[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සීදූවේ සුමනවංස නාහිමි

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන මැතිවරණ කොට්ඨාශයට අයත් සීදූව නම් ග්‍රාමවරයෙහි උන්වහන්සේගේ උපත සිදුවිය. විශ්‍රාමලත් පොලිස් නිලධාරි කේ.එන්.ජේ.රොවෙල් හා එම්.එස්.පෙරේරා යන දම්පතීන් දෙපළ සුමනවංස නාහිමියන්ට මව්පියෝ වූහ.

1970 ඔක්තෝබර් 31 වන දින රද්දොළුව සුබෝධාරාම මහාවිහාරය හා අභිනවාරාමය යන උභය විහාරාධිපතිව වැඩවිසූ රද්දොළුවේ අරියවංශ මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ සහ එම විහාරද්වයෙහි විහාරාධිපති අමරපුර මහානිකායේ ශ්‍රී සුමංගල කාරක සභාවේ ප්‍රධාන කාරක සංඝ සභික සම්මාන අනුනායක අපවත්වී වදාළ රද්දොළුවේ අමරවංස නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ද ශිෂ්‍යයකු ලෙසින් සුබෝධාරාම මහා විහාරයේ දී උතුම් පැවිදි ප්‍රවෘජ්ජා භූමියට පත්වූහ. 1978 ජූලි මස 25 දින අම්බලන්ගොඩ සුනන්දාරාම මහා විහාරස්ථ උදකුක්ඛේප බද්ධ සීමාවේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා භූමියට පත් වුණි.

මූලික අධ්‍යාපනය පානදුර රන්කොත් විහාරස්ථ ශ්‍රී සෞගත විද්‍යාලයීය පිරිවෙනින් ද උසස් අධ්‍යාපනය කොළඹ මරදානේ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල මහා පිරිවෙනින්ද ලබා ගත්හ.

අනතුරුව කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධ ඉංග්‍රීසි අධ්‍යාපන ආයතනයෙන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ද ජපන් හා ජර්මන් තානාපති කාර්යාලයන් මගින් ජපන් භාෂාව හා ජර්මන් භාෂාව පිළිබඳව ද යන භාෂාන්තර අධ්‍යාපනයක් ද ලබා, ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සංගමය මගින් පවත්වන ප්‍රාචීන පණ්ඩිත උපාධිය හා භාෂාත්‍රයෙන් ම ලබා ගන්නට සමත් වූ සුමනවංස නාහිමියෝ අනතුරුව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලබාගත්හ.

තවදුරටත් ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන ආයතනයෙන් රජයේ පාසල් ගුරු පුහුණු විභාගය ද සමත් ව පාසල් අධ්‍යාපන සේවයට ඇතුළු වූහ. ප්‍රථමයෙන් 1987 වර්ෂයේ රද්දොළුව ප්‍රාථමික විද්‍යාලයට පත්වීම් ලැබූ උන්වහන්සේ පසුව 2003 වර්ෂයේ සිට රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද ජාතික විදුහලේ නියෝජ්‍ය විදුහල්පති වශයෙන් ද කටයුතු සිදුකරමින් ජාතික අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි ද විශාල සේවාවක් සිදුකර 2016 වසරේ අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් විශ්‍රාම ලැබූහ.

බෞද්ධ දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් සුමනවංස නාහිමිපාණන් වහන්සේගෙන් සිදුවන සේවාව අතිමහත් ය. සීදූව-රද්දොළුව අභිනවාරාම ස්වකීය විහාරස්ථානයේ ශ්‍රී ධම්මානන්ද දහම් පාසල කේන්ද්‍රකර ගනිමින් දහම් පාසල් සේවාව අරඹන උන්වහන්සේ 1985 සැප්තැම්බර් 25 වැනි දින රද්දොළුව ජාතික නිවාස සංකීර්ණය ද කේන්ද්‍රකොට ගනිමින් ශ්‍රී සුමංගල නමින් තවත් දහම් පාසලක් ආරම්භ කරන්නට යෙදුණි.

1990 වර්ෂයේ කටාන-මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි ධූරයට ද උන්වහන්සේ නිතරඟයෙන් පත්කරගන්නට යෙදුන අතර, අද දක්වා ම පුරා වසර 31ක් මුළුල්ලේ එම සේවා ඉටුකිරීම සුවිශේෂී ලක්ෂණයකි.

ඒ මතුද නොව උන්වහන්සේ ප්‍රධානාචාර්යත්වය උසුලන දහම් පාසල් තුළ හා ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලය තුළ ඉතා කැපවීමෙන් හා වගකීමෙන් සිදුකරන මහඟු සේවාව ඇගයීමට ලක්කරමින් ගම්පහ දිසා ශාසනාරක්ෂක මණ්ඩලයේ ද ප්‍රධාන ලේඛකාධිකාරි ධූරයට 1996 වර්ෂයේ නිතරඟයෙන් පත්කර ගන්නට යෙදුණා පමණක් නොව එම ප්‍රාදේශීය මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි ධූරය හොබවමින් දහම් පාසල් ක්ෂේත්‍රයට හා පොදුවේ ජාතික, ආගමික, සාමාජික සේවාවන් වල දී දිස්ත්‍රික්කය තුළම නියමු නායකත්වයක් ලබා දෙමින් අමිල සේවාවක් සිදුකරනු ලබයි.

සීදූවේ සුමනවංස අභිනව නාහිමිපාණන් වහන්සේ මා හඳුනාගත්තේ ද ඉහත ශාසනාරක්ෂක මණ්ඩල කටයුතු තුළිණි. දිස්ත්‍රික් සිසු නිපුණතා ඇගයීමේ පවතින චක්‍රලේඛනයන්හි කිසිවක් උල්ලංඝනය කිරීම උන්වහන්සේ අතින් සිදු නොවනවා මෙන් ම පවතින අඩුපාඩු පවා නිවැරදි කොට ගෙන ක්‍රියා කිරීමේ මනා අවබෝධයක් හා අදාළ විෂයය පිළිබඳ මනා පළපුරුද්දක් විදහා පායි.

ඉහත කැපවීම හා ක්‍රියාශීලී බව නිසාම 2004 වර්ෂයේ උන්වහන්සේ සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ද නියෝජ්‍ය ලේඛකාධිකාරි ධූරයෙන් හා විධායක සභාවේ සභික ධූරයකින් පිළිගැනීමට පාත්‍රවිය. ඒ උන්වහන්සේගේ සේවාව සමස්ත ලංකා දහම් පාසල් ක්ෂේත්‍රයටම ලබාගැනීමේ අවශ්‍යතාව හඳුනාගත් නිසයි.

උන්වහන්සේ ඉටුකරන ආගමික, ජාතික, සාමාජික හා දහම් අධ්‍යාපනය උදෙසා ස්වනිකාය වන අමරපුර මහානිකායේ අමරපුර පාර්ශවයේ ශ්‍රී ධම්මානන්ද වංශාවතංශ සාසන ශෝභන විනයාචාර්ය ගෞරවනාම සහිත ප්‍ර‍ධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූහ. සීදූවේ සුමනවංස නාහිමිපාණන් වහන්සේ කටාන කොට්ඨාසයට පමණක් නොව ගම්පහ දිස්ත්‍රික්කයටම සම්පතක් බව විශේෂ‍යෙන් සිහිපත් කළ යුතු ය. උන්වහන්සේට තව තවත් ශාසනික හා ජාතික සේවා ඉටුකරන්නට ශක්තිය වාසනාව දීර්ඝායු සම්පත්තිය ලැබේවා .

ඉල් පුර පසළොස්වක පෝය

 නොවැම්බර් 18 බ්‍රහස්පතින්දා අ.භා 12.00 පසළොස්වක ලබා 19 සිකුරා අ.භා 14.27 ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 18

Second Quarterඅව අටවක

නොවැම්බර් 27   

Full Moonඅමාවක

දෙසැම්බර් 03

First Quarterපුර අටවක

දෙසැම්බර් 11

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]