[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්ම දූත සේවයට වගේම මාතෘ භූමියේ ආරක්ෂාවටත් දායක වුණා

ධර්ම දූත සේවයට වගේම මාතෘ භූමියේ ආරක්ෂාවටත් දායක වුණා

උදාර පැවිදි දිවියක පියසටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ලෝක බෞද්ධ මහා සම්මේලනයේ මහ ලේකම්, සිංගප්පූරු බෞද්ධ භාවනාමධ්‍යස්ථානාධිපති අතිපූජ්‍ය වේරගොඩ සාරද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය

පූජනීය වූ පැවිදි දිවියට පත්ව වසර 68 ක් ද, ජන්ම ලාභයෙන් 80 වැනි වියේ ද පසුවෙමින් අපේ රටේ පමණක් නොව, ජාත්‍යන්තර වශයෙන්ද කීර්තිධර බහුශ්‍රැත ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් ප්‍රකට ඔබ වහන්සේ දශක පහකට පමණ පෙරසිට විදෙස්ගතව සිදුකරන සේවය පැහැදිලි කරමින් සාකච්ඡාව ආරම්භ කරමු අපේ හාමුදුරුවනේ,

මම ගලබොඩ ඤාණිස්සර හාමුදුරුවන් වහන්සේ සමඟ 1969 වර්ෂයේ දී මැලේසියාවට වැඩම කළා. ඒ අවස්ථාවේ මැලේසියාවේ නායක හාමුදුරුවන් වහන්සේ වශයෙන් වැඩ සිටි කිරින්දේ ධම්මානන්ද නායක හාමුදුරුවන්ගේ ආරාධනාව මත මැලේසියාවේ පිනැං නගරයේ මහින්දාරාම විහාරස්ථානයේ වැඩසිටිමින් මහින්දාරාම පාලි විද්‍යාලයේ පාලි භාෂාව ඉගැන්වීමට කටයුතු කළා. අනතුරුව එහි පරිවේණාධිපති වශයෙන් කටයුතු කරමින් කිරින්දේ ධම්මානන්ද නායක හාමුදුරුවන් වහන්සේගේ මඟ පෙන්වීම හා ආභාසය ලබමින් බෞද්ධ ග්‍රන්ථ රාශියක් රචනා කිරීමට පෙළඹුණා.

Treasury of Truth - Illustrated Dhammapada, Life of the Buddha - In Pictures, Life of the Buddha (For Children), Life of the Buddha in Gandhara Arts, Parents & Children - Key to Happiness, Morals of the Young,The Only Path to Nibbana Maha Satipatthana Sutta, Nature of Life and Death, Maha Mangala Sutta the Highest Blessing, Moral Stories - Read Them - Colour Them, Venerable Ananda - Buddha’s Constant Companion, The Great Book of Protective Blessings, The Greatest Man Who Ever Lived, Vandana, Buddhist Devotions, Blessings to Conquer Sickness, Buddhist Way of Meditation, First Sermon of tl1e Buddha Dhammacakkappavattana Sutta, Reflection on Death, The Buddha Word, Doctrinal & Cultural Aspects of Buddhist, Beliefs and Practices Among Chinese & Sri Lankan Buddhists, Meditation on Loving-Kindness, Guide to Buddhist Pali Chanting, Realities of Life , Quotations from Buddhist Literature, Buddhist Pali Chanting, The Miracle of Mind, Teach Yourself Pali in English, Kalama Sutta

ආදී මා විසින් රචනා කරන්නට යෙදුණ බොහෝ බෞද්ධ ග්‍රන්ථ අතරින් සිතුවම් සහිත ධම්මපදය ධර්ම ග්‍රන්ථය ජාත්‍යන්තර බෞද්ධ ජනතාව අතර බොහෝ ප්‍රචළිතයි. ඒ වගේම ‘ජීවිතය සහ මරණයේ යථා ස්වභාවය’ සිතුවම් සහිත ධර්ම ග්‍රන්ථය අලුතෙන් මුද්‍රණය වුණා. ජාත්‍යන්තර බෞද්ධ ජනතාව වෙත සම්බුද්ධ ධර්මයේ ආශිර්වාදය ලබාදීමට විශ්ව ව්‍යාප්ත ප්‍රජා සත්කාරක සේවාවක් වශයෙන් ධර්ම ග්‍රන්ථ 300 කට වැඩි ප්‍රමාණයක් විවිධ භාෂාවන්ගෙන් මුද්‍රණය කොට නොමිලයේ බෙදාදීමට කටයුතු කර තිබෙනවා. 1979 වර්ෂයේ දී සිංගප්පූරුවට වැඩම කරමින් එරට බෞද්ධ ජනතාව වෙනුවෙන් සිංගප්පූරු බෞද්ධ භාවනා මධ්‍යස්ථානය ආරම්භ කළා වගේම ගලබොඩ ඤාණිස්සර හාමුදුරුවන් සමඟ අමෙරිකානු නිව්යෝර්ක් බෞද්ධ විහාරය ඉදි කළා. තවදුරටත් ශ්‍රී ලංකා බෞද්ධ සංගමය ආරම්භ කරමින් එහි අධ්‍යක්ෂ ලෙස ශාසනික සේවයෙහි නියැළෙමින් මාපලගම විපුලසාර හිමියන්ගේ සහයෝගය ඇතිව ජපන් ශ්‍රී ලංකා බෞද්ධ සංගමය ආරම්භ කිරීමට පුරෝගාමී වුණා.

ලෝක බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රධාන ලේකම් වශයෙන් ලංකාවට වැඩම කරමින් 7 වන බෞද්ධ සම්මේලනය පවත්වමින් බෞද්ධ ප්‍රබෝධයක් ඇතිකිරීමට කටයුතු කළා. සම්බුදු දහම තවදුරටත් ලෝකය පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් ජපානයේ නාලන්දා නමින් විශ්වවිද්‍යාලයක් ආරම්භ කර තිබුණත්, පවතින වසංගතය නිසා එය විවෘතකිරීම ප්‍රමාදවෙලා තිබෙනවා.

මගේ උපන්ගම වෙනුවෙන් වේරගොඩ ජයන්ති විහාරය ඉදිකිරීමටත්, එම ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපන දියුණුව සඳහා ශිෂ්‍යයත්ව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, හොරණ ගෝනපොල කිරින්දේ ශ්‍රී ධම්මානන්ද ළමා නිවාසය ආරම්භ කිරීමටත් කටයුතු කළා. සුනාමියෙන් මහා විපතට පත් වූ අවස්ථාවේදීත්, කොටි ත්‍රස්තවාදීන් බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරමින්, බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඝාතනය කරමින්, නිරායුද අහිංසක වැසියන් මරා දමමින් මේ මාතෘ භූමිය විනාශයට පත්කළ කාල වකවානුවේදීත් මාතෘ භූමියේ ආරක්ෂාව ශක්තිය වෙනුවෙන් උපරිමයෙන් දායක වුණා. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එවකට ආරක්ෂක ලේකම් වශයෙන් කොටි ත්‍රස්තවාදීන්ගෙන් මාතෘභූමිය ආරක්ෂා කිරීමේ භාරදූර වගකීම ඉටුකළ කාලපරිච්ඡේදයේ දී ඩොලර් 10000ක මුදලක් පරිත්‍යාග කිරීමට කටයුතු කළා. විශ්ව ව්‍යාප්ත ධර්ම දූත සේවය ලෝකානුග්‍රහය පිණිස ඉටුකිරීම ඇගයීමට ලක්කරමින් කාම්බෝජ රජු ඇතුළු කාම්බෝජ රජයේ ගෞරව බහුමාන සම්මානයට පාත්‍ර වුණා.

ධර්මධර, විනයධර, සුපේශල ශික්ෂාකාමී යතීන්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් ජාතික සහ ජාත්‍යන්තර සේවයක නියැළීමට තරම් දක්ෂතාවයක් ගොඩනඟා ගැනීමට ගුරු හාමුදුරුවන්ගෙන් ලැබුණු ආභාසයත්, පාරිවේණික හා උසස් අධ්‍යාපනය ලැබූ අවධිය සිහිපත් කරන්න හාමුදුරුවනේ,

ගාලු දිස්ත්‍රික්කයේ වැල්ලබඩ පත්තුවේ වේරගොඩ කියන බොහොම සුන්දර ගැමි පරිසරයක 1941 වර්ෂයේ නොවැම්බර් මස 27 වැනි දා උප්පත්තිය ලැබුවා. ගුරුසිංහ ආරච්චිගේ පොඩිසිංඤොී සහ ගොඩගම ගමගේ එමලිස්හාමි යන මගේ සදාදරණීය මව්පියන් මේ අවස්ථාවේ දී සිහිපත් කළ යුතුයි. එම ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ගුණගරුක පුණ්‍යවන්ත මව්පිය දෙපළගේ ආශිර්වාදය මත ගාලු කෝරළයේ ප්‍රධාන සංඝ නායක ගරු සම්භාවිත පණ්ඩිත යටලමත්තේ වජිරඤාණ හිමියන්ගේ ආචාර්යත්වයෙන් 1953 වර්ෂයේ ජුනි 03 වැනි දා වේරගොඩ සාරද යන උතුම් ශාසනික නාමයෙන් උත්තරීතර පැවිදි බවට පත්වුණා.

පූර්වෝපචිත කුසලශි‍්‍රයට අනුව පැවිදිබව ලබාගෙන හුණුපිටිය ගංගාරාමස්ථ ශී‍්‍ර ඥානේශ්වර පිරිවෙනේ වැඩ සිට සාර්වභෞම වියත් පඬිවරුන්ගෙන් ධර්මශාස්ත්‍රීය ශික්ෂණය ලබා ගත්තා. ශාසනික අධ්‍යාපනය ලබා ගනිමින් නිසි වයස් සම්පූර්ණවීමත් සමඟ 1963 වර්ෂයේ මැයි මස 29 වැනි දා මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේ දී සුපරිශුද්ධෝපසම්පත්තිය ලැබීමට තරම් පූර්වෝකෘත පුණ්‍ය මහිමය බලවත් වුණා.

1961 වර්ෂයේ දී ශ්‍රී ලංකා විද්‍යොදය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව 1964 වර්ෂයේ දී ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තා. 1965 වර්ෂයේ සිට 1967 වර්ෂය දක්වා විඳුරුපත්විල විද්‍යානන්ද පිරිවෙන් පරිවේණාධිපති 1967 වර්ෂයේ සිට 1969 වර්ෂය දක්වා අවිස්සාවේල්ල සුධර්මාරාම පිරිවෙන් පරිවේණාධිපති වශයෙන් ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළා.

විවිධ ආගමික සංකල්ප ව්‍යාප්තව පවතින ලෝකයේ විවිධ ජාතීන්, ආගමිකයන් වගේම විවිධ විද්වතුන් ආශ්‍රය නිශ්‍රය කරමින් ලබපු අත්දැකීම් මත බුදුදහම පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක නියැළෙන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් නූතනයේ පැනනැඟී ඇති ආගමික මතවාද සමනය කරන්නට කුමන ආකාරයේ පියවර ගත යුතු දැයි පැහැදිලි කරන්න.

ලංකාවේ එවැනි ස්වභාවයක් තිබුණත්, මේ රටවල එවැනි තත්ත්වයක් නැහැ. මේ රටවල හැම දෙනාම ධර්ම ග්‍රන්ථ අධ්‍යයනය කරමින් බෞද්ධ දර්ශනය ඉගෙන ගන්නවා. ධර්මය ඉගෙන ගැනීමට හරිම උනන්දුයි. බෞද්ධ දර්ශනය ඔවුන්ගේ ජීවිතවල ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන නිසා මතවාද ගැටලු ඇතිවන්නේ නැහැ. ලංකාවේ මිනිස්සු ධර්මය ඉගෙන ගත්තත් බොහෝ අවස්ථාවල ප්‍රායෝගිකව ජීවිතයට සම්බන්ධ කර නොගැනීම නිසා හැමතැනම අවුල් ස්වභාවයක් පවතිනවා. බුදුදහමට අනුව උට්ඨාන වීර්යයෙන්, කැපවීමෙන්, එකමුතුව කටයුතු කරනවා නම් ගැටලු ඇතිවන්නේ නැහැ.

දුරුතු පුර අටවක පෝය

ජනවාරි 09 ඉරිදා පූ.භා. 11.15 පුර අටවක ලබා 10 සඳුදා අ.භා. 12.30 ගෙවේ
09 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 09

Full Moonපසළොස්වක

ජනවාරි 17

Second Quarterඅව අටවක

ජනවාරි 25   

Full Moonඅමාවක

ජනවාරි 31

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]