ඇසළ අමාවක 2020.07.20
ආලෝකය දැකීම
එක් ගුරුවරයෙක් තම ශිෂ්‍යයාට පැවරුමක් දුන්නේ ය. එය සාමාන්‍ය පැවරුමකට වඩා වෙනස්
වූවකි. ගුරුවරයා අත වූයේ කුඩාවට ඉරන ලද කඩදාසි කැබලි කිහිපයකි. ඒවා ශිෂ්‍යයා අතට
දී, එහි ඇත්තේ ලෝක සිතියම බවත්, නැවත ඒවා නිවැරැදි ව සකස්කොට ලෝක සිතියම නිර්මාණය
කර දෙන ලෙසත් ඔහු ශිෂ්‍යාට කීවේ ය. ශිෂ්‍යයා ද ලෝක සිතියම සැකසීමට බොහෝ වේලා උත්සාහ
ගත්තේ ය. එහෙත් එය බොහෝ අසීරු විය. එක් අවස්ථාවක කඩදාසි කැබලි අනෙක් පස හරවා බැලුවේ
ය. මිනිස් සිරුරක කොටස් දුටුවේ ය. ඔහුට අපූරු අදහසක් ඇතිවුණි. ලෝක සිතියම සකසනවා
වෙනුවට ඔහු මිනිස් රුවෙහි හැඩය නිර්මාණය කරන්නට විය. අවසානයේ අපූරු මිනිස් රූපයක්
නිමැවුණේ ය. ඔහු එය අනෙක් පස හරවා බැලුවේ ය. එහි වූයේ ලෝක සිතියම ය.
මේ කතාව අපේ සමාජයට දෙන්නේ අපූර්ව පණිවිඩයකි. අනුන්ගේ ම වැරැදි දකිමින් අනුන්
නිවැරැදි කරන්නට යෑම බොහෝ අයගේ පුරුද්ද ය. තවත් ලෙසකින් කියනවා නම්, බොහෝ දෙනා
උත්සාහ ගන්නේ ලෝකය හදන්නට ය. එහෙත්, රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් අන්ධ වූ, ජරා
ජීර්ණ වූ මිනිසුන් හැදීම, සාමාන්‍ය මිනිසකුට නම් සිතන තරම් පහසු නැත. එහෙත් ඊට හොඳ
මගක් ඇත. ඒ, පළමුව තමන් හැදීම ය. තමන් හැදුණු කල ලෝකය ද පහසුවෙන් හැදෙනු ඇත.
අප ජීවත්වන සමාජයේ විවිධ චරිතයෝ වෙති. ඇතැමෙක් නපුරු ය. වෛරී සහගත ය. තණ්හාධික ය.
අකෘතඥ ය. තමන්ට වඩා බලවතෙක් නැතැයි අනුන් හෙළා දකින්නෝ ය.
තවත් කෙනෙක් කාරුණික ය. ඉවසිලිවන්ත ය. තමන්ගේ අඩුපාඩු පිළිගනිති. අවංක ය. අනුන්
හෙළා නොදකිති. සත් පුරුෂ එවැන්නෝ අන්‍යයන්ට ද සහනසීලි ය. පි‍්‍රයමනාප ය.
මේ කවර චරිත සමඟ වුවද ගනු දෙනු කරන්නට අපට සිදුවේ. කළකිරීම් ඇති වන්නේ අයහපත්
අයගෙන් තමන්ට සිදුවන අකටයුතුකම් නිසා ය. එසේ නැතිනම් සමාජයට වන අකටයුතුකම් දකින
නිසා ය. එහෙත් අනුන් නිවැරැදි කිරීම පහසුවෙන් කළ නොහැකි ය. අප කළ යුතු ඒ අයහපත්
මිනිසුන් අතර, ගුණගරුක මිනිසුන් ලෙස අපගේ දිවි පැවැත්ම හසුරුවා ගැනීම ය. අඳුර
දකින්නන් අතර ආලෝකය දකින්නන් වීමට ය.
අපගේ පරමාදර්ශය වන්නේ තථාගත බුදුපියාණන් වහන්සේ ය. උන්වහන්සේ අපට මා හැඟි ජීවන
ප්‍රතිපදාවක් හඳුන්වා දුන්හ. බෞද්ධයෙකුට ඒ මඟ ගමන් කිරීම අපහසු නොවන්නේ ය.
උන්වහන්සේ ගත කළේ පද්මාකර ජීවිතයකි. පද්ම නම් නෙළුම් ය. ගොහොරු මඬ ගොඩක පිපෙන
නෙළුම, ඒ ගොහොරු බිමෙන්ම පෝෂිත වී, එහෙත් ඒ අපවිත්‍ර දෑ නොතවරාගෙන උඩට මතු වී,
ප්‍රසන්න ව, සුවඳවත් ව විකසිත වන අයුරු මොන තරම් අපූරු ද? අපේ බුදුරජාණන් වහන්සේ
එවැනි ය. උන්වහන්සේ කෙලෙස් මලින් පිරි දූෂිත මිනිසුන් අතර ම හිඳිමින් ඒ මඩ වතුරෙහි
නොගිලුණු සේක. කෙලෙස් මලින් තොරව, මඩ සහිත ජලයේ නොතැවරී ඉහළට මතු වී විකසිත වූ
නෙළුමක් සේ ලෝකයෙහි බැබළුණහ. ලෝකය සුවඳවත් කළහ. බලා හැදෙන්නට ඒ ආදර්ශය මොන තරම්
වටිනවාද? වෛරයෙන් වෛරයට, ද්වේෂයෙන් ද්වේෂයට යන සමාජයේ බොහෝ දෙනා ගඟ පහළට ගලන්නා සේ
අනුසෝතගාමී ගමනක යති. එහෙත් බුදු හිමියෝ අපට ඉගැන්වූයේ පටිසෝතගාමී වීමට ය. එනම්
උඩුගං බලා යාමට ය. ඒ ගමන තුළ නිර්මාණය වනුයේ ගුණවත්, නැණවත් සංවේදී මිනිසෙකි. එසේ
තමන් නිවැරැදිවූ කල ලෝකය ද නිසැකව ම නිවැරැදි වනු ඇත. |