[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කැපවෙනවා

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කැපවෙනවා

උදාර පැවිදි දිවියක පියසටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානය ඇතුළු පංච මහා විහාරාධිපති සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝ නායක කොබවක ධම්මින්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ස්වාමීන් වහන්සේ වශයෙන් වැඩ සිටින ඔබ වහන්සේට සුවිශාල ශාසනික කාර්යභාරයක් පැවරී තිබෙනවා. මෙවැනි භාරධූර, වගකීම් සහගත කාර්යභාරයක නියැළීමට ගුරු හාමුදුරුවන් වහන්සේලාගේ ඇසුර බලපෑවේ මොන ආකාරයෙන් ද? නායක හාමුදුරුවනේ,

මම උප්පත්තිය ලැබුවේ කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රදේශයට අයත් කොබවක ග්‍රාමයේ දී. බොහොම ශ්‍රද්ධා බුද්ධිසම්පන්න මව්පිය දෙපළක් වන මගේ මෑණියන් හා පියාණන් මේ වන විට වයෝවෘද්ධ ව පසුවෙනවා. මා ඇතුළු ව අපේ පවුලේ සහෝදර සහෝදරියන් හත්දෙනකු සිටිනවා. අපේ ගමේ සිටි කොබවක මෑණියෝ නමින් හඳුන්වන සිල් මෑණියන් මා ඇතුළු අනෙක් පිරිස පැවිදිවීමේ අරමුණ ඇතිව කතරගම ප්‍රදේශයට කැඳවාගෙන ආවා. එම සිල් මෑණියන් කුල දරුවන් විශාල ප්‍රමාණයකට පැවිදි වීමට උපකාර කර තිබෙනවා.

1986 වසරේ මාර්තු මස 13 වැනි දින කිරිවෙහෙර විහාරස්ථානයේ පැවැති කුල දරුවන් පැවිදිකිරීමේ පුණ්‍යෙීත්සවයේ දී මමත් සමඟ පස්දෙනකු පැවිදි බිමට පත්වුණා. අපවත්වී වදාළ පරත්තේ ශ්‍රී ආනන්දාභිධාන ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ,අපවත්වී වදාළ පොළොම්මාරුවේ ශ්‍රී රේවත ගෞරවනීය නායක ලොකු හාමුදුරුවන් වහන්සේ සහ අපවත්වී වදාළ අලුත්වැව ශ්‍රී සෝරත නායක හාමුදුරුවන් වහන්සේ ආචාර්යන් වහන්සේලා වශයෙන් කටයුතු කළ බව පුණ්‍යානුමෝදනාපූර්වක ව සිහිපත් කළ යුතුයි.

අනතුරුව උන්වහන්සේලාගේ සෙවණේ හැදුන වැඩුණ අපි ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබාගැනීම සඳහා හොරණ විද්‍යාරත්න පිරිවෙනට වැඩම කළා. එහි අධ්‍යාපනය ලැබූ කාලයේ නිවාඩුවක් ලැබුණ සෑම අවස්ථාවක ම කතරගමට වැඩම කරනවා. ඒ අවස්ථාවේදීත් බණ පොත් කියාදීම, පාඩම් ගැනීම අදී සියලු කටයුතු අපවත් වී වදාළ පොළොම්මාරුවේ ශ්‍රී රේවත නායක හාමුදුරුවන් වහන්සේගේ අධික්ෂණය යටතේ උන්වහන්සේ විසින් සිදු කළා. උන් වහන්සේ ලබා දුන් මූලික අඩිතාලම මේ අවස්ථාවේ දී බොහොම ගෞරවයෙන් කෘතවේදී ව සිහිපත් කිරීමට අවශ්‍ය ය යි. කුඩා අවධියේ සිට ම ආගමික වැඩ සටහන්වලට යොමුකරවමින් සබකෝලය නැතිවන ආකාරයට කටයුතු කිරීමට ගෞරවනීය අපේ නායක හාමුදුරුවන් වහන්සේලාගේ මඟ පෙන්වීම ආශිර්වාදයක් වුණා.

1996 වර්ෂයේ දී මල්වතු මහා විහාරීය මංගල උපෝෂථාගාරයේ දී උතුම් වූ අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයට පත්වීමට පුණ්‍යවන්ත වුණ බවත් සිහිපත් කළ යුතුයි.

ඒ වගේ ම අපව දිරිගන්වමින්, ශක්තිය ලබා දෙමින් ,අවවාද අනුශාසනා දෙමින්, මාර්ගෝපදේශ සපයමින් අවශ්‍ය කරන බණ දහම් ඉගැන්වීම් සිදු කළ නිසා කිසිදු ගැටලුවකින් තොරව මෙවැනි ඓතිහාසික විහාරස්ථානයක ශාසනික කටයුතු සඳහා නියැළීමටත්, පැවිදි ජීවිතය ආලෝකමත් කරගැනීමටත් ලොකු හාමුදුරුවන් වහන්සේලාගේ ආභාසය,මඟ පෙන්වීම හා නායකත්වය බෙහෙවින් ඉවහල් වුණා.

අතිපූජ්‍ය ආචාර්ය අලුත්වැව සෝරත නායක මා හිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසුව මම කිරිවෙහෙර විහාරස්ථානයේ විහාරාධිපති ධූරයට පත්වුණා. ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන විංශත්වර්ගික කාරක මහා සංඝ සභාව විසින් අලුත්වැව සෝරත නාහිමිපාණන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යරත්නය ලෙස කටයුතු කළ කොබවක ධම්මින්ද ස්වාමීන් වහන්සේ විහාරාධිපති ධූරයට පත්කිරීම සුදුසු බවට ගත් ඒකමතික තීරණය අනුව ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේ වශයෙන් මම කටයුතු කරනු ලබනවා.

ජාතික,ආගමික, ශාසනික වශයෙන් තනතුරු හොබවමින් සමාජයේ ක්‍රියාශීලීව වැඩ සිටින ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් සිදුකරන ශාසනික මෙහෙවර පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කරන්න අපේ හාමුදුරුවනේ,

2013 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 19 වැනි දින කිරිවෙහෙර විහාරස්ථානයේ විහාරාධිපති බවට පත්වන විට රුපියල් එක්ලක්ෂ දස දහසක අරමුදලක් පමණයි විහාරස්ථ අරමුදල වශයෙන් ඉතිරිව තිබුණේ. ඉතාමත් අපහසුවෙන් විවිධ දුෂ්කරතා බාධක මැද චිත්ත ධෛර්යයෙන් යුතුව වර්තමානය වන විට දර්ශනීය විහාරස්ථානයක් බවට පත්කර තිබෙනවා. බොහෝ බාධක මැද විශාල ශාසනික මෙහෙවරක් සිදුකිරීමට හැකිවීම ම සතුටට කරුණක්.

ගමෙන් පන්සලට නොව, පන්සලෙන් ගමට යන තේමාව යටතේ තමයි, මම කටයුතු කරන්නේ. ගමෙන් මුදල් ලබා නොගෙන ගමට උපකාර කිරීමට සෑම අවස්ථාවක දී ම වගබලා ගත්තා. කොරෝනා වසංගතය සඳහා ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන දෙකහමාරක පමණ වියදමින් වියළි ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදෙමින් හැකි සෑම උපකාරයක් ම සිදුකළා වගේ ම කොවිඩි අරමුදල වෙනුවෙන් රුපියල් මිලියනයක මුදල් පරිත්‍යාගයක් ලබාදීමට කටයුතු කළා.

විහාරස්ථානය තුළ පවත්වාගෙන යනු ලබන දහම් පාසලේ දරු දැරියන්ගේ තෑගි බෙදා දී ම ඇතුළු ව විහාරස්ථානය විසින් පවත්වාගෙන යනු ලබන පෙර පාසලේ සියලු දරුවන්ට සපත්තු, ඇඳුම් පැළඳුම්, සියලු අධ්‍යාපන උපකරණ පොත් පත් සපයාදෙනු ලබන්නේත් විහාරස්ථානය තුළින්ම යි. ඒ වගේම 73 දෙනකු පමණ වන සේවක පිරිසකට මාසික ව රුපියල් මිලියන එක හමාරක පමණ මුදලක් වැය කිරීමට සිදුවෙනවා. විහාරස්ථානයට ලැබෙන දේ කළමනාකරණය කරගෙන මේ සේවාවන් ඉටුකරමින් අවට විහාරස්ථානවලට හැකි ආකාරයෙන් උදව් උපකාර කරමින් තවදුරටත් සම්මා සම්බුද්ධ ශාසනයේ ච්රස්ථිතිය වෙනුවෙන් කැපවෙනවා.

ශාසනභාරධාරී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් වගකීම් සහගත ව කටයුතු කරන ඔබ වහන්සේගේ දැනුම් සම්භාරයට අනුව නූතනයේ පැන නැඟී ඇති බෞද්ධ ඉතිහාසය විකෘති කිරීම,‌ඓතිහාසික සිද්ධස්ථාන විනාශ කිරීම ආදී ක්‍රියාදාමයන් වළක්වාගන්නට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? නායක හාමුදුරුවනේ,

බුදුහාමුදුරුවන් ලංකාවේ ඉපදුණා ය. යනාදී වශයෙන් වර්තමානය වන විට විවිධ මත ඉදිරිපත් කරමින් අ‌පේ බෞද්ධ ජනයා මානසික ව අතරමං කරන තත්ත්වයට පත්කර තිබෙනවා. ඇත්ත වශයෙන්ම මෙවැනි දේ සිදුවිය යුතු නැහැ. බුදු හාමුදුරුවන් ඉපදුණේ කුමන කාලයේ දී ද? වැඩ සිටියේ කොහේ ද ? කියන කරුණු අපේ සිංහල බෞද්ධ ජනතාව හොඳට දන්නවා. මෙවැනි බෞද්ධ විරෝධි ක්‍රියාවලට හසුනොවී අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. ඇතැම් පිරිස් අද ශාසනය නැතිකරන තැනට පත්වෙලා තිබෙනවා. බුද්ධිමත් ව තේරුම් ගෙන විවිධ රැලිවලට හසු නොවී තමන්ගේ ගමන යා යුතුයි. එවිට කවදාවත් තුනුරුවනේ ආශිර්වාදය ලබා ගැනීමට බැරිවෙන එකක් නැහැ.

ඉල් පුර පසළොස්වක පෝය

 නොවැම්බර් 18 බ්‍රහස්පතින්දා අ.භා 12.00 පසළොස්වක ලබා 19 සිකුරා අ.භා 14.27 ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 18

Second Quarterඅව අටවක

නොවැම්බර් 27   

Full Moonඅමාවක

දෙසැම්බර් 03

First Quarterපුර අටවක

දෙසැම්බර් 11

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]