසියම් වූ කර්මාන්තයක් කිරීමේ හැකියාව සෑම මනුෂ්‍යයකුටම තිබිය යුතුයි. තමාගේ අනාගත ජීවත්වීමේ ක්‍රමය මෙන්න මෙහෙමයි කියා ගොඩනඟාගෙන තිබේ නම්, එබඳු පුද්ගලයාගේ අනාගතය කවදාවත් වරදින්නේ නැහැ.

විසිතුරු භාණ්ඩ රැසක් එක තැනක තිබෙන විට ඒ තැන හරිම සුන්දරයි. ලස්සනයි. මල් පිපුණු එක මල් ගසකට වඩා මල් පිපිණු ගස් රැසක් එකම තැන තිබෙනවා නම් එතැන මොනතරම් ලස්සනයි ද?

මනුෂ්‍ය ජීවිතයත් මේ වගෙයි. මනුෂ්‍ය ජීවිතය ලස්සන කරන්නේ යහපත් ගුණ. එකම යහපත් ගුණයකට වඩා ගුණ රැසකින් සම්පූර්ණ වීමට හැකි නම් ජිවිතය ලස්සන වෙනවා පමණක් නොවෙයි, වටිනාකමත් වැඩිවෙනවා.

බුදුරජාණන් වහන්සේ වදාළේ මෙන්න මෙබඳු ගුණ කිහිපයක් මනුෂ්‍යයකු තුළ ඇත්නම් ඒ මනුෂ්‍යයා වටිනා බවයි. ඒ මනුෂ්‍ය ජීවිතය හරි වැදගත් බවයි. බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව, කිසියම් වූ ශාස්ත්‍රයක් උගත් බව, "විනයොච සුසික්ඛිතො" නීතිගරුක බව "සුභාසිතා ච යා වාචා" ප්‍රිය මනාප ලස්සසන වචන කතා කිරීම ආදිය ජීවිතය හැඩකරන ආභරණයි. එම ආභරණ ළඟ තියෙන පුද්ගලයා ඉතා වටිනා මනුෂ්‍යයෙක් ලෙසයි හඳුන්වා දෙන්නේ.

"බාහු සච්චඤ්ච" නම් බොහෝ ඇසූ පිරූ තැන් ඇති බවයි. කුඩා දරුවෙක්, තරුණ දරුවෙක්, වැඩිහිටියෙක් වුණත් උගත්කම තිබිය යුතුයි. බුදුරජාණන් වහන්සේගේ දවස හා ඉන් පසු කාලයේත් පොත පත කියවා දැනුම ලබා ගත්තේ නැහැ. මේ කාල සීමාවේ පොත පත දුර්ලභයි. ඒ දවස ඉගෙන ගත්තේ අන් අයගෙන් අසා දැනගෙන. ඉගෙන ගත් පුද්ගලයා කියා දෙන දේ අසා ඒ දේ මතකයේ තබාගෙන ඒ තුළින් තමාගේ දැනුම වර්ධනය කර ගත්තා. එතැනයි ඔහුගේ බහුශ්‍රැත බව පෙන්නුම් කළේ.

බහුශ්‍රැත නම් බොහෝ ඇසූ පිරූ තැන් ඇති බවයි.

මේ ලෝකය පිළිබඳ කියවා ඉගෙන ගන්නට බොහෝ දේ තිබෙනවා. ඒත් සමහර ඇත්තෝ ජීවත් වන්නේ ළිදේ ඉන්නා මැඬියන් ලෙසයි.

අපේ කුඩා දරුවන් විතරක් නොවෙයි. තරුණ දරුවන් ද විශේෂයෙන් ම කල්පනා කර ගත යුතුයි. මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම වැඩි වන්නේ උගත්කම වැඩි වූ තරමට බව. ගේ - දොර, යානවාහන, මිල මුදල්වලට වඩා උගත්කම බබළන බව.

ඒ උගත්කම බබළන්න තවත් දෙයක් අවශ්‍යයයි. ඒ විනය, හික්මීම කියන දේ. මේ දේ දැනීම නිසා, අවබෝධය නිසා ගොඩනැඟෙන දෙයක්. අපේ ජීවිතය ක්‍රමානුකූලව කිසියම් ශාස්ත්‍රයකින් ගොඩනැඟුණේ නැතිනම් ඒ ජීවිතය හරියට මැටි ගුලියක් වගේ කිසි හැඩයක්, ලස්සනක්, දැකුම්කළු බවක් නෑ. අපේ ජීවිත බොහෝ වටිනා ජීවිතයක් බවට පරිවර්තනය කර ගන්නට වුවමනායි. එහෙම කර ගන්නට බහුශ්‍රැත බව ඇසූ පිරූ තැන් ඇති පඬිවරයෙක් බවට පරිවර්තනය වන්නට අවශ්‍යයි.

එවිට ඔබ සමාජයට වටිනවා. ඒ විතරක් නොවෙයි. බුද්ධියෙන්, ඥානවන්ත බවින් පිරිපුන් ඔබ සදාකාලයේ ම බැබළෙනවා. අතීතයේ අපේ රටේ සිටි උගත් පඬිවරු, අද ජීවතුන් අතර නැතත්, ඒ අයගේ ගුණ සුවඳ අමරණීයයි. අද අපි ඔවුන් ගැන කතා කරනවා. මුළු ලෝකයක් ගරු කරනවා. මනුෂ්‍ය ජීවිතයේ බාහිර වශයෙන් තිබෙන සෑම වටිනාකමකට ම වඩා උගත්කම, බහුශ්‍රැත බව වටිනවා.

තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා

උගත මනා ශිල්පය මයි මතු රැකෙනා

මනුෂ්‍ය ජීවිතයේ අනාගත සැපයට අන් කිසිම දෙයකට වඩා උගත්කම, බහු‍්‍රශ්‍රැතබව නිධානයක් සේ ඉතිරි වෙනවා. එය මහා ධනයක් වෙනවා. ඒ නිසයි බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙක් වෙන්න කියා, බුදුරජාණන් වහන්සේ වදාළේ. බුද්ධිමත් පුද්ගලයාට සෑම ප්‍රශ්නයක් දෙස ම කල්පනාවෙන් බලා කටයුතු කිරීමේ හැකියාව පවතිනවා. අන්න ඒ නිසයි අපි උගත් බුද්ධිමත් විය යුත්තේ. බුද්ධිමතුන්ගෙන් පිරුණු තැනක් නම් ගෙදරත්, රටත්, ලෝකයත් ලස්සනයි.

"සිප්පඤ්ච - සෑම මනුෂ්‍යයෙක් ම කිසියම් වූ ශිල්පයක් ළඟා කරගත යුතු ය. කිසියම් වූ කර්මාන්තයක් කිරීමේ හැකියාව සෑම මනුෂ්‍යයකුටම තිබිය යුතුයි. තමාගේ අනාගත ජීවත්වීමේ ක්‍රමය මෙන්න මෙහෙමයි කියා ගොඩනඟාගෙන තිබේ නම්, එබඳු පුද්ගලයාගේ අනාගතය කවදාවත් වරදින්නේ නැහැ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ සෑම මනුෂ්‍යයෙක් ම කළ යුතු කිසියම් ශිල්පයක් ඉගෙන ගත යුතුයි කියා. උගත් දෙයින් රට වෙනුවෙන් සේවය කළ යුතුයි. ඒක ජීවිතයට ආශිර්වාදයක්.

අපේ රටේ මොනතරම් දේශීය අමුද්‍ර්‍ය තිබෙනවා ද? ඒ කිසි දෙයකින් අප ප්‍රයෝජනයක් ගන්නේ දැයි සිතා බලමු.

"විනයොච" - විනය නම් නීතිගරුක බවයි. හික්මුණු බවයි. නීතිගරුක බව මේ බුද්ධ ශාසනයේ මොනතරම් අගය කළා ද? විනය නම් බුද්ධ ශාසනයේ ආයුෂයයි. අවුරුදු දෙදහස් ගණනක් මේ ශාසනය රඳා පැවතුණේ ද විනය මතයි. බුදුරජාණන් වහන්සේ සැරියුත් හාමුදුරුවන්ගේ යෝජනාවට දේශනා කර වදාළේ "ධම්මෝ ච විනයො ච " ධර්ම විනය දෙක මේ ශාසනයේ නායකයා බවයි. වෙනත් නායකයෙක් පත් කළ යුතු නැති බවයි. ගිහි සමාජයේත් විනයක් අවශ්‍යයයි. ගෙදරක වැඩකටයුතු එකිනෙකා බෙදාගෙන කළ යුතුයි. එකිනෙකා වැඩකටයුතු බෙදාගෙන, වෙලාවට කිරීමට නියමයක් පනවා ගත යුතුයි. ඒ වගේ ම පාසලේ දී, රැකියා ස්ථානයේ දී, පාරේ ගමන් කරන විට ආදී වශයෙන් විනයක් ඇති ව වැඩ කටයුතු කළ යුතුයි. කිසියම් නීතියකට, ක්‍රමයකට වැඩ කටයුතු කරනවා නම්, ඔබේ ජීවිතය හරි ම නිරවුල් . ඒ ජීවිතය හරිම ලස්සනයි. ඒ නිසා අප හැම කෙනකුට ම අවශ්‍ය කරන දෙයක් තමයි විනය, හික්මීම, සංවර භාවය නැතිනම් හැදිච්චකම.

"සුභාසිතා ච යා වාචා" අපේ ජීවිතයේ තිබිය යුතු වැදගත් ම මංගල කරුණ ප්‍රිය වචන, ලස්සන වචන කතා කිරීමයි. බුදුරජාණන් වහන්සේ වදාළා ප්‍රිය වචනයෙන් ඕනෑම දරදඬු පුද්ගලයෙක් වූ ව ද හික්මවා ගත හැකි බව ආදරණීය වචනයට සතා සිව්පාවා මෙන් ම ගහ කොළ ද කැමැතියි.

වචනයක් කටින් පිට කිරීමට පෙර එය හොඳ වචනයක් ද, නපුරු වචනයක් ද කියා සිතා බැලිය යුතුයි.

හොඳ, පි‍්‍රිය මනාප වචන කතා කරන්නෙක් වෙන්න. එවිට සමාජයට, ගෙදරට, රටට ආශිර්වාදයක් ෙවිවි. බහුශ්‍රැතභාවය වැඩි කර ගන්න. බුද්ධිමතෙක් වන්න. හැම දෙනා ම විනයගරුක, ශික්ෂාකාමී පුරවැසියන් වන්න. නීතියට, වෙලාවට වැඩ කරන්න. ඉගෙන ගන්න. "සුසික්ඛිතෝ" හික්මුණු කයක්, හික්මුණු සිතක් ඇති කර ගන්න. සෑම මොහොතක ම ප්‍රිය වචනය කතා කරන්න. සමාජයේ අන් අයට යහපතක් වන ආකාරයෙන් ජීවත්වන්න.

නිකිණි පුර පසළොස්වක

 අගෝස්තු 11 බ්‍රහස්පතින්දා
පූර්වභාග 10.41
පුර පසළොස්වක ලබා
12 සිකුරාදා
පූර්වභාග 07.08 ගෙවේ.
11 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 11

Second Quarterඅව අටවක

අගෝස්තු 19

Full Moonඅමාවක

අගෝස්තු 26

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]