[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුටුගැමුණු මහ රජතුමා - 46: යුද්ධයට පෙර රට ස්වයංපෝෂිත කිරීම රජතුමා ගේ අරමුණ යි

දුටුගැමුණු මහ රජතුමා - 46:

යුද්ධයට පෙර රට ස්වයංපෝෂිත කිරීම රජතුමා ගේ අරමුණ යි

සිරිනාගට සියුම් කෝපයක් ඇතිවිය. එහෙත් ඒ බවක් නොපෙන්වා සුහද ව කතා කළේ ය.

"මහ සෙනෙවිතුමනි, බෝධිනාග කෙනෙක් මාගම නැහැ. සමහරවිට ඔහු කැලණියේ සිටිනවා විය හැකියි. ඔහු මගේ පියා වූණත් මා තුළ තියෙන්නේ වෛරයක්. තමන් ගේ දරුවා කෙරෙහි කරුණාවක් ආදරයක් නැති තාත්තා කෙනකුගෙන් ඇති වැඩේ කුමක්ද? නමුත් ඔහු කෙසේ හෝ හමුවීමේ වුවමනාවක් මටත් තිබෙනවා"

"බෝධිනාග භයානක මිනිහෙක්. ඒ නිසා ඔහු හමුවන්නට උත්සාහ ගන්න එපා."

මිත්‍ර සෙන්පති පැවසුවේ බියට පත් විලාසයෙනි. ඔහු මොහොතක් කල්පනා බරව සිටියේ ය. පසුව තිගැස්සී සිහි එළවා ගත්තේ ය. සිරිනාග දෙස බැලුවේ ය. තම මෑණියන් ගේ ඝාතකයන් සොයන සිරිනාගගෙන් මතු යම් දිනක තමාට එල්ල විය හැකි මරණ බියක් ඔහු ගේ හිතට දැනෙන්නට විය. බෝධිනාග ගේ ත්, විමලී කුමරිය ගේ ත් ආදරය දුටු තමන් තුළ ඇති වූ ඊර්ශයාව නිසා තමන් ගේ අතින් ම ඇය ගේ ආහාර බඳුනට වස දැමූ සැටිත් ඔහුට සිහිපත් විය.

සිරිනාග බලා සිටියේ ය. මිත්‍ර සෙනෙවි කිසියම් අවුල් සහගත තත්ත්වයකින් පසුවන බවක් දැනෙන්නට විය.

"රාත්‍රී භෝජනය සූදානම්. සිරිනාග සමඟ පැමිණෙන්න."

මහ සෙනෙවි බිරිඳ පැමිණ ආරාධනා කළා ය.

"ස්තුතියි ආරාධනයට. අද ජයනාථ සිටුතුමා ගේ මන්දිරයේ උත්සවයක් තිබෙනවා. රෑ කෑමට පැමිණෙන ලෙසට සිටු දේවිය ආරාධනා කළා. ඒ ආරාධනාව මඟහැරිය නොහැකි යි.

"හොඳයි, සිරිනාග එහෙනම් හෙට රාත්‍රී කෑමට මෙහි එන්නට ඕනේ."

"හොඳමයි, මහ සෙනෙවිතුමනි, එහෙනම් මට යාමට අවසර. සිරිනාග නැඟී සිට මිත්‍ර සෙනෙවිට ආචාර කළේ ය. මැදුරෙන් පිට වූ සිරිනාග තම අසු පිටට නැඟී වේගයෙන් ගමන් ඇරඹුවේ ය. තමන් ලොකු උගුලකින් බේරුණ බව ඔහුට හැඟිණි. ඔහුගේ සිත නොයෙක් සිතිවිලිවලින් බර විය.

ඔහු නිවසට පැමිණියේ ය. ඔහු අසුනක හිඳගෙන ටික වේලාවක් කල්පනාවේ නියැළුණේ ය. විවේකයෙන් සිටිය හොත් සිටුතුමා සමඟ මද වේලාවක් පිළිසඳරෙහි යෙදීම සිතට සහනයක් වනු ඇතැයි කල්පනා කළේ ය.

"එන්න සිරිනාග සෙනෙවිතුමනි, ඔබ බර කල්පනාවක වගෙයි. ගැටලුවක් ද?"

"මහ සිටුතුමනි, දරා ගත නො හැකි වේදනාවකින් මිදෙන්නට උත්සාහ කළත් එය අපහසු නිසා ඔබතුමා සමඟ කතා කරන්නට සිතුණා. ඔබතුමාට බාධා කළාට සමා වන්න."

"සිරිනාග ගේ ස්වරුපයෙන් මට ඒ බව අවබෝධ වුණා. අද ඔබ ප්‍රමාද වුණේ විශේෂ රාජකාරී කටයුත්තක් දී තිබුණු නිසා ද?"

"නැහැ, මිත්‍ර සෙනෙවිතුමා ඔහු හමු වන ලෙසට මට දැනුම් දී තිබුණා"

"තොප කැඳවුයේ කුමක් සඳහා ද? සිරිනාග ඔහු මහා අසත්පුරුෂයෙක්. ඒ නිසා ඔහු සමඟ ඇසුර බොහෝ පරිස්සමින් කරන්නට ඕනේ. ඔහු නිතර හමුවන්නට යාමත් එතරම් හොඳ දෙයක් නොවෙයි."

"සිටුතුමනි, මට ඒ බව වැටහෙනවා. අද ඔහු මගෙන් ප්‍රශ්න ගණනාවක් ඇසුවා. ඔහු කුමක් හෝ කරුණක් නිසා යම්කිසි අසහනයකින් පසුවන බව පෙනෙනවා. දීඝජන්තු මහා සෙනෙවිතුමාට හිතවත් වෙන්නට එපා කීවා. දීඝාභය කුමාරයා ගැනත් බොහෝ ප්‍රශ්න කළා. අන්තිමේ දී ඔහු බැණ වැදුනේ බෝධිනාග පියතුමාට"

"බෝධිනාග සත්පුරුෂ මනුස්සයෙක්. ඔහුගෙන් මිත්‍ර සෙනෙවියාට යහපතක් මිස අයහපතක් සිදු වෙලා නැහැ. "

"සුමන සිටුතුමා ගේ ඝාතනය සිදු කළේ බෝධිනාග කීවා. විමලීට වස දී මරා දැම්මේ ඔහු බව කීවා. ඔහු මෙහෙන් රැගෙන ගිය විශාල ධනස්කන්ධය වියදම් කරලා, මාගම විශාල මන්දිරයක් ඉදිකර, එහි සිටුවරයෙක් ලෙස ජිවත් වන බව ද කීවා. "

"මිත්‍ර සෙනෙවියා පව්කාරයෙක්. මංකොල්ලකාරයෙක්, මිනී මරුවෙක්. ඔහු තමන් කළ පව අනුන් පිට පටවන්න උත්සාහ කරනවා."

"මොහු විසකුරු සර්පයෙක් සිටුතුමනි, ඔහු ගේ විස දළවලින් මට දෂ්ට කරන්නට වැඩි කලක් ගත වන එකක් නැහැ. ඔහුට කලින් මගේ අත ඉක්මන් නොවුණොත් මගේ අම්මාට ත්, ඇගේ මව්පියන්ට ත් වුණු දේ මට ත් වෙන්න පුළුවන්."

"පුතා කලබල වෙන්න එපා. සන්සුන් වෙන්න. කෝපකාරි සිතිවිලිවලින් ඈත් වෙන්න. සිතට විවේකයක් දෙන්න."

මේ මොහොතේ සිටු දියණිය මී පැණි බඳුන් දෙකක් ගෙන සිය මව සමඟ ආලින්දයට පැමිණියා . එය සිරිනාගට හා පියාට පිළිගැන් වූ පසු ඇය මව ළඟට වුවා ය.

"සිරිනාග, ඔබ රාත්‍රී ආහාරය ගෙන එන්නට ඇතැයි සිතූ නිසා ආරාධනා කළේ නැහැ. අපි කෑම ගෙන අවසන් වුණේ දැන්."

'මෑණියනි, අද දවස හරිම වෙහෙසයි. රාජකාරී නිම වී එන්නට සුදානම් වන විට මිත්‍ර සෙනෙවිතුමාගෙන් කැඳවීමක් ලැබුණා. ඔහු සමඟ හෝරාවකට වඩා වැඩි කාලයක් සාකච්ඡාවේ යෙදී සිටියා. සෙනෙවිතුමා ගේ බිරිඳ රාත්‍රී භෝජනය සඳහා ආරාධනා කළා. සිටු මැදුරේ දේවිය රාත්‍රී භෝජනය සඳහා ආරාධනා කර තිබෙන බව පවසා එතැනින් ගැලවී ආවා. "

"ඒක හොඳයි සිරිනාග, සැක සහිත තැන්වලින් ආහාර ගන්න එපා."

හිස් බඳුන් දෙක ගත් සිටු දියණිය මවත් සමග ආලින්දයෙන් පිටවුයේ ඔවුනට තවදුරටත් කතා කිරීමට ඉඩ දෙමිනි.

"සිරිනාග ඉතින් දැන් කියන්න, ඔබේ පියා බෝධිනාග ඉන්නේ කැලණියේ ද ? මාගම ද?"

"මිත්‍ර සෙනෙවිතුමාට මා කීවේ බෝධිනාග ඉන්නේ කැලණියේ කියා යි. නමුත් බෝධිනාග ඉන්නේ මාගම යි. එතුමා දුටුගැමුණු කුමාරයා සමඟ සටන් බිමට පිවිසීමට බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ සඳහා අවසරය පතා තිස්සමහාරාම විහාරයට අයත් කුඹුරුවල වගා කටයුතු භාර ව සිටිනවා. සත්‍ය තොරතරු සියල්ල ඔහු මට පැවසුවා. මා ගැමුණු සේනාංකයේ සේවය කරන බව පැවසු විට පුත් සෙනෙහසින් මා බදාගෙන කඳුළු වැගිරුවා. මා එදා මා ගැන බොහෝ කනගාටුවට පත් වුණා. මා, මට ම ද්වේශ කර ගත්තා. තනතුරුවලට ආශාවෙන්, ධනයට මුදලට කෑදරකමින්, තමන් ගේ ආගමට ජාතියට ද්‍රෝහී වන සිංහලයන් කෙරෙහි මට ඇති වුණේ දුකක්. සිංහල ජාතිය යළි ගොඩ නඟන්නට පර සතුරන්ගෙන් මේ රට මුදා ගන්නට, රට එක්සේසත් කරන්නට දුටුගැමුණු කුමාරයා දරන සටනට හැකි උපරිමයෙන් සහාය දෙන බවට මහාසිව මාහිමිපාණන් වහන්සේ ඉදිරියේ මා එදා ප්‍රතිඥා දුන්නේ ඒ නිසයි. "

"බෝධිනාග අවංක මනුස්සයෙක්. විශ්වාසය, ස්වාමි භක්තිය ඔහු ළඟ තියෙනවා. ඔහු සිටින තැනක්වත් අපට නොදැන්නුවේ අපේ ආරක්ෂාවටයි. සිරිනාග දන්නා සියල්ල රහසක් ලෙස රැක ගන්නට ඕනේ."

"ඔව් සිටුතුමනි මා එය සිතට ගෙන අවසානයි, මට මෙහි සිටින මගේ පියාත්, නෑයාත් ඔබතුමා යි. අද ඔබතුමා ගේ කාලය හෝරාවකටත් වඩා මා වෙනුවෙන් වැය කළා. මට යෑමට අවසර"'

"සිරිනාග, නුඹගේ අලුත් තනතුර වෙනුවෙන් හෙට හවස ශ්‍රී මහා බෝධිය අසල දී බෝධි පූජාවක් තැබීමට දේවිය කටයුතු සුදානම් කර තිබෙනවා. ඒ නිසා සවස පහට පමණ ශ්‍රී මහා බෝධි මලුවට පැමිණෙන්න."

විවේකයෙන් සිටින සෑම අවස්ථාවක ම ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීම සිරිනාග ගේ සිරිතකි. එමඟින් සොළින්ගෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේට සිදුවන හානිය, නිගරුව වළක්වා ගත හැකි බව ඔහුගේ අදහස යි.

එළාර රජතුමා ගේ දියණිය කෘෂ්ණා කුමරිය ද සොළී භටයන් බෞද්ධ සිද්ධස්ථානවලට සිදු කරන නිගරුව ගැන ප්‍රසිද්ධියේ ම සොලී භටයන්ට දොස් නැඟීමෙන් සිදු වූ යහපත ද සිරිනාග සිතට ගත්තේ ය.

ජයනාථ සිටු දේවිය තමන් වෙනුවෙන් පවත්වන බෝධි පුජාවට සහභාගී වීම සඳහා සිරිනාග නිවසින් පිටත් විය. නියමිත වේලාවට ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසලට පැමිණි ඔහු දුටුවේ බෝධි මලුව සිංහලයන්ගෙන් පිරී ඇති ආකාරයයි. ඔහුට මතක ඇති දිනක මෙතරම් විශාල පිරිසක් බෝ මලුව වෙත පැමිණ සිටියේ නැත.

අනුරාධපුර නගරයේ වෙසෙන ප්‍රභූ පවුල්වල කාන්තාවන් සිය දියණිවරුන් සමඟ පැමිණ සිටියේ මහා සිටු දේවිය ගේ ආරාධනය මත විය යුතු යැයි සිරිනාගට සිතිණි. ඔහු පුදුමයට පත් කරමින් එළාර මහා රජු ගේ දියණිය කෘෂ්ණා කුමරිය ද සිය පිරිවර සමඟින් පැමිණ සිටියා ය. ඒ අතර දන්ති කුමරිය ද වූවා ය.

බිනර පුර අටවක

  සැප්තැම්බර් 13 සඳුදා අ.භා 15.11 පුර අටවක ලබා 14 අඟහරුවාදා අ.භා 13.09 ගෙවේ.
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 13

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 20

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 29   

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]