[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ත්‍රිපිටකධාරී මාහිමිවරුන්ගේ පහස ලද පැපිලියානේ සුනේත්‍රා මහාදේවි පිරිවෙන් විහාරය

ත්‍රිපිටකධාරී මාහිමිවරුන්ගේ පහස ලද පැපිලියානේ සුනේත්‍රා මහාදේවි පිරිවෙන් විහාරය
 

වීදාගම ඝනානන්ද පිරුවන, තොටගමුව විජයබා පිරුවන, කෑරගල පද්මාවති පිරුවන,පැපිලියාන සුනේත්‍රාදේවි පිරුවන, දෙවිනුවර ඉරුගල්කුලතිලක පිරුවන යන කෝට්ටේ යුගයේ සම්භාවනීය පංච මහා පිරුවන් අතරින් එක් පිරුවනක් වූ සයවැනි පැරකුම්බා මහරජතුමන් විසින් ස්වකීය මව්තුමිය වූ සුනේත්‍රා මහාදේවිය සිහිවීම පිණිස ඉදි කරවන ලද සුනේත්‍රා මහාදේවි පිරුවන කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ හොරණ මහා මාර්ගයට යාබද ව පිහිටා ඇත.

ජනප්‍රවාදගත තොරතුරු අනුව පැපිලියාන සුනේත්‍රාදේවි පිරුවනේ වැඩසිටින පෞරාණික බෝධි රාජයන් වහන්සේ අනුරාධපුර යුගයේ දේවානම්පියතිස්ස රජ දවස රෝපණය කළ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඵලරූහ බෝධීන් වහන්සේ නමකි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අග නගරයට දකුණු පසින් පිහිටි පැපිලියාන ග්‍රාමයේ මව් බිසවට පින් පිණිස සුනේත්‍රාදේවි පිරුවන සහ සංඝාරාමයක් කරවා ගම්වර, කෙත්වතු සහිතව රුහුණු මායා පිහිටි යන තුන් සිංහලයෙන් වැඩමවූ සංඝයා වහන්සේලාට තෙදිනක් පුරා දන් පූජා පවත්වා සඟසතු කොට පූජා කළ බව මහාවංසයේ සඳහන් වෙයි.

සයවැනි පරාක්‍රමබාහු මහ රජතුමාගේ මව්පියන් ලෙස ළමැණි ජයමහලෑන කුමරු සහ කාලිංග වාංශික සුනේත්‍රාදේවිය ලෙස ඉතිහාසඥයන් හඳුනා ගනී. පරාක්‍රමබාහු කුමරුන් කුඩා අවධියේ මව්බිසව දුෂ්කරතා විඳීමින් වීදාගම මෛත්‍රෙය මාහිමියන්ගේ රැකවරණ මත පරාක්‍රමබාහු කුමරුන් ඇති දැඩි කොට සොළොස් වියට පැමිණි කල රයිගම රජ කරවීය.

තෙවසරකට පසු කෝට්ටේට පැමිණි සයවැනි පරාක්‍රමබාහු මහ රජතුමා මව් තුමියට පුණ්‍යානුමෝදනා කරමින් වර්ෂ 1415 සහ 1417 කාලයේ පානබුනු දනව්වේ සුනේත්‍රාදේවි පිරුවන ගොඩ නැඟීය.

පිරුවන් විහාරය තැනවීම සඳහා බිසෝ මාලිගයෙහි වියදම් කටයුතු භාරව සිටි භාණ්ඩාගාර නිලධාරියා යන අරුත දෙන මැදිමාලේ විසූ රාණි වාසල කාර්යයෙහි නිරතව සිටි සිකුරා මුදල් පොතුන් නමැත්තා යොදවා ඇත.

රාජකීය භාණ්ඩාගාරයෙන් විසිපන්දහසක් ධනය වියදම් කොට වෙහෙර වහන්සේ, බෝධීන් වහන්සේ, අලංකෘත පිළිම වහන්සේලා, බිතුසිතුවම් සහිත දෙමහල් ප්‍රතිමා මන්දිරය, ප්‍රාකාර ගෝපුර, සංඝාවාස, දේවාලය, පුස්තකාලය, පුෂ්පාරාම, ඵලාරාම ආදී විහාරාංගයන්ගෙන් සමලංකෘත කරවන ලදැයි පැපිලියාන සෙල්ලිපියේ කියැවෙයි.

සුනේත්‍රාදේවි

පිරුවනේ විචිත්‍රත්වය ගිරා සන්දේශය, පරෙවි සන්දේශය, කෝකිල සන්දේශය වැනි කෝට්ටේ යුගයේ සම්භාවනීය සාහිත්‍ය ග්‍රන්ථයන්හි විස්තර කර ඇති අන්දම විචිත්‍රවත් ය.

ගලතුරුමුල මේධංකර සංඝරාජ මාහිමියන්ගේ ශිෂ්‍ය සහ තොටගමුවේ ශ්‍රී රාහුල සංඝරාජ හිමියන්ගේ පැවිදි සහෝදරයකු වූ සුනේත්‍රාදේවි පිරුවන්පති ධුරය හොබවමින් වැඩසිටි මංගල මාහිමියන් පසු කාලයේ සපරගමුවේ සමන් විහාරයේ නායක පදවියෙන් හා සංඝරාජ පදවියෙන් ද පුද ලදහ.


මහාචාර්ය
මැදගොඩ අභයතිස්ස නාහිමි

පැපිලියානේ මංගල සංඝරාජයන් වහන්සේගේ සිල්වත්, ගුණවත් ගති ලක්ෂණ, ධර්ම දේශනයේ නිපුණත්වය සන්දේශ කාව්‍යයන්හි වර්ණනාවට බඳුන් වෙයි. පැපිලියාන පිරුවන ආශ්‍රිත ව සිදු කෙරුණු මාසිකව ත්‍රිපිටක ග්‍රන්ථ එක්දහස් හත්සියය බැගින් පිටපත් කිරීමේ කටයුත්ත වෙනුවෙන් ප්‍රතිපාදන පිරිනැමීම පිළිබඳ තොරතුරු පැපිලියානේ සෙල් ලිපියෙහි අන්තර්ගත වන හෙයින් එම ත්‍රිපිටක පොත් පිටපත් කිරීමේ කටයුත්ත මංගල මාහිමියන් භාරයේ පැවති බව අනුමාන කළ හැකි ය.

එසේම පැපිලියානේ ගණවාචක මංගල තෙරුන් ත්‍රිපිටකධාරී බහුශ්‍රැත මහතෙර නමක වශයෙන් සලකන ලද අන්දම තත්කාලීන ලේඛනවලින් හෙළි වෙයි.

පිරුවන පිහිට වූ අවධියේ පටන් වරින්වර රටේ විවිධ පළාත්වලින් රජතුමා පූජා කළ ගොඩ සහ මඩ ඉඩම් අක්කර 378ක් පිළිබඳ විස්තර හමු වෙයි. මව්බිසවට පින් පිණිස රත්නපුර දිස්ත්‍රික්කයේ දෙණවක අරමණපොළ විහාරය ඇතුළු විහාර රැසක් කරවා ඉඩකඩම් සහිතව පැපිලියානේ

මංගල මාහිමියන් වෙත පූජා කර තිබේ. එසේම පරිවාර ජනයා 250ක් සහිත පූජා භාණ්ඩ සහ ගරුභාණ්ඩ පුද දී ඇත. පිරුවනේ ආදායමෙන් ත්‍රිවිධ චෛත්‍යය සහ නාථ දේවාලයේ මුළුතැන් පූජා, පරිවේණාධිපති හිමි, විධාන තැන ඇතුළු විහාරවාසී පස්නමගේ කටයුතු, ත්‍රිපිටක ග්‍රන්ථ ලියන්නන්ගේ නඩත්තු කටයුතු, තෙමසකට වරක් සිව් දෙසින් වඩිනා මහා සංඝ රත්නයේ කටයුතු, මව් බිසවගේ වාර්ෂික ගුණසමරු පින්කම, විශේෂ අවුරුදු පූජාව යන කටයුතු සිදු කළ යුතු අන්දම 1454 වසරෙහි පිහිට වූ පැපිලියාන සෙල්ලිපියෙහි නියම කොට ඇත.

තොටගමුවේ ශ්‍රී රාහුල සංඝරාජ හිමියන් කලක් පැපිලියානේ වැඩ සිටි තොරතුරු හමු වෙයි. පෘතුගීසි ආක්‍රමණ හමුවේ සිංහල සේනාව මෙහෙයවීමට මෙම විහාරයේ විසූ නාගසේන හිමියන් කටයුතු කළ බවත් ධ්වනිවාහිනී යන්ත්‍රයෙන් දුරින් හිඳ කතා ඇසීමට හැකියාව ලද බවත්, ආරක්ෂාව පිණිස දළදා වහන්සේ පැපිලියානේ පිරුවනේ සඟවා තිබූ බවත් ජනප්‍රවාදයේ කියැවෙයි.

පෘතුගීසීන්ගේ ආක්‍රමණ හමුවේ විනාශයට පත් පැපිලියාන සුනේත්‍රාදේවි පිරුවනට පුනර්ජීවනය සලසනු ලබන්නේ වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරට අයත් හිමිපාණන් වහන්සේලා වෙතිනි. පොල්හෙන්ගොඩ මහ තෙරුන් වහන්සේ, කොලොන්නාවේ මහ තෙරුන් වහන්සේ, රත්මලානේ පියතිස්ස මහ තෙරුන් වහන්සේ යන මාහිමිවරුන් විහාරාධිපති පදවිය හොබවනු ලැබූහ.

රත්මලානේ පියතිස්ස මාහිමිපාණන් වහන්සේගෙන් පසු රාජකීය පණ්ඩිත, ආචාර්ය මැදගොඩ සුමනතිස්ස නාහිමිපාණන් වහන්සේ විහාරාධිපති පදවියට පත්ව විහාරස්ථානයට නූතන නවෝදයක් උදා කළහ.

විහාරස්ථානයේ සියලු විහාරාංග නවීකරණය කරමින්, සියවස් ගණනාවකට පසු 1961 වර්ෂයේ සුනේත්‍රාදේවි පිරුවන යළිත් ආරම්භ කොට ලක්දිව අග්‍රගණ්‍ය පාරිවේණික විද්‍යායතනයක් බවට පත් කළ සේක.

විහාරස්ථානය ආශ්‍රිත ව ගිහි බාලක හා බාලිකා දරුවන් වෙනුවෙන් පාසල් තනවා රජයට පිරිනමමින් ද එසේම විහාරස්ථානයට අයත් ගංගොඩවිල භූමි භාගයක් විද්‍යොදය විශ්වවිද්‍යාලය වෙනුවෙන් පුද දුන්හ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පදවිය, බස්නාහිර පළාත සහිත කොළඹ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පදවිය වැනි සම්භාවනීය ඨානාන්තර රාශියකින් පිදුම් ලද මැදගොඩ සුමනතිස්ස නාහිමියන්ගෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය, රාජකීය පණ්ඩිත, දර්ශන විශාරද මැදගොඩ අභයතිස්ස නාහිමිපාණන් වහන්සේ විහාරාධිපති, පරිවේණාධිපති සහ කෘත්‍යාධිකාරී පදවි ශෝභමාන කරති.

සුනේත්‍රාදේවි පිරුවනට අනන්‍ය වූ සම්ප්‍රදාය හඳුනාගනිමින් ආගමික හා ශාස්ත්‍රීය මෙහෙවරෙහි නිරත වන අතරම රටෙහි විවාදාපන්න සෑම අවස්ථාවකදී ම නොපැකිල ඉදිරිපත් වෙමින් නාහිමිපාණන් වහන්සේ සුවිශේෂී මෙහෙවරක් සිදු කරති.

සියවස් හයකට වැඩි පටන් රටේ ජාතික, ආගමික හා සාමාජයීය ගැටලුවල දී පෙරමුණ ගනිමින් දෙස, බස, දැය, සමය උද්දීපනය කිරීම පිණිස සුනේත්‍රාදේවි පිරුවන ඉටුකළ මෙහෙවර අනභිභවනීය වෙයි.

ඇසළ පුර පසළොස්වක

ජුලි 23 සිකුරාදා පූර්වභාග 10.43 පසළොස්වක ලබා 24 සෙනසුරාදා පූර්වභාග 08.06 ගෙවේ.
 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 23

Second Quarterඅව අටවක

ජූලි 31  

Full Moonඅමාවක

අගෝස්තු 08

First Quarterපුර අටවක

අගෝස්තු 15

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]