[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුටුගැමුණු මහ රජතුමා - 55 කොටස: බියට පත් තිස්ස කුමරු පලා යයි

දුටුගැමුණු මහ රජතුමා - 55 කොටස:

බියට පත් තිස්ස කුමරු පලා යයි

දුටුගැමුණු රජුගේ අභියෝගය තිස්ස කුමාරයාට විහිළුවක් විය. පනස් දහසක බල සේනාංක පෙළගස්වා යුද්ධය සඳහා ගමන් අරඹන්නට සෙනෙවිවරු මෙහෙයවනු ලැබුහ.

දිඝාභයගේ හසුන් පතෙහි සඳහන් වූ පරිදි රජරටෙන් දස දහසක අතිරේක භට කණ්ඩායමක් සෙනෙවිවරුන් දස දෙනකු යටතේ පැමිණ සිටිය ද සිරිනාග මහා සෙනෙවි පැමිණ නැත. ඔහුට කුමක් වීද ?

නියමිත දින මාගම බලා දිගාමඩුල්ලෙන් යුද සේනාව පිටත් වූයේ හිමිදිරියටත් කලිනි .

තිස්ස කුමාරයා කඩොල් ඇතු අරා එක අතකින් පලිහ ද , අනෙක් අතින් තෝමරය ද ගෙන ආරක්ෂක සෙනෙවිවරුන් පිරිවරා සතුරා ජය ගැනීමේ ස්ථිර අධිෂ්ඨානයෙන් බල සේනා මැදට වැදී ගමන් ගත්තේ ය.

දුටුගැමුණු රජතුමා ප්‍රමුඛ අසරු සේනාව ගුත්තාහලට පැමිණි වහාම පිරිනැමුණු ඔසු පැන් පානයෙන් පසු, හැටදහසක් බල සේනාව දිගාමඩුල්ල බලා පිටත් වුහ. පෙරමුණෙහි වුයේ දුටුගැමුණු රජතුමා ය. අසරු සේනාවට පසුපසින් රණබෙර කණ්ඩායම ද අනතුරුව පසඟතුරු වාදකයෝ ද වුහ. හැට දහසක් සිවුරඟ සේනා ඉදිරියට මෙහෙයවන ලද්දේ මහනෙල විසිනි.

චුලන්ගණියට පැමිණි බළ සේනාංකවලට ඉදිරියට යන්නට අණ ලැබුණ ද හූවක දුර යන්නට නොලැබිණි. ඉදිරියට එන සතුරු සේනාංකවල යුද්ධ ඝෝෂාව ඇසෙන්නට විය. දුටුගැමුණු රජතුමා තරුණ සෙනෙවිවරු දෙපස ඇතිව ඉදිරියට ගමන් කළේ ය. රණබෙර හඬ, ජය සක් හඬ දෙපිලෙන්ම දසත පුරා පැතිරෙන්නට විය.

දිගාමඩුල්ලෙන් ආ සේනාවේ ඉදිරියෙන් ම වුවෝ ධනුර්ධරයෝ ය . ඉනික්බිති කඩු හා තෝමර ගත් අසරු සේනාව ය. තිස්ස කුමාරයා පැමිණියේ එයින් අනතුරුව ආරක්ෂක සෙනෙවි මණ්ඩලයක් වටකර ගනිමිනි.

මාගමින් එන සේනාවේ ඉදිරියෙන්ම දුටුගැමුණු රජතුමා සිටිනු දුටු තිස්සගේ බල සේනාව පසු බා ගියහ. සාගරයෙහි රළ පෙළ මෙන් හඬ නඟාගෙන ඉදිරියට ආ පිරිසගේ ගමන නැවතිණි. රණබෙර හඬ ද සිදී ගියේ ය. කාහල නාදය ද නතර විය.

ගැමුණු රජුගේ සේනාව පහර දීමට අණ ලැබෙන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටියහ. තම සේනාංකවල පසුබෑම දැනගත් වහාම බියට පත් තිස්ස කුමාරයා තම ආරක්ෂක සෙනෙවිවරු ඉදිරියට යවා, සතුරු පිළට පහර දෙන ලෙසට නියෝග කළේය. එම විධානයත් සමග ඉදිරියෙහි වූ ධනුර්ධයන් දුනු හී නඟනු දුටු දුටුගැමුණු රජතුමා සටන් වැදීමට තම සේනාංකවලට අණ කළේ ය.

“පහර දෙනු, සටන් වදිනු, තිස්ස කුමාරයා ජිවග්‍රහයෙන් අල්ලා ගනු “ දෙපිරිසේ ම සේනා මුහුණට මුහුණලා සටන් වැදුණහ.

හොරනෑ හඬ , රණබෙර හඬ, සක් හඬ වෙනුවට දැන් ඇත්තේ අවි ගැටෙන හඬ ය. පහර කා ඇද වැටෙන හඬ ය. කඩු පහරටත් , හී පහරටත්, ගොදුරු වූවන් නඟන මර හඬ ය. සතුරු සෙබළුන් එවූ හී සැර වළකාගෙන ඉදිරියට ගිය මාගම සෙබළුන්ගේ උපායශීලි පහරදීම් නිසා තම සෙබළු ඇද වැටෙනු බලා දුර්මුඛ වූ සෙනෙවිවරු තව තවත් සේනාංක ඉදිරියට ම මෙහෙය වුව ද යුද බිමේ ඇද වැටෙන තමන්ගේ පිළෙහි සෙබළුන්ගේ සංඛ්‍යාව වැඩි වන බව දැක තිස්ස කුමාරයා හමු වී කරුණු සැල කළහ.

දුටුගැමුණු රජතුමා පෙරමුණෙහි සිට සටන් මෙහෙයවනු ලැබුව ද තුවාල ලබා ඇද වැටෙන යුද සෙබළුන් වහ වහා යුදබිමෙන් බැහැරට ගෙන යනු දුටු සතුරු පිළේ සෙබළු පුදුමයට පත්වුහ. ගැමුණු සේනාව ඉතා වේගයෙන් ඉදිරියට එතියි සිතු ඇතැම්හු පලා යන්නට වුහ. තිස්ස කුමරුගේ සේනා උනුන්ම ඇන කොටා ගන්නට වුහ.

“ඉදිරියට එනු ‘ යි ගැමුණු රජතුමා තිස්ස කුමාරයාට කළ ඇඟවීම, ඔහු වෙත ගෙන ගිය සෙනෙවි මණ්ඩලය බලෙන් මෙන් ඔහු ඉදිරියට ගෙන ආහ.

කාය ශක්තියෙන් දුටුගැමුණු රජතුමා තරම් ප්‍රබල නොවුව ද, සංග්‍රාම ශක්තියෙන් දුර්වල නොවූ තිස්ස කුමාරයා දුටුගැමුණු රජු දැක කිපී තෝමර අමෝරාගෙන කඩොල් ඇතු ඉදිරියට මෙහෙය විය. දුටුගැමුණු රජතුමා සටන නතර කරන ලෙස සිය සෙනෙවිවරුන්ට අණ කරමින් අසු ඉදිරියට මෙහෙය විය.

දෙපිරිසේ ම ජනයා හුස්ම නොහෙලා බලා සිටියේ දෙසොහොයුරන් සටනට එළඹෙන විලාසය ය.

තිස්ස කුමාරයා තමන් දෙසට එල්ල කළ තෝමරය වළකා ඉදිරියට ගිය දුටුගැමුණු රජු, කඩොල් ඇතුට උඩින් අසු පැන්නවීය. කඩොල් ඇතු කලබලයට පත් විය. තමාගේ හිස මතින් වෙළඹක පැනීමෙන් ලජ්ජාවටත්, කෝපයටත් පත් ඇත් රජු තමන්ගේ ස්වාමියා හඳුනා ගැනීමෙන් සතුටට පත් විය. පිට සොලවා තිස්ස කුමාරයා බිම හෙලා දුටුගැමුණු රජු වෙත ගොස් සොඬ හකුළා බැති බවින් සිටියේ ය. රජතුමා ඇතුගේ හිස පිරිමැද, ආදරය පා වෙළඹ මතින්, ඇතුගේ පිටට පැන ගත්තේය.

ඇතුගේ කුඤ්ච නාදයත්, වෙළඹගේ හේෂාරාවයත් එකවර නැඟිිණි. “ජය ශ්‍රී මහ රජතුමනි. ජය ශ්‍රී “ හඬ සතුරු මිතුරු දෙපිලෙන් ම දෝංකාර දුන්නේ ය. බියට පත් තිස්ස කුමාරයා පලා යන්නට විය. ඔහු ලුහු බැඳ ගැමුණු රජු කඩොල් ඇතු මෙහෙය විය. රජතුමා ඇතුළු සෙනඟ තමා ලුහුබඳීන බව සිතූ තිස්ස කුමාරයා ඉදිරියෙහි වූ දෙමටමල් විහාරයට වැදුනේය.

දුරුතු පුර අටවක පෝය

ජනවාරි 09 ඉරිදා පූ.භා. 11.15 පුර අටවක ලබා 10 සඳුදා අ.භා. 12.30 ගෙවේ
09 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 09

Full Moonපසළොස්වක

ජනවාරි 17

Second Quarterඅව අටවක

ජනවාරි 25   

Full Moonඅමාවක

ජනවාරි 31

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]