[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නියත විවරණය හා සමතිස් පෙරුම්දම්

නියත විවරණය හා සමතිස් පෙරුම්දම්

අභිනීහාරය සර්ව සම්පූර්ණ කර ගත් බෝධිසත්වයන් වහන්සේට ලොවුතුරා සර්වඥ රාජෝත්තමයන් වහන්සේ නමක් විසින් ‘මේ මහා සත්වයා අසවල් කාලයේ දී අසවල් නමින් අසවල් වෘක්ෂ මූලයෙහි දී ඒකාන්තයෙන් ලොවුතුරා බුද්ධත්වයට පත් වන්නේ ය‘ යනුවෙන් ප්‍රකාශ කිරීම නියත විවරණය යනුවෙන් හැදින්වේ.

දීපංකර සර්වඥයන් වහන්සේගේ කාලයේ සුමේධ පණ්ඩිතතුමා දීපංකර සර්වඥයන් වහන්සේට තම ශරීරය පූජා කොට

‘මාවිසින් පුරුෂෝත්තමයන් වහන්සේ කෙරෙහි කරන ලද මේ පිනෙන් බුද්ධත්වයට පැමිණෙන්නෙමි. බොහෝ ජනයා සසරින් එතර කරවන්නෙමි‘ යි පැතුවේ ය.

මේ අප ගෞතම සර්වඥයන් වහන්සේගේ පළමු අභිනීහාරය හෙවත් ප්‍රථමයෙන් බුදුබව පැතීමයි.

දීපංකර සර්වඥයන් වහන්සේ විසින් සුමේධ පණ්ඩිතතුමාගේ ප්‍රාර්ථනාව බුදු ඇසින් බලා එය මස්තකප්‍රාප්ත වන බැව් දැන දැක ‘මේ මහා සත්වයා මෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම නමින් ඇසතු වෘක්ෂ මූලයෙහි දී බුද්ධත්වයට පත් වන්නේය‘ යි නියත විවරණය දුන් සේක.

නියත විවරණය ලද මහා සත්වයන් වහන්සේ එතැන් පටන් බුදුබව ලබන තාක් අභව්‍යස්ථානයන්හි නොඉපදී සමතිස් පෙරුම්දම් පිරූහ. බුදු පසේබුදු මහරහත් යන තුන්තරා බෝධියෙන් එක් බෝධියක් ප්‍රර්ථනා කරමින් කරන්නා වූ කුසල්දහම් පාරමිතා හෙවත් පාරමී යනුවෙන් හඳුන්වනු ලබයි.

මෙසේ කරන්නා වූ කුසල්දහම් නිසා සංසාර සාගරයේ පරතෙරට සත්වයා පමුණුවනු ලබන හෙයින් පාරමිතා හෙවත් පාරමී යන නම ලැබී ඇත. මෙවැනි පාරමිතා දහයකි. දසපාරමිතා යනු ඒවායි.

එනම් දාන පාරමිතාව, සීල පාරමිතාව, නෛෂ්ක්‍රම්‍ය. පාරමිතාව, ප්‍රඥා පාරමිතාව, වීර්ය පාරමිතාව, ක්ෂාන්ති පාරමිතාව, සත්‍ය පාරමිතාව, අධිෂ්ඨාන පාරමිතාව, මෛතී‍්‍ර පාරමිතාව හා උපේක්ෂා පාරමිතාවයි. මෙම පාරමිතා දහය පාරමිතා ය, උප පාරමිතා ය, පරමත්ථ පාරමිතා ය යනුවෙන් තෙවැදෑරුම් වීමෙන් පාරමිතා තිහක් වේ. සමතිස් පෙරුම්දම් යනු ඒ පාරමිතා තිහට නමකි.

ලොවුතුරා බුද්ධත්වය පතා පාරමිතා පූරණය කරන මහා බෝධිසත්වයන් වහන්සේ පාරමිතා දහය, උප පාරමිතා දහය හා පරමත්ථ පාරමිතා දහය යන පාරමිතා තිහම සම්පූර්ණ කළ යුතු ය. පසේබුදු බව පතා පාරමිතා පූරණය කරන බෝධිසත්වයන් වහන්සේ පාරමිතා දහය හා උප පාරමිතා දහය යන පාරමිතා විස්ස සම්පූර්ණ කළ යුතු ය. අර්හත්වය පතා පාරමිතා සම්පූර්ණ කරන බෝධිසත්වයන් වහන්සේ පාරමිතා දහය සම්පුර්ණ කළ යුතු ය.

දාන පාරමිතාව

කරුණාවෙන් හා උපාය දන්නා නුවණින් හාත්පසින් ගන්නා ලද ආත්මෝපකරණ පරිත්‍යාග චේතනාව දාන පාරමිතාවයි. දාන පාරමිතාව, දාන උප පාරමිතාව හා දාන පරමත්ථ පාරමිතාව යනුවෙන් මෙය තෙවැදෑරුම් වේ.

අඹුදරුවන් ධනය ආදී භෞතික වස්තූන් පරිත්‍යාග කිරීම දාන පාරමිතාවයි. අප මහ බෝසතාණන් වහන්සේගේ දාන පාරමිතාව නිමි, වෙස්සන්තර, කුරුරාජ, අකිත්ති ආදී ජාතක කතාවලින් හෙළි වේ.

තමාගේ ශරීරාංග (ලේ,මස්,ඇස්,අත්පා ආදිය) පරිත්‍යාග කිරීම දාන උප පාරමිතාවයි.

අප මහ බෝසතාණන් වහන්සේගේ දාන උප පාරමිතාව සිවි, චුල්ලපදුම, ඡද්දන්ත, සීලවනාග ආදී ජාතක කතාවලින් හෙළි වේ.

තමාගේ ජීවිතය පරිත්‍යාග කිරීම දාන පරමත්ථ පාරමිතාවයි. අප මහ බෝසතාණන් වහන්සේගේ දාන පරමත්ථ පාරමිතාව සස, නිග්රෝ ධමිග, ඛදිරංගාර, මහාකපි ආදී ජාතක කතාවලින් හෙළි වේ.

සීල පාරමිතාව

කරුණාවෙන් හා උපාය දක්නා නුවණින් හාත්පසින් ගන්නා ලද කාය වාග් සුචරිතය අර්ථ වශයෙන් නොකළ යුත්තෙන් වැළකෙන, කළ යුත්ත කරන චේතනාදිය සීල පාරමිතාවයි.

අඹුදරුවන් නිසාවත්, වස්තු දේපළ ආදිය නිසාවත් කඩ නොකොට රකින්නා වූ සීලය සීල පාරමිතාවයි.

තම ශරීර අවයව රැක ගැනීම පිණිසවත් සමාදන් වූ සීලය කඩ නොකොට රැකීම සීල උප පාරමිතාවයි.

ජීවිතය නැසුණත් සමාදන් වූ සීලය කඩ නොකොට රකින්නේ නම් එය සීල පරමත්ථ පාරමිතාව යි.

අප මහ බෝසතාණන් වහන්සේගේ සීල පාරමිතාව මාතුපෝෂක, හස්තිරාජ, භූරිදත්ත රාජ, චූලබෝධි තාපස, මාතංග පණ්ඩිත ආදී චරිත කතාවලින් හෙළි වේ.

නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව

කරුණාවෙන් හා උපාය දන්නා නුවණින් හාත්පසින් ගන්නා ලද ආදීනව දැකීම් පෙරටු කොට ඇති කාම භවයන්ගෙන් නික්මීමේ සිත් ඉපදවීම නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවයි.

අඹුදරුවන් වස්තු දේපළ අත් හැරීම නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවයි. තම ශරීර අවයව පිළිබඳ ඇති ආශාව ද අත් හැර කාම වස්තූන් අත් හරින්නේ නම් එය නෛෂ්ක්‍රම්‍ය‍ උප පාරමිතාවයි. ජීවිතය වුවත් නැති වන්නට ඉඩ හැර කාම වස්තූන් අත් හරී නම් ඒ නෛෂ්ක්‍රම්‍ය පරමත්ථ පාරමිතාවයි.

ප්‍රඥා පාරමිතාව

කරුණාවෙන් හා උපාය දන්නා නුවණින් හාත්පසින් ගන්නා ලද ධර්මයන්ගේ සාමාන්‍ය හා විශේෂ අවබෝධය ප්‍රඥා පාරමිතාවයි.

අඹුදරුවන් වස්තු දේපළ ආදිය කෙරෙහි ඇති තෘෂ්ණාව දුරු කොට ප්‍රඥාව උපදවා ඒ ප්‍රඥා සම්පත්තියෙන් ලෝකයාට යහපත සිදු කිරීම ප්‍රඥා පාරමිතාවයි.

ශරීර අවයවයන් කෙරෙහි ඇති තෘෂ්ණාව ද දුරු කොට ප්‍රඥාව උපදවා ඒ ප්‍රඥාවෙන් ලෝකයාට යහපත සිදු කිරීම ප්‍රඥා උප පාරමිතාවයි.

තමාගේ ජීවිතය ගැන ද නොතකා ප්‍රඥාව උපදවා ඒ ප්‍රඥාවෙන් ලෝකයාට යහපත සිදු කරන්නේ නම් ඒ ප්‍රඥා පරමත්ථ පාරමිතාවයි.

අප මහ බෝසතාණන් වහන්සේගේ ප්‍රඥා පාරමිතාව සත්තුභත්ත, උම්මග්ග, සම්භව විධුර ආදී ජාතක කතාවලින් හෙළි වේ.

වීර්ය පාරමිතාව

කරුණාවෙන් හා උපාය දන්නා නුවණින් යුතුව අනුන්ගේ හිතසුව පිණිස හාත්පසින් ගන්නා ලද කයේ හා සිතේ වීර්ය ආරම්භය වීර්ය පාරමිතාවයි.

අඹුදරුවන් වස්තු දේපළ ආදිය නිසාවත් පටන් ගත් වීර්ය ලිහිල් නොකොට සම්බෝධිය පිණිසම උත්සාහවත් වීම වීර්ය පාරමිතාවයි.

තමාගේ ශරීර අවයවයන් නිසා හෝ පටන් ගත් වීර්ය ලිහිල් නොකොට සම්බෝධිය පිණිස උත්සාහවත් වීම වීර්ය උප පාරමිතාවයි.

ජීවිතය නිසා හෝ පටන් ගත් වීර්ය ලිහිල් නොකොට සම්බෝධිය පිණිස උත්සාහවත් වීම වීර්ය පරමත්ථ පාරමිතාවයි.

අප මහ බෝසතාණන් වහන්සේගේ වීර්ය පාරමිතාව වණ්ණුපථ, මහාසීලවරාජ, පඤ්චායුධ, මහා වානරින්ද ආදී ජාතක කතාවලින් හෙළි වේ.

ක්ෂාන්ති පාරමිතාව

කරුණාවෙන් හා උපාය දන්නා නුවණින් හාත්පසින් ගන්නා ලද සත්ව සංස්කාරයන්ගේ අපරාධ ඉවසීම ඒ හා සම්බන්ධ අද්වේශය ප්‍රධාන කොට ඇති සිත ක්ෂාන්ති පාරමිතාවයි.

අඹුදරුවන් වස්තු දේපළ ආදිය නිසා ඇතිවන හානි ඉවසීම ක්ෂාන්ති පාරමිතාවයි.

ශරීර අවයවයන් නිසා ඇතිවන හානි ඉවසීම ක්ෂාන්ති උප පාරමිතාවයි.

ජීවිත පරිත්‍යාගයෙන් කරන ඉවසීම ක්ෂාන්ති පරමත්ථ පාරමිතාවයි.

අප මහ බෝසතාණන් වහන්සේගේ ක්ෂාන්ති පාරමිතාව ක්ෂාන්තිවාදී, සීලව ආදී ජාතක කතාවලින් හෙළි වේ.

සත්‍ය පාරමිතාව

කරුණාවෙන් හා උපාය දන්නා නුවණින් හාත්පසින් ගන්නා ලද විරති චේතනාදී ප්‍රභේද ඇති අනුන් නොරැවටීම සත්‍ය පාරමිතාවයි.

අඹුදරුවන් වස්තු දේපළ ආදිය කෙරෙහි ඇති තෘෂ්ණාව නිසා බොරු නොකියා සත්‍යයෙහි පිහිටීම සත්‍ය පාරමිතාවයි.

ශරීර අවයවයන් කෙරෙහි ඇති තෘෂ්ණාව නිසා බොරු නොකියා සත්‍යයෙහි පිහිටීම සත්‍ය‍ උප පාරමිතාවයි.

තමාගේ ජීවිතය ගැන ඇති ආශාව නිසාවත් බොරු නොකියා සත්‍යයෙහි පිහිටීම සත්‍ය‍ පරමත්ථ පාරමිතාවයි.

අධිෂ්ඨාන පාරමිතාව

කරුණාවෙන් හා උපාය දන්නා නුවණින් හාත්පසින් ගන්නා ලද වෙනස් නොවන සිතේ පැවැත්ම හෙවත් අධිෂ්ඨානය අධිෂ්ඨාන පාරමිතාවයි.

අඹුදරුවන් වස්තු දේපළ ආදිය නිසාවත් කඩ නොකරන්නා වූ සිතේ පැවැත්ම අධිෂ්ඨාන පාරමිතාවයි.

ශරීර අවයවයන් නිසාවත් කඩ නොකරන්නා වූ සිතේ පැවැත්ම අධිෂ්ඨාන උප පාරමිතාවයි.

තමාගේ ජීවිතය නිසාවත් කඩ නොකරන්නා වූ සිතේ පැවැත්ම අධිෂ්ඨාන පරමත්ථ පාරමිතාවයි.

මෛතී‍්‍ර පාරමිතාව

කරුණාවෙන් හා උපාය දන්නා නුවණින් හාත්පසින් ලෝකයට හිත සුව ඇති කිරීම හා අර්ථ වශයෙන් අව්‍යාපාදය මෛතී‍්‍ර පාරමිතාවයි.

අඹුදරුවන් වස්තු දේපළ ආදියට හානි පමුණුවන සතුරන්ට ද නොකිපී සිටීම මෛතී‍්‍ර පාරමිතාවයි.

තමාගේ ශරීර අවයවයන්ට පවා හානි පමුණුවන සතුරන් කෙරෙහි නොකිපීම මෛතී‍්‍ර උප පාරමිතාවයි.

තමාගේ ජීවිතයට පවා හානි පමුණුවන සතුරන් කෙරෙහි නොකිපීම මෛතී‍්‍ර පරමත්ථ පාරමිතාවයි.

උපේක්ෂා පාරමිතාව

කරුණාවෙන් හා උපාය දන්නා නුවණින් හාත්පසින් ගන්නා ලද ඇලීම් විරුද්ධවීම් දුරු කරන ඉෂ්ට අනිෂ්ට සංස්කාරයන්හි සමව පැවැත්ම උපේක්ෂා පාරමිතාවයි.

තම අඹුදරුවන් වස්තු දේපළ ආදිය ගැන හා අනුන්ගේ අඹුදරුවන් වස්තු දේපළ ආදිය ගැන ඇති මධ්‍යස්ථ බව උපේක්ෂා පාරමිතාවයි. තම ශරීර අවයවයන්ට හානි කරනවුන් ගැන ද, තම ශරීර අවයවයන් ආරක්ෂා කරනවුන් ගැන ද ඇති මධ්‍යස්ථ බව උපේක්ෂා උප පාරමිතාවයි. තමාගේ ජීවිතයට හානි කරනවුන් ගැන ද තමාගේ ජීවිතය ආරක්ෂා කරනවුන් ගැන ද ඇති මධ්‍යස්ථ බව උපේක්ෂා පරමත්ථ පාරමිතාවයි.

ඇසළ පුර පසළොස්වක

ජුලි 23 සිකුරාදා පූර්වභාග 10.43 පසළොස්වක ලබා 24 සෙනසුරාදා පූර්වභාග 08.06 ගෙවේ.
 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 23

Second Quarterඅව අටවක

ජූලි 31  

Full Moonඅමාවක

අගෝස්තු 08

First Quarterපුර අටවක

අගෝස්තු 15

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]