දෙලොව සනසන
යහපත් වචනය
ශාස්ත්‍රපති, පණ්ඩිත
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක
විතාරන්දෙණියේ
මේධානන්ද හිමි
" යහපත් වචනය හෙවත් සම්මා වාචා යනු මුසාවාදයෙන් පිසුණාවාචයෙන්, පරුෂාවාචයෙන්,
සම්පප්ප්‍රලාපයෙන් වෙන්වීම වේ. සම්මා සංකප්ප සමඟ සතර වැදෑරුම් වාග් දුෂ්චරිතයෙන්
සහමුලින්ම වැළකීම සම්මා වාචා යනුවෙන් දහම තුළ විග්‍රහ කර ඇත."
කායේන සංවරෝ සාධු
සාධු වාචාය සංවරෝ
මනසා සංවරෝ සාධු
සාධු සබ්භත්ත සංවරෝ
බුදුදහමෙහි සඳහන් වන අවසාන මාර්ගඵලය නිවනයි. මේ ලෝකයේ සියලු සත්ත්වයෝ ඉපදෙමින්,
මැරෙමින් නිමාවක් නොදකින සංසාර ගමනක බැඳී සිටිති.
කෙළවරක් නොමැති දුක් සහිත සසර ගමනක යෙදී සිටින සියලු සත්ත්වයෝ එයින් මුදා ගැනීම
පිණිස, අප ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ නිවන නමැති සංකල්පය මේ ලෝකයට වදාළ
සේක. ඒ අනුව කුසලය සහ අකුසලය වශයෙන් පැති දෙකක් පිළිබඳව බුදුදහමෙහි විග්‍රහ වේ.
කුසලය වර්ධනය කරන සත්ත්වයෝ යහපත් ආත්මභාව ලබා ගනිති. ඔවුන් සුගතිගාමී ජීවිත ගත
කරති. අකුසලය වර්ධනය කරන සත්ත්වයෝ සංසාර ගමනෙහි දුක්සහිත ආත්මභාවයන් ලබාගනිති.
කිසියම් සත්ත්ව කොට්ඨාසයක් සුගතියෙහි ඉපදීමටත්, තවත් සත්ත්ව කොට්ඨාසයක් දුගතියෙහි
ඉපදීමටත් හේතු වූ කාරණා බුදුරජාණන් වහන්සේ ලෝක සත්ත්වයා වෙත පතල මහා කරුණාවෙන් වදාළ
සේක. ඒ අනුව සිත නමැති ඉන්ද්‍රියට බුදුදහමෙහි ප්‍රමුඛස්ථානය හිමි වේ. සිත දුර්වල
කරන, සිත ශක්තිමත් කරන ආයතන දෙක කය සහ වචනය වශයෙන් බුද්ධ දේශනාවෙහි විග්‍රහ කර ඇත.
කය සහ වචනය පිරිසුදු වීමට නම්, සිත පිරිසුදු විය යුතු ය. අපිරිසුදු සිත කය සහ වචනය
ද අපවිත්‍ර කරනු ලබයි. එහි අනිටු විපාක ඉතාම දුක්ඛිතව අත්විඳීමට සිදුවනු ඇත. බුද්ධ
දේශනාව තුළ වචනයට ප්‍රබල ස්ථානයක් හිමි වේ. ඇතැම් පුද්ගලයෝ තමාගේ හිත සුව පිණිස
පමණක් නොව, අන්‍යයාගේ හිත සුව පිණිස ද, වචන භාවිත කරති. ඇතැම් පුද්ගලයෝ තමාගේ පටු
පරමාර්ථ මුදුන් පත් කර ගැනීම සඳහා තමාගේ වාසියට පමණක් වචන භාවිත කරති. බුදුරජාණන්
වහන්සේ යම් යම් සූත්‍ර දේශනාවන්හි ද වචනය පිළිබඳව දීර්ඝව දේශනා කර ඇත. බුදුදහමෙහි
ඒකායන මාර්ගය වූ නිවන් මාර්ගය තුළද වචනයෙහි ඇති වැදගත්කම පෙන්වා දුන් සේක. තුන්දොර
පිළිබඳව සඳහන් කරන විටද, සිත, කය, වචනය පිළිබඳව සඳහන් වේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ
දී තුන්වන මාර්ග අංගය බවට පත්ව ඇත්තේ ද වචනයයි.
තත්ත්ව කතමා සම්මා වාචා මුසාවාදා වේරමණී, පිසුණාවාචා වේරමණී, පරුෂාවාචා වේරමණී,
සම්පප්ප්‍රලාපා වේරමණී අයං වුච්චති සම්මා වාචා යනාදී වශයෙන් දම්සක් පැවැතුම් සූත්‍ර
දේශනාව තුළ ද වචනයෙහි ඇති වැදගත්කම පෙන්වා දි ඇත. යහපත් වචනය හෙවත් සම්මා වාචා යනු
මුසාවාදයෙන් පිසුණාවාචයෙන්, පරුෂාවාචයෙන්, සම්ප්‍රප්ප්‍රලාපයෙන් වෙන්වීම වේ. සම්මා
සංකප්ප සමඟ සතර වැදෑරුම් වාග් දුෂ්චරිතයෙන් සහමුලින්ම වැළකීම සම්මා වාචා යනුවෙන්
දහම තුළ විග්‍රහ කර ඇත.
ධම්මපදයේ පළමු සහ දෙවන ගාථා තුළ ද, මෙලොව ජීවිතය පමණක් නොව, සංසාරගත පරලොව
ජීවිතයටත් වචනය ප්‍රබල කර්ම ශක්තියක් එක් කරන බව දැනගත යුතු ය. ‘මනසා චේ පසන්නේන
භාසතීවා කරෝතීවා.’
ප්‍රසන්න මනසක් සහිත පුද්ගලයකු භාවිත කරන යහපත් වචනයෙහි ප්‍රතිවිපාක නම්, තමා අතහැර
නොයන තමා පසුපස ගමන් කරන සෙවනැල්ල සේ සංසාරික වශයෙන් යහපත් විපාකම ලබා දීමයි.
“මනසාචේ පදුට්ඨෙන” කේළම, පරුෂවචනය, හිස් වචනය ආදී වශයෙන් භාවිත වන වචනය අයහපත් නම්,
කරත්තය පසුපස ඇදගෙන යන ගොනකු සේ තමා කතා කළ වචනයෙහි සහ ක්‍රියාවෙහි පාපී බව
බරකරත්තයක් අදින ගොනකු සේ සංසාරය පුරා ඇදගෙන යන බව ධම්මපදයේ යමක වග්ගයේ සඳහන් ව ඇත.
ඉහත සඳහන් පරිදි අයහපත් වචන භාවිත කිරීම සංසාරික වශයෙන් පමණක් නොව, මෙලොවදීත් දුක්
විපාක විඳීමට සිදුවනු ඇත. බොරු කියන පුද්ගලයාට කළ නොහැකි පාපයක් නොමැති බව දහමෙහි
සඳහන් වේ. එනිසා අප කතා කරන වචනයම අපගේ නිර්වාණ මාර්ගය අහුරාලීමට හේතුවක් විය හැකි
ය.
බුදුරජාණන් වහන්සේ සියලු සත්ත්වයා වෙත පතල මහා කරුණාවෙන් ලෝකයට දේශනා කොට වදාළ වූ
වචනය නිවැරැදිව ශ්‍රවණය කළ බොහෝ පිරිස් සතර අපායෙන් මිදී සුගතිගාමී ජීවිත ලබාගත්හ.
ධර්මය මනාව වටහාගත් පිරිස බුද්ධ ශ්‍රාවකයෝ බවට පත් ව නිවන් මාර්ගයට ප්‍රවිෂ්ට වූහ.
බුද්ධ වචනය නිවැරැදිව වටහාගත් පිරිස් වර්තමාන සමාජයෙහිත් සතුටෙන් ජීවත් වෙති.
“සන්තුටිඨි පරමං ධනං” ඔවුන්ගේ පරම ධනය සතුටයි. අප සම්මා සම්බුදු පියාණන් වහන්සේ
ශ්‍රී මුඛයෙන් වදාළ වූ බුද්ධ වචනයට පරිබාහිරව කටයුතු කරන පුද්ගලයෝ සතුව කෙතරම්
ධනස්කන්ධයක් පැවතිය ද, ඔවුන් බොහෝ දුක් සහිත ජීව්ත ගත කරති.
එක්තරා ස්වාමීන් වහන්සේ නමක් පිළිබඳව සඳහන් වන බණ කතාවක වචනයෙහි ප්‍රතිවිපාක
පිළිබඳව සඳහන් ව ඇත. ඒ අනුව එම ස්වාමීන් වහන්සේ ප්‍රසන්න වූ රූප සම්පත්තියකින්
අගතැන්පත් විය. වචනය ඉතාමත්ම මිහිරි විය. උන්වහන්සේගේ ධර්ම දේශනා බොහෝ මිනිසුන්
පි‍්‍රය කළහ. කාලයාගේ ඇවෑමෙන් උන්වහන්සේ බොහෝ සේ පරිස්කාර ලැබූහ. තවත් ස්වාමීන්
වහන්සේ නමක් එබඳු ආකාරයෙන් ධර්ම දේශනා කළහොත් තමනට දායකයන්ගෙන් ලැබෙන ප්‍රතිලාභ
අඩුවේවි යැයි යන අදහසින් උන්වහන්සේ අයහපත් වචනයම දේශනා කළහ. ධර්මය වැඩූ සිතින්
අධර්ම වචන කතා කළ නිසාම උන්වහන්සේගේ සිත අධර්මය වෙත ළඟා විය. එම ස්වාමීන් වහන්සේ
අපවත් වූ පසු ඉතාමත් ලස්සන වූ රන්වන් මාළුවෙක් වශයෙන් උප්පත්තිය ලැබීය. ගංගාවක
ජීවත් වූ මාළුවා මිනිසුන් කණ්ඩායමකට හසුවිය. රන්වන් වූ ලස්සන පැහැයෙන් යුත්
මාළුවෙක් වුවද මුඛය විවෘත කරන සෑම අවස්ථාවකදීම ඉවසාගත නොහැකි දුර්ගන්ධයක් මුඛයෙන්
පිට විය. එම මාළුවා පිළිබඳ පුවත රජ මාලිගාවටද සැළ විය. එම කතා පුවත දැනගත්
බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුවේ පෙර ආත්මයකදී තමා පාවිච්චි කළ වැරැදි වචන
නිසාම දුඟද හමන මුඛයක් සහිතව තිරිසන් ආත්මයක උප්පත්තිය ලැබූ බවය. එබැවින් අසත්‍ය
වැරැදි වචන කතා කරන පුද්ගලයන්ගේ වචන පවා දුගඳ හමනු ඇත.
කිසියම් පුද්ගලයකුගේ ජීවිතය නිවැරැදි මාර්ගයට යොමුකිරීම සඳහා නිවැරැදි වචනය කෙතරම්
ඉවහල් වේද? සත්ති කුම්භ ජාතකයේද ඒ බව සනාථ වේ. එම ජාතකයෙහි සඳහන් වන ආකාරයට එක්තරා
ගිරව් දෙදෙනෙකුගෙන් එක් ගිරවෙකු තාපසාරාමයකටත් අනෙක් ගිරවා හොරු රංචුවකටත් වැටිණ.
සොර රංචුව සමීපයෙහි සිටි ගිරවා අයහපත් වචන කතා කිරීමටත්, තාපසාරාමයෙහි සිටි ගිරවා
යහපත් වචන කතා කිරීමටත් පුරුදු විය. ඒ සඳහා ආශ්‍රය බලපෑ ආකාරය මෙයින් පැහැදිලි වේ.
තමා කතා කරන සෑම අයහපත් වචනයක්, හේතු කොට ගෙන සංසාරගතව දුක් විපාක ලබාදෙයි. තමනට
අවාසියක් වුවද, සත්‍ය වචනයම කතා කිරීමට පුරුදු පුහුණු විය යුතු ය. ඔබට එම
අවස්ථාවෙහි කිසියම් අවාසියක් සිදුවුවද, සත්‍ය වචනය කතා කිරීමෙන්ම සංසාර දුකින්
නිදහස් විය හැකි ය. ඔබ මනුෂ්‍ය ආත්මයක් ලැබුවේ කෙසේද? සීලේන සුග්ගතිං යන්තී මනුෂ්‍ය
ජීවිතයක් ලැබීමට සිල්වත්කම හේතු විය. කය සහ වචනය තුළ සිල්වත්කම ආරක්ෂාවනු ඇත. ඔබ
හොඳ ආත්මයක් ලබා ඇත්තේ සංසාර ගමනෙහි සත්‍ය වචනයම කතා කළ බැවිණි. කය වචනය සංවර වූ
විට සිත සංවර වේ. සිත සංවර වූ පුද්ගලයා මෙලොව පරලොව වශයෙන් දෙලොවම සැනසීමට පත්වේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරම සැනසීම ලැබීමට එය හේතු වේ. එනිසා වචනයෙහි සංවර විය
යුතුය.
- හේමමාලා රන්දුනු |