[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා

මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා

කලාව වනාහි මිනිසා සමාධිගත කරවන ලොව බිහිවූ අපූර්ව මාධ්‍යයකි. දාර්ශනික මනසින් විඳි සෞන්දර්යයේ අපූර්වත්වය සංකේතානුසාරයෙන් අන්‍යයන්ට විඳින්නට සලස්වන්නේ කලාවයි.

තෝල්ස්තෝයිට අනුව කලාව යනු, මිනිසා විසින් සාක්ෂාත් කර ගනු ලැබූ උත්තරීතර හා විශිෂ්ටතම හැඟීම් අන්‍යයන් වෙත සම්ප්‍රේෂණය කිරීම අරමුණු කොටගත් මානව ක්‍රියාවලියකි. තොල්ස්තෝයිගේ අදහස් විග්‍රහ කරන මහාචාර්ය ඒ.වී.සුරවීර කලාව යනු කුමක් ද? කෘතියෙහි කලාව වූ කලි එකම වේදිතයක් තුළින් මිනිසුන් සුසංයෝග කරන මාධ්‍යයක් බවත් , කලාව මිනිසාගේ පැවැත්ම සහ අභිවෘද්ධිය සඳහා අත්‍යවශ්‍ය මාධ්‍යයක් බවත් කියා සිටී.

මෙම සංක්ෂිප්ත විවරණ ඔස්සේ කලාව සහ කලාවේ කාර්යභාරය පිළිබඳ දළ සටහනක් අපට ලබාගත හැකි ය. මේ ඔස්සේ අනුරපුර යුගයේ ඉදිවූ අවුකන සම්බුදු රුව කේන්ද්‍ර කර ගත් විශිෂ්ට කලා නිර්මාණ හඳුනන්නට හා ඒවා අගයන්නට මෙම විමසුම් ධාරාව වෙන් කරන්නට සිතුණි. මෙයට ප්‍රබල උත්තේජනයක් සපයන නවතම ගීතයක් අපට දායාද විය.ප්‍රකට ගීත රචකයෙකු නොවූ ආධුනිකයකු වෙතින් රචිත මෙම ගීය 2011 වසරෙහි රාජ්‍ය සංගීත සම්මාන උළෙලෙහි සම්මාන පිට සම්මාන ලද හොඳම ගීතය බවට පත් විය. සුනිල් එදිරිසිංහ නම් වූ විශිෂ්ට ගාන්ධර්වයා අපට ගයන මෙම ගීතය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති ශිෂ්‍යයකු වූ රජීව් වසන්ත වෙල්ගම විසින් රචිත ය. පාසල් ගණනාවක දී සහ වෙනත් සභා ගණනාවක දී මේ ගීතය පිළිබඳ විවරණ සපයද්දී දැනුණේ බොහෝ දෙනා තවමත් මෙම ගීතය හඳුනා ගෙන නැති බවයි.

මේ තරම් සියුමැලිද කළුගල්
සිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා

කලාවැව ළඟ ඉලුක් හෙවණක
මැටි පිලෙක පැදුරක් එළා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මම ඇසූ විට හිනැහුණා ඔහු
තවම තනිකඩයයි කියා

අප සිතින් අතීත කලා කෘති අතරට කැන්දන මේ ගීතය කලාවේ නිමැවුම්කරුවන් සොයන්නට අපට මඟ පෙන්වයි.

උසස් ගීතයක ලක්ෂණ පිළිබඳ අදහස් දක්වන භාරතීය සුප්‍රකට සංගීතඥයකු වන ශාරංගදේව

“සුස්වරං සාරසං චෛව
සරාගං මධුරාක්ෂරම්
සාලංකාරං සප්‍රමාණං
සඩ්විධං ගීතලක්ෂණම්

යනුවෙන් මනා වූ ස්වරයත්, උසස් රසයත්, රාගයකින් බැඳීමත්, මිහිරි අක්ෂරත්, අලංකාර සහිත බවත්, ප්‍රමාණාත්මක බවත් යන සයාකාර ලක්ෂණ ගීතයක තිබිය යුතු බව කීය. මේ අනුව ගීතය යනු හුදෙකලා රස වින්දන මාධ්‍යයක් නොව මානව අධ්‍යාත්මය පෝෂණය කරන සොබාදහමේ රිද්මය හා බැඳුණකි. සුභාවිත ගීතය හැම විටෙක ම රසය චමත්කාරය සමඟ ඥාන ගවේෂණයක නියැළෙයි. ජීව ලෝකය සහ මනුෂ්‍යයා පිළිබඳ සැපයෙන එකී දැනුම නිසා යහපත් ගීතයක් විඳ අවසන් වූ විට රසිකයා උසස් අවබෝධයකින් නව ලොවකට කැඳවයි.

මේ සංකල්පනා අනුව උක්ත ගීතය අප කැඳවන්නේ අපේ අතීත කලාවන් විඳින්නට සහ එහි නිර්මාතෘන් සොයන්නට ය. අවුකන ප්‍රතිමාව වෙතට යන ඕනෑම කෙනෙකු හට දැනෙන්නේ මේ තරම් කළුගල් සියුමැලි ද යන ප්‍රශ්නයයි. කවියා ප්‍රශ්න කරන්නේ කළුගල් සියුමැලි වූවා නොව ඒ පසුබිමේ සිටි විශිෂ්ට කලාකරුවාගේ සිත සියුමැලි වූ බවයි. සිතෙහි තැන්පත් වූ බුදුගුණ ඔස්සේ රළු ගල් පවා සියුමැලි කරන්නට කලාකරුවා සමත් වූ බවයි. පැරැණි ගීයක ඇසෙන පරිදි...

“අවුකන පිළිමය වැනි දෑ නෙළුවත් දෑතේ විස්කම් පාන නියා

බුදුන් වඳින්නෝ නිවන් පතනු මිස නෙළුවේ නොසොයති කවුද කියා”

මේ ගී පදවැල් කියා දෙන්නේ කලාවේ නිර්මාතෘන් නොසෙවීම වැරැද්දක් බවයි. එහෙත් යටකී උසස් ගීතය නිර්මාතෘන් සොයන්නට අප කැඳවයි. එහෙත් අපට ඔහු පෙන්වන්නේ දහසින් බැඳි පියල්ලෙන් තුටුව සරුව වෙසෙන කලාකරුවකු නොවේ. දැවැන්ත කළුගල් සමඟ පොර බැඳි නිසා ම ශරීර වේදනා ඉවසාගත නොහැකිව කලාවැව අසල පැලක පැදුරක වැතිරී රිදුම් පිරිමදින අසරණයෙකි. මේ කලාකරුවා ඉතිහාසය පුරා අපි අසරණ කළෙමු. ඔහු වෙනුවෙන් කවරක් අප ජාතිය ඉටු කළාදැයි ප්‍රශ්න කළ නොහැකිද? එමෙන්ම භෞතික සැප පිරි මැදුරක් නො ලදත් සම්බුදු රුව නිමැවුමේ පිනින් ඔහුගේ ආධ්‍යාත්මය පොහොසත් ව පවතී. ඔහු කලාවැව දෙස බලා විඳින්නේ කවරක් ද? මැරෙන ඉපදෙන රළ පන්තියයි. මේ යෙදුම මුළු සම්බුදු දහම ම කැටි කරයි. එනම් අනිත්‍ය ධර්මයයි. ලොව කලාවේ උත්කෘෂ්ට ඵලය නම් මිනිස් සිත සමාධිගත කර ලෝකෝත්තර දැක්මක් ඇති කිරීම විය යුතු ය. බෞද්ධ සෞන්දර්යයේ පරම අරමුණ වන්නේ ද එයයි.

කලාව විඳින්නා දාර්ශනිකයකු විය යුතු ය. ඒ තරම් ම කලාව විශිෂ්ටය. කලාව නිමවන්නා විශේෂයෙන් බුදුරුව නිමවූ කලාකරුවා ඒ ගුණ සිතින් දරා කළ පින ඔහු උසස් ආධ්‍යාත්මික දියුණුවකට ළං කරයි.

අවුකන ප්‍රතිමාව නෙළූ කලාකරුවා කලාවැව ළඟ ඉලුක් හෙවනක කලාවැවේ රළ භාවනාවක් කොට වසනා බව කීම මොන තරම් අරුත්බර ද?

කලාවැවත් අවුකන ප්‍රතිමාවත් නිමවන්නට නියමුවා වූයේ ධාතුසේන රජුය. ධාතුසේන රජුගේ සිත විමසන්නට අහෝ අපට නොහැකි වීම කවර තරම් අභාග්‍යයක්ද? යෝධ කලාවැව සකසා දිය පිරවූ විට ධාතුසේන රජුගේ සතුට කෙසේ වන්නට ඇත්දැයි අපට කියන්නට උපමා නැත. ධාතුසේන රජු අන් වාරි නිමැවුම්කරුවන්ට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ කලාවැව සමඟ අවුකන ප්‍රතිමාව ද සෑදූ නිසා ය.

ආර්ථිකය සහ අධ්‍යාත්මය මිනිසාගේ සමබරව ගමන් කළ යුතු අංග බව කල්පනා කළ පාලකයකු වෙතින් රටට ලද මහා දායාදය මේ කලාවැව සහ අවුකන ප්‍රතිමාවයි. අපගේ කවියා රජීව් වසන්ත දකින්නේ ඇතැම් විට ධාතුසේන රජුගේ චරිතය ද? උතුම් රාජ්‍ය සංකල්පයක් ක්‍රියාවට නැංවූ රජකුට දරුවන් උරුම කළේ කුමක්ද? වැව් බැම්මට තබා මැටි ගසා මරා දැමීමයි. ධාතුසේනයන් මෙවැනි අවසන් ගමනකට යොමු කොට අහිංසකයකුගේ ස්වභාවයට පත් කළත් ඔහු නිමැවූ කලාවැවෙහි ජලය දිහා බලා බවුන් වඩන යෝගාවචරයකු බවට පත් වීම අනිවාර්යයෙන් විය හැකි දෙයකි.

විජය කුවේණි සලරුව කළ සුගත් සමරකෝන් කලාකරුවාට ධාතුසේන රජු සොයා යන්නටත් හැකි වේ නම් ඉතිහාසයේ තවත් කතිකාවක් අපට නිර්මාණය කරන්නට හැකි වනු ඇත.

කවියා ගීතයේ අවසන් කොටසේ දී අප කැඳවන්නේ ඉසුරුමුණි පෙම් යුවළ තැනූ විශිෂ්ට කලාකරුවා සොයා යන්නට ය. මහත් සංයමයෙන් යුතු කයින් අනූනව ආභරණ විරලභාවය නිසා වඩාත් කැපී පෙනෙන මෙම මූර්තිය කලා විචාරකයන්ගේ අතිශය ප්‍රශංසාවට පත්වූවකි.

ඕලාරික පෙම්වතුන් තම පෙම්වතියන් මරා දමන මෙවන් යුගයක අපේ අතීත කලාකරුවා ආධ්‍යාත්මික ප්‍රේමයක මහඟු පරමාදර්ශය කෙසේ විය යුතුද යන්න මෙසේ නෙළා ඇති අයුරු අවධානයට යොමු කළ යුතු ය. මෙම ගීත රචකයා සිදු කර ඇත්තේ එයයි.

ආධ්‍යාත්මික ප්‍රේමය කවරාකාර ද යන්න ගලෙහි නෙළූ මෙම කලාකරුවා සොයා යන කවියා ඔහු තවමත් තනිකඩ ලෙස වසන බව කීමෙන් නඟන උත්ප්‍රාසය කවරේදැයි විමසිය යුතු ය.

බැඳීම්වලින් නිදහස්ව ඇති බව ද? එසේ නම් ගීත රචකයා එම කලාකරුවා ද ඔසවා තබන්නේ ඉතා ඉහළ තැනකට ය. එනම් ආධ්‍යාත්මික වශයෙන් පොහොසත් කලාකරුවකුගේ තලයට නොවේ ද?

මෙසේ අනුරාධපුර යුගයේ ඓතිහාසික මෙහෙයුමකට අපව කැන්දන නූතන ගීතයක් ලෙස රජිව් වසන්ත වෙල්ගම ලියා සුනිල් එදිරිසිංහ ගයන මෙම ගීතය අපට දැක්විය හැකිය.

කලාවේ උත්කෘෂ්ට නිමැවුම් මිනිසාගේ අවබෝධයේ පරිධිය පුළුල් කරවන්නක් බව අවධාරණය කළ යුතු ය. විශේෂයෙන් අතීත කලාවේ නටබුන් පවා අපට කියා දෙන්නේ මහා දාර්ශනික සිතිවිලි සමුදායකි. මේවා සෙමෙන් විඳින්නට නොහැකි නූතන අපේ පරපුර ගමන් කරන්නේ කවර දිශාවකටදැයි අපට දුක සිතේ.

මේ රටේ විසූ විශිෂ්ට ඉතිහාසඥයෙකු හා මිනින්දෝරුවෙකු වූ ආර්.එල්. බ්‍රෝහියර් තම කෘතියක කියා ඇති ප්‍රකාශනයකින් මෙම පරිච්ඡේදය අවසන් කරමු.

සියවස් ගණනාවක් අව්වට වැස්සට මුහුණ දෙමින් තිබෙන මේ ගල් ටැම්, පිළිම, ගෘහ නිර්මාණ යනාදිය කලාව නුරුස්සනා දුෂ්ටයාට කිසිම හැඟීමක් ඇති නොකරයි. මේ පෞරාණික නටබුන් නරඹා සතුටක් ලබා ගත නොහැකි, වින්දනය අතින් නෂ්ටකාමයට පත් වී ඇති අයට දෙන්නේ එකම එක උපදේශයකි. මේ පෞරාණික පූජනීය වස්තූන් කෙළෙසන්නේ නැතිව කරුණාකර මෙහි පැමිණීමෙන් වළකින්න. (72 සිට, බ්‍රෝහියර් දුටු ලංකාව, පරිවර්තනය අභය හේවාවසම්)

ඉල් පුර පසළොස්වක පෝය

 නොවැම්බර් 18 බ්‍රහස්පතින්දා අ.භා 12.00 පසළොස්වක ලබා 19 සිකුරා අ.භා 14.27 ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 18

Second Quarterඅව අටවක

නොවැම්බර් 27   

Full Moonඅමාවක

දෙසැම්බර් 03

First Quarterපුර අටවක

දෙසැම්බර් 11

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]