[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 24 කොටස: කොටි සංවිධානය පදුමකිත්ති හිමිට අල්ලස් දීමට සැරසෙයි

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 24 කොටස:

කොටි සංවිධානය පදුමකිත්ති හිමිට අල්ලස් දීමට සැරසෙයි

ජේ.ආර්. රජීව් සාම ගිවිසුමෙන් පසුව කොළඹ - යාපනය මාර්ගය විවෘත වූ නමුත් ඕමන්තේ එල්ටීටීඊ මුරපොළෙන් යන එන වාහනවලට හා ගෙන යන භාණ්ඩවලට බදු ගසන්නට විය.

අනුරාධපුරයේ සිට නාගදීපයට සිවුරු පිරිකර හා නාගදීපයේ විස්තර පත්‍රිකා තොගයක් රැගෙන ගිය පදුමකිත්ති හිමියන්ට ද ඕමන්ත එල්ටීටීඊ මුරපොළේ දි රුපියල් 15,000ක බදු මුදලක් ගෙවන ලෙස දැන්වීමෙන් අනතුරුව කෝප වූ උන්වහන්සේ එල්ටීටීඊ කණ්ඩායමට දැඩි සේ දොස් පැවරුවේ මුරපොළ අවට සිටි අය පවා තැති ගන්වමිනි. එයින් එල්ටීටීඊ පිරිස් යම් ආකාරයක නම්‍යශීලීත්වයක් පෑ අතර, උන් වහන්සේ කැටුව ඔවුන්ගේ කාර්යාලයක් වෙත කැඳවා ගෙන ගොස් එහි සිටි නායිකාවකට විස්තර පවසා පදුමකිත්ති හිමියන්ට අසුනක් ද ලබා දුන්නේ ය.

‘‘සාධු, ඉහළින් අපට අණ ලැබිලා තියෙනවා මෙතනින් ගෙනියන හැම බඩුවකටම බදු අය කරන්න කියලා. අය කරන්න ඕන බදුවල ගණන් පවා අපට විස්තර කරල දීලා තියෙන්නෙ. ඒකට අපට කරන්න දෙයක් නැහැ. අපේ නායකයෝ කියන ඒව අපි කරන්න ඕන. එහෙම නොකළොත් අපි හැමෝටම අත් වෙන්නෙ එකම දඬුවමක්‘‘

ඇය කපටිකමක් මවා තමන්ගෙන් කෙසේ හෝ මුදල් ලබා ගන්නට සැරසෙන්නේදැ යි පදුමකිත්ති හිමියන්ට සිතුණි.

‘‘බදු ගහන්න ආණ්ඩුවක් තියෙනවනේ, අනික මේ ආගමික ස්ථානයකට ගෙනියන දේවල්”. බිස්නස් කරන්න නෙමෙයි. තමුසෙලාට සාම ගිවිසුමෙන් බදු ගහන්නත් අවසර දුන්නද? කෝ පෙන්නනවා බලන්න බදු ගහන්න දීපු අවසරය‘‘

පදුමකිත්ති හිමියන් කිසිදු අයුරකින් නැමෙන බවක් පෙනෙන්නට තිබුණේ නැත.

පදුමකිත්ති හිමිගේ තර්ජනාත්මක කතාව හමුවේ යම් ප්‍රමාණයකට නම්‍යශීලී වූ කාන්තාව මදක් කල්පනා කර ‘‘ හරි හරි සාධු මේ බඩුවලට රුපියල් 1000ක් දීල ගෙනියන්නකො‘‘

‘‘සත 5ක් දෙන්නෙ නැහැ. පුළුවන් දෙයක් කරනවා.‘‘ පදුමකිත්ති හිමියන්ගේ කෑගැසීමට ඇය ද තරමක් තැතිගත් බවක් පෙනුණි.

ඒ අතර පසුපසින් පැමිණි තරුණයින්ගෙන් දෙදෙනෙක් කාමරය ඇතුළට පැමිණ ‘‘හරි හරි සාධු අපි යං‘‘ කියමින් පදුමකිත්ති හිමියන් එතැනින් කැටුව යන්නට විය. ඔවුන් පදුමකිත්ති හිමියන් වාහනයට වැඩම කරවා එහි දොර වසා උන් වහන්සේ පිටත් කර හරින ලදී.

නාගදීපයට වැඩම කළ පසුව පදුමකිත්ති හිමියන්ට දැන ගන්නට ලැබුණේ එම තරුණ පිරිස විසින් රුපියල් 1000ක මුදලක් පදුමකිත්ති හිමියන් වෙනුවෙන් ගෙවා ප්‍රශ්නය සමථයකට පත් කර ඇති බවයි.

දින කිහිපයකට පසුව නායක හිමියන්ට මේ බව සැල වී පදුමකිත්ති හිමියන්ගෙන් ඒ ගැන විමසූහ.

‘‘උන්නාන්සෙ, උන්ගෙ මුරකපොලු හරහා මාසෙකට හතර පස් පාරක් එහාට මෙහාට යනවානෙ, ඔය කියන ගාණක් දීල යන්න එන්න. උන් එක්ක රණ්ඩු වෙන්න යන්න එපා. උන්ගෙ හැටි දන්නවනෙ. කොයි වෙලාවෙ ඕවට පලිය මොන විදිහකින් ගන්න බලයි ද දන්නෙ නැහැ. ඕව කොහෙන් කෙළවර වෙයිද දන්නේ නෑ. මීට පස්සෙ එහෙම පැටලෙන්න එපා‘‘

නා හිමියන්ගේ අවවාදය පිළිගත් පදුමකිත්ති හිමියන් එතැනින් පසුව ඔවුන් නියම කරන බදු මුදල් ගෙවා භාණ්ඩ ගෙන එන්නට විය. එසේම මාස කිහිපයකට පසුව ඕමන්තේ හා මුහමාලේ මුරපොළේ සිටින එල්ටීටීඊ සංවිධානයේ පිරිස් ද පදුමකිත්ති හිමියන් හඳුනාගත් අතර, බදු අය කිරීමේ දී යම් සැලකිල්ලක් දක්වන ලදී.

දිනක් ඕමන්තේ මුරපොළේ දී පදුමකිත්ති හිමියන් පැමිණි වාහනය නවත්වා පදුමකිත්ති හිමියන්ට බොහොම ගරු සරු ඇතිව එල්ටීටීඊ පිරිස් කතා කළහ.

‘‘සාධු වඩින්නකො‘‘ ශාසනික ව්‍යවහාරික භාෂාවෙන් ම ඔවුහු කතා කළහ.

පදුමකිත්ති හිමියෝ ද ඔවුන් පැවසූ පරිදි ඔවුන්ගේ කාර්යාලයට වැඩම කළහ. එතැනදී ද උන් වහන්සේට වැඳ නමස්කාර කිරීම පදුමකිත්ති හිමියන්ගේ විමතියට හේතු විය.

‘‘අපි තීරණය කරල තියෙන්නෙ සාධුට මෙතැනින් යන එනකොට ඕනම දෙයක් අරගෙන යන්න දෙන්න. ඒකට අපි සාධුට පාස් එකක් දෙනවා. ඒක පෙන්නපුවහම ඕනම දෙයක් කිසිම බද්දක් ගෙවන්නේ නැතුව ගෙනියන්න පුළුවන්“. ත්‍රස්තවාදියා අරඅදින්නේ කුමකටදැයි පදුමකිත්ති හිමියන්ට එක්වරම නොවැටහුණත් කුමක් හෝ භයානක කාර්යයක් යටි සිතේ තබා ගෙන ඇති බව උන් වහන්සේට වැටහුණි. එහෙත් ඒ බව නොපෙන්වූ පදුමකිත්ති හිමියෝ සතුටු සිනහවක් මවා පෑහ.

‘‘ඒක හොඳයි, එතකොට උතුර දකුණ කියල වෙනසක් නැහැ, අපි හැමෝට ම එකට ඉන්න පුළුවන්‘‘. පදුමකිත්ති හිමියෝ ද කපටි බසින්ම පිළිතුරු දුන්හ.

සිනාසී එය අනුමත කළ එල්ටීටීඊ නායකයෙක් උන් වහන්සේ සමීපයට පුටුවක් ඇද ගත්තේය.

‘‘හැබැයි සාධු අපිට පොඩි උදවුවක් කරන්න ඕන.‘‘ රහසින් නොවුණත් එක් අයෙක් සෙමෙන් පැවසුවේ ය.

පදුමකිත්ති හිමියෝ නිහඬ ව එයට සවන් යොමු කළහ.

‘‘ඔබ වහන්සේගේ පන්සලට එන ආමි එකෙයි පොලිසියෙයි...... තව නේවි එකේ අයගේ පින්තූර, ඉන්න තැන් එහෙම අපිට ලබා දෙන්න ඕන.. අපි සාධුව කවදාවත් චෙක් කරන්නෙ නැහැ. අර පේනවනෙ රතු කුරුස වාහනයක් යනවා. කිසිම චෙක් එකක් නැහැ. සාධුටත් ඒ වගේ තමයි’ අපි අපේ වීඅයිපී පාස් එකක් දෙනවා යැයි කියමින් තරමක් රතු පැහැති කාඩ්බෝඩ් කැබැල්ලක් ද පෙන්වී ය. එහි දකුණු පැත්තේ අග කොටි සංවිධානයේ සලකුණක් ද විය.

‘‘පන්සලට යන එන ආමි එකේ අය කවුද කියන්න මම දන්නේ නැහැ‘‘ පදුමකිත්ති හිමියෝ පැවසූහ.

‘‘සාධු ඔහොම කිව්වාට සාධු දන්නවනේ ඒ අය ගැන, මම කිව්වනේ අපි සාධුට සලකන හැටි. අනිත් එක අපිට සල්ලිත් දෙන්න පුළුවන්‘‘ තවත් අයෙක් සිටගෙන ම පැවසුවේ ය.

‘‘මම කිව්වනේ ඒ අය මම අඳුනන්නේ නැහැ, මම එයාලත් එක්ක සම්බන්ධයක් නැහැ‘‘ පදුමකිත්ති හිමියෝ යළිත් පැවසූහ.

අසුන් ගෙන සිටි එල්ටීටීඊ නායකයා එය අසා සිනහවෙමින් නැඟී සිටියේ ය. ලාච්චුවක් ඇර එයින් සේයාරූ කිහිපයක් ගෙන ඒවා පදුමකිත්ති හිමියන් අත තැබුවේ ය. ඒ සියලු ඡායාරූපවල පදුමකිත්ති හිමියන් ද සිටි අතර, උන් වහන්සේ සමඟ ඉතා කුළුපගව කතා කරමින් සිටි යුද හමුදාවේ හා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ම විය. පදුමකිත්ති හිමියන්ට තරු විසිවුණා යැයි කිවහොත් එය එක්තරා අතකින් නිවැරැදි ය. එහෙත් උන් වහන්සේ ඒ බවක් නොපෙන්වූහ.

‘‘සාධු දැන් මොකද කියන්නෙ, දන්නෙ නැහැයි කියපු අය එක්ක නේද මේ එකට ඉඳගෙන පින්තූර අරගෙන තියෙන්නෙ. ‘‘ එක් එල්ටීටීඊ සාමාජිකයෙක් සිනාසෙමින් ඇසුවේ ය.

‘‘මං මොනව කියන්නද? මේ අය විතරක් නෙමෙයි කොළඹ පැත්තේ ගොඩක් අය පන්සලට ඇවිත් පින්තූර ගන්නව මාත් එක්ක... ‘‘

එකෙනෙහිම පදුමකිත්ති හිමියන්ට යමක් මතක් විය. උන් වහන්සේ තම ගමන් මල්ලට අත දමා දින පොත එළියට ගෙන එහි තිබූ පින්තූර කිහිපයක් ඔවුනට පෙන්වී ය.

‘‘පේනවද මේවයෙ ඉන්නෙ කවුද කියල, අඳුනනවද මේ අය? පදුමකිත්ති හිමියන් පින්තූර කිහිපයක් ඔවුන් අත තබන ලදී.

‘‘එක පින්තූරෙක ඉන්නෙ වැල්ලවත්තෙ කෝවිලක පූසාරි කෙනෙක් නේද?‘‘ එල්ටීටීඊ සාමාජිකයෙක් විමසුවේ ය.

ඒක තමයි මම කිව්වෙ, එක එක අය ඇවිත් මාත් එක්ක පින්තූර ගන්නව, ඒ අය සිංහල ද, දෙමළ ද, මුස්ලිම්,ද කියන එක මම දන්නේ නැහැ, ආමි එකේද පොලිසියේ ද කවුරුත් මාත් එක්ක පින්තූර ගන්නව මාත් ඉන්නව‘‘

පදුමකිත්ති හිමියන්ගේ පිළිතුරෙන් ඔවුන්ට කට උත්තර නැති විය.

‘‘සාධුට බැරිද ඒ අය ආවහම අපිට විස්තර අරගෙන දෙන්න,‘‘

‘‘මේ කිසිකෙනෙක් තමන්ගෙ නම ගමවත් හරියට කියන්නෙ නැහැ, ඇහුවොත් මොකටද හාමුදුරුවනේ කියල අහනව‘‘ පදුමකිත්ති හිමියෝ තොරතුරු ලබා දීමෙන් වැළකී සිටියහ.

  ඉල් පුර අටවක 

නොවැම්බර් 21
සෙනසුරාදා අපරභාග 09.48 න් පුර අටවක ලබා 22 ඉරිදා අපරභාර 10.51 න් ගෙවේ.

ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]