[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පරාර්ථය වෙනුවෙන් ආත්මාර්ථය අත්නොහරින්න

පරාර්ථය වෙනුවෙන් ආත්මාර්ථය අත්නොහරින්න

ආත්මාර්ථය නොසලකා පූර්ණකාලීන ව පරාර්ථය වෙනුවෙන් කැපවුණු ඇතැම් පුද්ගලයන්ගේ ජිවිතයේ අවසාන භාගය දුක්ඛදායක වූ අවස්ථා කොතෙකුත් දක්නට ලැබේ.

මිනිසා සමාජ සත්වයෙකි. සමාජය යනු මිනිසුන්ගේ එකතුවකි. සමාජයෙන් තොරව මිනිසාගේ පැවැත්ම අර්ථවත් නොවේ. සමාජයේ සාමාජිකයකු වශයෙන් සැම කෙනෙකුම ඔවුනොවුන් හා ඉටුකළ යුතු යුතුකම් හා වගකීම්වලින් බැඳී සිටිති.

එම යුතුකම් හා වගකීම් ඉටුකිරීම හා නොකිරීම අනුව අන්තර්පුද්ගල සම්බන්ධතාවල පැවැත්ම තීරණය වේ. බොහෝ දෙනකු තමා විසින් අන්‍යයන් උදෙසා ඉටුකළ යුතු විවිධ වගකීම් හා යුතුකම් ඉටුකිරීමෙහිලා තත්පර ව සිටිති. ඇතැමෙක් පූර්ණකාලීන ව අන්‍යයන් උදෙසා සේවය කිරීමට සූදානම් ව සිටිති. පරාර්ථය උසස් යැයි සම්මත වුවද ආත්මාර්ථය නොසලකා අන්‍යයන්ට සේවය කිරීම බුදුරදුන්ගේ ඇගයුමට ලක් වූවක් නොවේ.

මෙය ධම්මපදයේ අත්තවග්ගයේ දහවන ගාථාවෙන් පැහැදිලි වේ. එහි දැක්වෙන පරිදි “අන්‍යයන්ගේ වැඩ නිසා තමන්ගේ වැඩ අත් නොහළ යුතුයි. තමන්ගේ වැඩ කවරේදැයි මැනවින් දැනගෙන එම වැඩවල නිරත විය යුතුයි”. මෙම බුද්ධාවවාදයට අනුව අන්‍යයන්ගේ කාර්ය කටයුතු කෙරෙහි පමණක් සැලකිලිමත් වී ඒ සියල්ල නොපිරිහෙලා ඉටු කරන පුද්ගලයාට අත්මාර්ථය උදෙසා කළ යුතු සියල්ල අතපසු වෙයි. එබැවින් බුදුරදුන් දේශනා කළේ පරාර්ථය උදෙසා ආත්මාර්ථය අත්නොහළ යුතුබවයි. එසේම ආත්මාර්ථය කුමක්දැයි මැනවින් වටහාගෙන එය සාක්‍ෂාත් කරගැනීම උදෙසා කැපවිය යුතුබව (සදත්ථපසුතො සියා) තථාගතයන් වහන්සේ දේශනා කළහ. ධම්මපදයේ අත්තවග්ගයේ දැක්වෙන බොහෝ ගාථාවලින් සැපයෙන උපදේශය වන්නේ ආත්මාර්ථ සාධනයයි.

ගිහි වුව ද, පැවිදි වුව ද සැම කෙනෙකුට ම ඔවුනොවුන් විසින් තමා වෙනුවෙන් කළ යුතු කාර්ය කටයුතු රැසක් තිබේ. පැවිද්දාගේ මූලික අරමුණ කඩිනමින් විමුක්තිය සාක්‍ෂාත් කිරීම ය. මෙය බුද්ධ දේශනාවල මැනවින් අවධාරණය කොට තිබේ. ආධ්‍යාත්මික විමුක්තිය උදෙසා පැවිදිවන තැනැත්තා තමාගේ සම්පූර්ණ කාලය අන්‍යයන්ගේ කටයුතු වෙනුවෙන්ම ගතකිරීම එක් අතකින් තම ආත්මාර්ථය අමතකොට දැමීමකි. නැතහොත් තමාගේ මූලික අරමුණෙන් බැහැර වීමකි.

එසේම භික්‍ෂුව සැම විටම අන්‍යයන් වෙනුවෙන් ම තම කාලය හා ශ්‍රමය වෙන්කළ යුතුය යන සාවද්‍ය ආකල්පයක් බොහෝ දෙනකු අතර පවතී. එහෙත් බුද්ධ අවවාදය අනුව ආත්මාර්ථය මුළුමනින් ම අමතක කොට පරාර්ථය වෙනුවෙන් පූර්ණ කාලීනව කැප වීම ප්‍රඥාගෝචර වූවක් නොවේ. සමාජ විමුක්තිය අර්ථවත් වන්නේ එයට සමගාමී ව පුද්ගල විමුක්තියත් අර්ථවත් වන්නේ නම් පමණි. මඩ ගොහොරුවක එරී සිටින අයකුට එසේ මඩෙහි එරී සිටින තවත් අයෙකු එයින් ගොඩගත නොහැකි යැයි බුදුරදුන් සල්ලේඛ සූත්‍රය යටතේ දේශනාකොට වදාළේ එබැවිනි.

පරාර්ථය යහපත් දෙයක් වුව ද එහි සීමා පවතින බව මෙම බුද්ධානුශාසනයෙන් පැහැදිලි වේ. එසේම මෙහිදි ආත්මාර්ථය යන්නෙන් අදහස් කෙරෙන්නේ ආධ්‍යාත්මික මෙන්ම භෞතික වශයෙන් ද අත්පත් කරගන්නා සමෘද්ධිය හා අභිවෘද්ධියයි. වෙනත් බුද්ධ දේශනාවල උභයලෝක විජය හා ද්විචක්ඛු (ඇස් දෙක) යනුවෙන් විස්තර කෙරෙන්නේ මෙම උභයාර්ථයයි.

පූර්ණ කාලීනව ආධ්‍යාත්මික විමුක්තිය පිණිස කැපවන පැවිද්දකුට මෙන්ම අතිශය සංකීර්ණ ගිහි ජීවිතයක් ගතකරන ගිහියකුට ද ඉහත උපදේශය බෙහෙවින් අදාළ වේ. ඇතැම් ගිහි පුද්ගලයන් තමා සහ තම පවුලේ සමාජිකයන්ගේ භෞතික දියුණුව මුළුමණින් ම අමතකකොට පූර්ණ කාලීනව සමාජ විමුක්තිය උදෙසාම කැපවන අයුරු දක්නට ලැබේ. එහෙත් එය නිවැරදි නොවන බව පසක් වන්නේ ඔවුන් යම් දුක්ඛදායක තත්වයකට පත් වූ විටය.

ආත්මාර්ථය නොසලකා පූර්ණකාලීන ව පරාර්ථය වෙනුවෙන් කැපවුණු ඇතැම් පුද්ගලයන්ගේ ජිවිතයේ අවසාන භාගය දුක්ඛදායක වූ අවස්ථා කොතෙකුත් දක්නට ලැබේ. ගිහියකු යනු අතිශය සංකීර්ණ වගකීම්වලින් බැඳී පවතින්නෙකි. එවැන්නෙකු තමාගේ මෙන්ම තම සමීපතමයන්ගේ අවශ්‍යතා මෙන්ම අභිවෘද්ධිය අමතකකොට කටයුතු කිරීම ආත්මාර්ථය නොසලකා හැරීමකි. සමාජ විමුක්තිය උදෙසා කැපවනතාක් පුද්ගලයා වටා ඇති සමාජ සම්බන්ධතා ජාලය පුළුල් වුව ද එය ක්‍රමයෙන් නතරවන විට සමාජ සම්බන්ධතා ජාලය ද ක්‍රමයෙන් අවම වේ. විශ්‍රාම ගැනීමෙන් හෝ සමාජ වගකීම්වලින් නිදහස්වන විට තමාගේ සම්බන්ධතා ජාලය තම බිරිඳ ස්වාමියා හා දරුවන් හෝ පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා වේ. මේ වනාහි සමාජ යථාර්ථයයි. වර්තමාන සංකීර්ණ ජීවන රටාව යටතේ කෙනෙකුට තවත් අයෙකු වෙනුවෙන් කැපවීම අපේක්‍ෂා කළ නොහැකි දෙයකි.

එසේම වර්තමාන පාරිභෝගික සමාජය තුළ මිනිස් ශ්‍රමය මුදලින් අගය කරනු ලබන බව ද සිහි තබාගත යුත්තකි. අතීතයේ මෙන් වර්තමානයේ ශ්‍රමය පරිත්‍යාග කරන්නන් නොමැත. සේවය ලබා ගැනීමට මෙන්ම සේවය ලබාදීමට ද කිසියම් වේතනයක් අපේක්‍ෂා කරනු ලැබේ. නිසරණාධ්‍යාසයෙන් අන්‍යයන් වෙනුවෙන් කැප නොවන සමාජ වාතාවරණයක් යටතේ ආත්මාර්ථය නොසලකා පරාර්ථය උදෙසා මුළුමනින් ම කැපවීම එකඟවිය නොහැකි කරුණකි.

ආත්මාර්ථය වෙනුවෙන් පරාර්ථය අත්හැරීමක් පිළිබඳ බුද්ධ දේශනාවෙන් අවධාරණය නොවන බව ද සිහිපත් කළ යුතුයි. විමුක්තිය අවබෝධ කරගත් බුද්ධ ශ්‍රාවකයෝ මුළුමනින්ම පරාර්ථය වෙනුවෙන් කැපවූහ. එවැනි උතුමන් තුළ ලෞකික අභිමථාර්ථ හෝ අපේක්‍ෂා නොතිබීම එයට හේතුවයි. එහෙත් පුහුදුන් මිනිසාට එය සම්පූර්ණයෙන් ම ආදේශ කළ නොහැකි ය. ඉහත බුද්ධ දේශනාවෙන් ද එය පැහැදිලි වේ. සමාජ විමුක්තිය සඳහා දායක නොවිය යුතුය යන ආකල්පයක් බුද්ධ දේශනාවෙන් ඉදිරිපත් නොවන බව අවධාරණය කළ යුතු ය. එහෙත් සමාජ විමුක්තිය උදෙසා කැපවීමේ සීමා පවතින බව ධම්මපද ගථාවෙන් අවධාරණය වේ.

බුද්ධ වචනය අනුව ආත්මාර්ථය නොසලකා පරාර්ථය වෙනුවෙන් කැපවීම අර්ථවත් නොවන බව නිරවුල් ව වටහා ගැනීම අවශ්‍ය වේ. අනෙක් අතට ආධ්‍යාත්මික හා භෞතික වශයෙන් ස්වාර්ථය මැනවින් සාර්ථක කරගත් තැනැත්තාට වඩාත් අර්ථවත් ලෙස පරාර්ථය උදෙසා කැපවිය හැකි ය. එවැන්නෙකුගේ සිත ආත්මාර්ථකාමී හැඟීම්වලින් මෙහෙයවෙන ඡන්ද, දෝස, භය, මෝහ යන සතර අගති හා සම්බන්ධ ආකල්පවලින් දූෂ්‍ය වී නොමැති හෙයිනි.

එවැන්නකු සමාජ විමුක්තිය උදෙසා කැප වන්නේ ද ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ආදිය අපේක්‍ෂාවෙන් නොවේ. සියල්ල සිදු කරන්නේ නිස්සරණාධ්‍යාසයෙනි. එයට හේතුව ඔහු හෝ ඇය ආධ්‍යාත්මික හා භෞතික වශයෙන් සමෘද්ධිමත් ව සිටින හෙයිනි. එමඟින් ඔවුන්ට ලැබෙන්නේ ආධ්‍යාත්මික තෘප්තිය පමණි.

යම් දිනෙක සමාජ වගකීම් හා කාර්යභාරයෙන් නිදහස් වුව ද, කිසිදු අයුරකින් චිත්ත සන්තාපයක් ඇති නොවන්නේ එමඟින් අත්පත් කරගත හැකි භෞතික අවශ්‍යතාවක් ඔවුන්ට නොතිබුණ හෙයිනි. සමාජ විමුක්තිය උදෙසා කැපවීමේ දී ඔවුන් වටා පැවති විශාල කවය ක්‍රමයෙන් ක්‍ෂය වී ගිය ද තමා සතුව පවතින ආධ්‍යාත්මික හා භෞතික ආරක්‍ෂාව මූලික කරගත් ආත්මාර්ථය විසින් ඔවුන් සන්නද්ධ කොට ශක්තිමත් කර ඇති හෙයිනි.

  ඉල් පුර අටවක 

නොවැම්බර් 21
සෙනසුරාදා අපරභාග 09.48 න් පුර අටවක ලබා 22 ඉරිදා අපරභාර 10.51 න් ගෙවේ.

ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]