[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසුන් කෙත බබළවන සිතුල්පව්වේ නාහිමි

සසුන් කෙත බබළවන සිතුල්පව්වේ නාහිමි

සත්‍යය ද, නව ලොව්තුරා දහම ද, අවිහිංසාව ද, කායවාක් සංයමය ද යන මේ ගුණ ඇති, රාගාදී කෙලෙස් මල වැමෑරූ- කෙලෙස් වමාරන මඟෙහි යන ධෘතිසම්පන්න ඒ මහණ තෙම ස්ථවිර භාවයට සුදුසු යැයි බුද්ධ දේශනාවෙහි සඳහන් ය.

එපරිදි එලෙස බුහුමන් ලැබීමට සුදුසු පිරිපුන් මහායතිවරයාණන් වහන්සේ නමක ලෙසින් ගාල්ල යටගල රාජමහා විහාරය, රුහුණු මාගම සිතුල්පව්ව රාජමහා විහාරය, රුහුණේ මගුල් මහාවිහාරය, උණවටුණ වැල්ලේ දේවාල විහාරය, යද්දෙහිමුල්ලේ අමරසිංහාරාමය, උණවටුණේ බෝධිරාජාරාමය, තල්පේ හැඩිදෙමළකන්දේ සේලුත්තරාරාමය, අම්පිටියාගොඩ ගුණරතනාරාමය යන අෂ්ට මහාවිහාරාධිපති, යටගල රාජමහා විහාරයීය හෙට්ඨාචල පරිවේණාධ්‍යක්ෂ, සද්ධර්ම භාරතීශ්වරාචාර්ය, දක්ෂිණ ලංකාවේ සම්භාවනීයතම ශාසනික ඨානාන්තරද්වය වන දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් සහ මල්වතු මහා විහාරයීය රාජපූජිත මංගලෝපෝෂථාගාරයේ උපාධ්‍යාය පදවියෙන් අර්චිත ශාස්ත්‍රපති පණ්ඩිත මැටරඹ හේමරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සම්භාවනාවට පත් කළ හැකි ය.

පඨන, පාඨන, උද්ග්‍රහණ, ධාරණ යන චතුර්විධ පාණ්ඩිත්‍යයෙන් ද, උචිත තැන උචිත දේ බිනීමේ මිතභාෂණ ගුණයෙන් ද, අනතිමානී ගුණයෙන් ද පිරිපුන් මැටරඹ හේමරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දුටුවන් පැහැදෙන දේහ සම්පත්‍යයෙන් යුක්ත වන සේක. මඳ සිනහවෙන් වත සරසා ගත්, අල්ප කතා ඇති, එනමුත් බාහුල්‍ය වූ කෘත්‍යයෙන් යුතුව මනා පෞරුෂයෙන් මහාවිහාර සම්ප්‍රදායට අනුකූල වූ ශ්‍රමණ සාරුප්‍යයෙහි පිහිටා වැඩ සිටින සේක.

යටගල සිතුල්පව් උභය රාජ මහාවිහාර කේන්ද්‍ර කොට ගත් ස්වකීය ආචාර්ය ප්‍රාචාර්ය පරපුරට අනන්‍ය වූ සුවිශේෂී ලෝක ශාසනික වගකීම් සමුදාය නොකඩ කොට පවත්වාගෙන යමින් එකී සුවිශේෂී කාර්යභාරයෙහි අනාගත ස්ථායීත්වය වෙනුවෙන් ද කැප වන සේක.

හික්මවූ ගතක් හා සිතක් ඇති සත්කාරයට ලැදි යාල වනයේ අලි මුව ගෝණාදි වන සතුනට පවා ලැදිව සලකන නාහිමිපාණන් වහන්සේ තුළ කරුණා, මෛත්‍රී ගුණය කෙතරම් පිරී තිබුණේ ද යන්න ඇසුරු කළ බොහෝ දෙනා දනිති.

තම සුඛ විහරණය පසෙකලා සුවහසක් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා හා සසුන් කෙත එළිය කිරීමට කළ මෙහෙවර මුලු මහත් ජාතියේ ම ගෞරවය ලැබීමට හේතු වී ඇතුවා සේ ම ප්‍රශංසනීය වෙති. පදවිවල ගෞරවය සහ ක්‍රියා ශක්තිය ඇතිවන්නේ ඊට සුදුසුකම් ඇති අය පත්වීමෙන් ය. ලද පදවි හා දැරූ, දරන තනතුරුවලට නාහිමිපාණන් වහන්සේ සුදුසු බව ක්‍රියාවෙන් ම ඔප්පු කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, සිතුල්පව්ව මඟුල් මහාවිහාර ප්‍රතිසංස්කරණ දායක සභාවේ සභාපති, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, එම දායක සභාවේ අනුශාසක අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා, අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමා, හිටපු අධ්‍යාපන අමාත්‍ය රිචඩ් පතිරණ මැතිතුමා ඇතුළු දායක කාරකාදීන්ගේ උපකාර මත යටගල රාජමහා විහාරය සිතුල්පව්ව විහාර ප්‍රමුඛ තදනුබද්ධ අෂ්ට මහා විහාරස්ථානයන්හි අභිවෘද්ධිය පිණිස ඉටු කළ මෙහෙවර අමිල වෙයි. ග්‍රන්ථ කර්තෘ හිමිනමක සහ විදේශ ධර්ම ප්‍රචාරයට යොමු වූ හිමිනමක වශයෙන් ද නාහිමිපාණන් වහන්සේ සුවිශාල මෙහෙවරක් සිදු කරන ලද බව අවිවාදිත ය.

භද්‍ර යෞවන වියේ දී ම ස්වකීය ආචාර්යයන් වහන්සේ නමක වූ වත්තේහේනේ පියරතන මාහිමිපාණන් වහන්සේ හදිසියේ අපවත් වූ අවස්ථාවේ දී හෙට්ඨාචල පරිවේණාධිපති පදවිය භාර ගැනීමට සිදු වීමත්, එසේම ස්වකීය සද්ධිවිහාරික උණවටුණේ රතනජෝති මාහිමිපාණන් වහන්සේගේ හදිසි

අපවත් වීමෙන් පසු සිතුල්පව්ව රාජමහා විහාරයෙහි නිත්‍යවාසී ව වැඩ හිඳීමින් සියලු කටයුතු මෙහෙයවීමට ලැබීම ආදී අභියෝග සියල්ල සාර්ථක ව කලමණාකරණය කරමින් නාහිමිපාණන් වහන්සේ විදහා පෑ ශක්‍යතාව සුවිශේෂී වෙයි.

පරිවේණාචාර්යයන් වහන්සේ නමක, පරිවේණාධිපතීන් වහන්සේ නමක, පරිවේණාධ්‍යක්ෂයන් වහන්සේ නමක ලෙසින් අඩසිය වසක් ඉක්මවූ අධ්‍යාපන සේවාවෙහි නිමග්නවැ එමතු නොව අෂ්ටමහා විහාර කේන්ද්‍ර කොට ගත් ධර්ම විද්‍යාලයන් ඔස්සේ ද ස්වකීය පාණ්ඩිත්‍යය මතු පරපුරෙහි අභිවෘද්ධිය පිණිස යොදවනු ලබන නාහිමිපාණෝ ජාතික සහ ජාත්‍යන්තර තලයේ සමාජ සේවා කටයුතු සඳහා ද දායකත්වය ලබා දෙන සේක.

ධර්මදේශකයකු සහ සරභඤ්ඤ දේශකයකු වශයෙන් තුරුණු වියෙහි දී පෘථුලත්වයට පැමිණ සිටි නාහිමිපාණෝ අක්මීමන ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලය සහ විහාරාධිපති සංගමය, ගාලු දිස්ත්‍රික් පිරුවන් කෘත්‍යාධිකාරී සහ පරිවේණාධිපති සංගමය, හම්බන්තොට දිස්ත්‍රික් විහාරාධිපති සංගමය, සෙනරත් පරණවිතාන පදනම ඇතුළු සංවිධානවල සභාපති, ලේඛකාධිකාරී තනතුරු හොබවන ලදහ.

මල්වතු මහාවිහාරයට අයත් පහතරට අතිසම්භාව්‍ය කැටගොඩ සඟ පරපුරෙහි චිරරාත්‍රඥ තෙර නමක වශයෙන් සම්මානනීයත්වයට පත් මැටරඹ හේමරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ 2009 වර්ෂයේ දී සද්ධර්ම කීර්ති ශ්‍රී රතනසාර නාමෝපලක්ෂිත ව දක්ෂිණ ලංකාවේ උපප්‍රධාන සංඝ නායක ධූරයෙන් පුද ලදහ.

මෙලෙස ගෘහස්ථ ප්‍රව්‍රජිත චිත්තාරාධනය ලබමින් උභය ලෝක ශාසනික අර්ථ චර්යාවෙහි පිළිපන් බැවින් ප්‍රසාදයට පත් මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති ශ්‍රීමත් මහානායක ස්වාමින්ද්‍ර වරප්‍රමුඛ සානුනායකා දී විංශත් වර්ගික කාරක මහා සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් 2020 වර්ෂයේ දී සද්ධර්ම කීර්ති ශ්‍රී වාගීශ්වර රතනසාර නාම සම්මුති සහිතව තෙල දක්වන ලද සම්භාවනීය ශාසනික ඨානාන්තරද්වයෙන් සම්මානිත සේක.

අතිගරු ජනාධිපතිතුමන් විසින් පත් කළ එතුමන්ගේ උපදේශක සභාවේ සභික හිමිනමක ලෙස ද, ගරු අග්‍රාමාත්‍යතුමන් විසින් පත් කළ පුරාවිද්‍යා උපදේශක සභාවේ සාමාජික හිමිනමක ලෙසද කටයුතු කරන ජන්මයෙන් අසූ වයස් අභිමුඛයෙහි වැඩ සිටින අතිපූජ්‍ය මැටරඹ හේමරතන නාහිමිපාණන් වහන්සේට ශත වර්ෂාධික කාලයක් ලෝක ශාසනික සංග්‍රහය පිණිස ආයු ආරෝග්‍යාදී සම්පත් සකලාභිවෘද්ධි සාධනය වේවා’ යි ආශිර්වාද කොට සිටිමු.

ඇසළ පුර පසළොස්වක

ජුලි 23 සිකුරාදා පූර්වභාග 10.43 පසළොස්වක ලබා 24 සෙනසුරාදා පූර්වභාග 08.06 ගෙවේ.
 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 23

Second Quarterඅව අටවක

ජූලි 31  

Full Moonඅමාවක

අගෝස්තු 08

First Quarterපුර අටවක

අගෝස්තු 15

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]