මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ
ධාතූන් වහන්සේ වැඩ සිටින
ගලපාත රාජමහා විහාරය
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ ශ්‍රී ශරීරය උතුරු ඉන්දියාවේ කුක්කුටසම්පාත පර්වතය
තුළ තැන්පත් ව තිබුණත්, උන්වහන්සේගේ ධාතූන් වහන්සේ නමක් ලක්දිව තුළ වැඩ සිටිති.
නමුත් මෙය බොහෝ දෙනා නො දන්නා කරුණකි. මහා කාශ්‍යප ධාතූන් වහන්සේ වැඩ සිටින්නේ
ඓතිහාසික බෙන්තර ගලපාත රාජමහා විහාරයේ ය. මේ බව පාලි චූලවංශය, පූජාවලිය යන
ග්‍රන්ථයන්හි පැහැදිලි ව සඳහන් ව ඇත.
මෙතැන් සිට මහා කාශ්‍යප ධාතූන් වහන්සේ වැඩ සිටින ඓතිහාසික බෙන්තර ගලපාත රාජමහා
විහාරය ගැන දැන ගත යුතු මූලික කරුණු ස්වල්පයක් දක්වනු ලැබේ.
බෙන්තර ගලපාත රාජමහා විහාරය
ඓතිහාසික බෙන්තර ගලපාත රාජමහා විහාරය දකුණු පළාතට අයත් පුරාණ රාජමහා විහාරයකි.
දේවානම් පියතිස්ස රජු සමයේ තනන්නට ඇතැයි සැලකෙන මේ මහා විහාරය මහ රහතන් වහන්සේලා
වැඩ සිටි ශුද්ධ භූමියකි. ගලපාත විහාරය, ගලතුරුමූලය, සේලාන්තර මූලය, බෙන්තොට විහාරය
යන නම්වලින් ද හඳුන්වනු ලැබේ.
මහා කාශ්‍යප ධාතූන්ව දඹදිවින් ලක්දිවට වැඩම කරවා ඇත්තේ අනුරාධපුර සමයේ දී ය. පසුව
අනුරාධපුරයේ වැඩ සිටි එක් මහ රහතන් වහන්සේ නමක් මහා කාශ්‍යප ධාතූන්ව ගෙන දකුණු
පළාතේ බෙන්තර ගලපාත රාජමහා විහාරයට පැමිණ ධාතූන්ව එම විහාරයේ තැන්පත් කර ඇත. මේ බව
දැන ගත් දුටුගැමුණු මහ රජතුමා තම සොහොයුරා වූ සද්ධාතිස්ස කුමරු බෙන්තර ගලපාත
විහාරයට යවා එම විහාරය සියලු අංගයන්ගෙන් සපිරි මහා විහාරයක් බවට පත්කරවා ඇත.
පොළොන්නරු යුගයේ රජ කළ මහා පරාක්‍රමබාහු, කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල යන රජවරුන් පවා
මහා කාශ්‍යප ධාතූන් වහන්සේට බොහෝ සත්කාර පවත්වා ගලපාත විහාරයේ දියුණුව සඳහා නොයෙක්
ප්‍රදානයන් කර ඇත.
දුටුගැමුණු රජ සමයේ සිට දඹදෙනි යුගයේ රජ කළ දෙවැනි පරාක්‍රමබාහු රජ සමය දක්වා මහා
කාශ්‍යප ධාතූන් වහන්සේ වැඩ සිටියේ බෙන්තර ගලපාත විහාරයේ ධාතූන් මැදුරෙහි ය. පසුව
දෙවැනි පරාක්‍රමබාහු රජතුමා විහාරයට පැමිණි අවස්ථාවේ දී වැඩි ආරක්ෂාව සඳහා මහා
කාශ්‍යප ධාතූන් වහන්සේ ගලපාත විහාරයේ ස්තූපය තුළ නිදන් කර ඇත. මේ අවස්ථාව දැක්වෙන
සේ අඳින ලද ඉතා අලංකාර විශාල සිතුවමක් ගලපාත රාජමහා විහාරයේ ආනන්ද ප්‍රතිමාලයේ
දක්නට ඇත. මෙය මෑත කාලයේ දී අඳින ලද සිතුවමකි.
රජතුමාගේ වන්දනාව
කුරුණෑගල යුගයේ රජකම් කළ සතරවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා ද මහා කාශ්‍යප ධාතූන්
වහන්සේට බොහෝ පුද සත්කාර පවත්වා ඇත. මේ රජතුමා සර්වඥ යටි වම් ධාතූන් වහන්සේට පුද
සත්කාර කළ යුතු ආකාරය දක්වමින් ඒ සඳහා වෙනම නීති මාලාවක් ද සම්පාදනය කර තිබේ. එහි
සර්වඥ ධාතූන් වහන්සේට පමණක් නොව මහා කාශ්‍යප ධාතූන් වහන්සේට ද පුද සත්කාර කළ යුතු
ආකාරය පැහැදිලිව දක්වා තිබේ. මේ විස්තර ධාතූන් සිරිතේ අවසාන පරිච්ඡේදය කියැවීමෙන්
දත හැක.
මෙසේ ලක්වැසි සිංහල මහ රජදරුවන් ප්‍රධාන සැදැහැති බෞද්ධ ජනයාගේ වන්දනාවටත්, මහත් වූ
ගෞරවාදරයටත් පත් මහා කාශ්‍යප ධාතූන් වහන්සේ වැඩ සිටින බෙන්තර ගලපාත රාජමහා විහාරයට
පෘතුගීසීන්ගෙන් ප්‍රහාරයක් එල්ල වී ඇත. එහිදී ඔවුහු විහාරයට පැන එහි තිබූ වටිනා
භාණ්ඩ සියල්ල ම පැහැරගෙන මහා විනාශයක් සිදු කළහ. මේ නිසා විහාරය සතු පුරාවස්තු
බොහොමයක් විනාශ විය.
නමුත් ඔවුන් අතින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ධාතූන්ව වැඩ සිටින මහා ස්තූපයට
කිසිම හානියක් සිදු වී නැත. සැබැවින් ම මෙය ආශ්චර්යයකි. ස්තූපය පිහිටා ඇත්තේ රහසිගත
තැනක නොව සෑම දෙනාට ම පැහැදිලිව පෙනෙන තරමක් උස් තැනක ය. විහාරයට පිවිසෙන විටම
ස්තූපය හොඳින් පෙනෙයි. එසේ තිබියදීත් මේ ස්තූපය විනාශ නො වූයේ මහා කාශ්‍යප ධාතූන්
වහන්සේගේ ප්‍රාතිහාර්ය බලයෙන් බව බොහෝ දෙනාගේ විශ්වාසය යි.
ධාතූන් වහන්සේ වන්දනාවට
මෙයට වසර දෙසීයකට පමණ පෙර ස්තූපය පිළිසකර කිරීමේ දී මහා කාශ්‍යප ධාතූන් වහන්සේ
ස්තූපයෙන් පිටතට වැඩම කරවා පුරා දින සතක් මහජනයාට ප්‍රදර්ශනය කර ස්තූපය පිළිසකර කළ
පසු නැවතත් ධාතූන් වහන්සේ ස්තූපය තුළම නිදන් කර ඇත.
ඓතිහාසික බෙන්තර ගලපාත රාජමහා විහාරය බොහෝ පුරාවස්තු සහිත ශුද්ධ භූමියකි. විහාර
භූමියේ තැනින් තැන ගල්කණු, මුරගල් ආදිය දක්නට ඇති අතර, ස්තූපය සමීපයේ පැරණි
කොරවක්ගල් දෙකක් දක්නට ඇත. එය සරල ය. චාම් ය. අතීතයේ මහා කාශ්‍යප ධාතූන් වහන්සේ
තැන්පත් කර තිබූ ධාතූන් මැදුරේ නටබුන් විහාර භූමියේ තවමත් පවතියි. අද එහි දක්නට
ඇත්තේ කුඩා ගල්තලාවකුත්, ගල්කණු කිහිපයකුත් පමණි. පුරාණ ධාතූන් මැදුරේ නටබුන් මේ වන
විට බොහෝ දුරට විනාශ වී ඇත.
ගලපාත විහාරයේ ස්තූපය අසල විශාල බුදුමැදුරු දෙකක් ඇත. ඉන් එක් විහාරයක් හඳුන්වන්නේ
ආනන්ද ප්‍රතිමාලය යනුවෙනි. අනෙක පුරාණ විහාර ගෙය යි. පුරාණ විහාරගෙය ඇතුළු ගර්භය හා
පිටත ගර්භය යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක. ඇතුළු ගර්භයේ දහ අට රියන්
සැතපෙන බුද්ධ ප්‍රතිමාවකි. පිළිමය තනා ඇත්තේ අඟල් 28 ක් තරම් උස් වූ ආසනයක් මත ය.
සිවුරේ රැළි ඉතා සියුම් ලෙස දක්වා ඇත. ඇතුළු ගර්භයේ වම්පස ධ්‍යාන මුද්‍රාවෙන් යුතු
තරමක් විශාල හිඳි බුද්ධ ප්‍රතිමාවකි. සිරස්පත සහිත යි. ඒ පිළිමයේ වම් අත පැත්තේ
කුඩා හිටි බුද්ධ ප්‍රතිමාවකි. එහි දකුණතින් විතර්ක මුද්‍රාව පෙන්නුම් කෙරේ. මේ
පිළිමයට බෙහෙවින්ම සමාන වූ විශාල හිටි බුදු පිළිම හතරක් පිටත ගර්භයේ වම් අත පැත්තේ
ඇත. මේ සියලු ප්‍රතිමා මහනුවර යුගයේ කලා ලක්ෂණ පෙන්වයි.
පැරණි විහාරගෙයි මහනුවර කලා සම්ප්‍රදාය අනුගමනය කළ සිතුවම් මෙන් ම බටහිර කලා ආභාෂය
ලැබ නිර්මාණය කළ සිතුවම් ද දක්නට ඇත. ඇතුළු ගර්භයේ සිවිලිම සම්පූර්ණයෙන් ම නෙළුම්
මල් මෝස්තරවලින් අලංකාර කර ඇත. පිටත ගර්භය අලංකාර මල් මෝස්තර, ලියවැල් රටා ආදියෙන්
විසිතුරු කර ඇත. ඇතුළු ගර්භයට පිවිසීම සඳහා දොරටු දෙකක් ඇති අතර, දොරටු දෙක
විචිත්‍ර මකර තොරණින් සරසා ඇත. මේ විහාරගෙයි ඇති සිතුවම් විනාශ වෙමින් පවතී. පිටත
ගර්භයේ දකුණුපස බිත්තියේ යට ඇති සිතුවම් මේ වන විටත් බොහෝ දුරට විනාශ වී ඇත.
විහාරගෙයි සිතුවම් පමණක් නොව එහි පොළොව ද බොහෝ සෙයින් විනාශ වී ඇත. ඇතැම් ජනේල ද
ගැලවී ඇත. සකස් කිරීමක් නැති නිසා අව්වෙන් ද, වැස්සෙන් ද සිතුවම් විනාශ වෙයි.
කිසිවෙකුගේ අවධානයක් මේ කෙරෙහි යොමු නො වීම දුකට කරුණකි.
ඓතිහාසික උරුමය
පැරණි ප්‍රතිමා ගෘහය සමීපයේ ම වම්පසින් ආනන්ද ප්‍රතිමාලය පිහිටා ඇත. එයද ඉහත
විහාරගෙය මෙන් ම පැරණි ය. නමුත් දැන් ඒ තුළ ඇත්තේ නූතන කලා නිර්මාණයි. විහාරයට
පිවිසෙන විට වම් අත පැත්තේ වෙනම කුටියක් තුළ තනා ඇති විෂ්ණු දේවාලයකි. මේ විහාරගෙය
තුළ ද දහඅට රියන් සැතපෙන බුදු පිළිමයකි. මේ හැරුණු විට විශාල හිඳි පිළිමයක් මෙන් ම,
හිටි පිළිම කිහිපයක් ද වෙයි. ධ්‍යාන මුද්‍රාවෙන් යුතු හිඳි පිළිමය ඉතා අලංකාර
නිර්මාණයකි. මෙහි මෑතක දී අඳින ලද අලංකාර සිතුවම් දක්නට හැක. දෙවැනි පරාක්‍රමබාහු
රජු ගලපාත විහාරයට පැමිණ මහා කාශ්‍යප ධාතූන් වහන්සේ වන්දනා කර පුද පූජා පැවැත් වූ
අයුරුත් ධාතූන් වහන්සේ ස්තූපය තුළ තැන්පත් කළ අයුරුත්, ඉතා විසිතුරු ලෙසින් ඇඳ ඇත.
එසේම එහි ගලපාත විහාරයේ දියුණුවට උපකාරී වූ මහා කාශ්‍යප ධාතූන් වහන්සේට පුද සත්කාර
කළ ශ්‍රේෂ්ඨ සිංහල රජ දරුවන්ගේ සිතුවම් ද ඇඳ ඇත. මේ විහාරගෙයි අලංකාර මෛත්‍රී බෝසත්
රුවක් ද තනා ඇතත. සමාධි පිළිමය සමීපයේ වෙන් කරන ලද කුටියක තරමක් විශාල ස්තූපයකි.
ස්තූපය තුළ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු නිදන් කර ඇත. මුළු ස්තූපය ම වර්ණ
ගන්වා තිබීම සුවිශේෂී වෙයි.
ගලපාත විහාරය පිටුපස රහස් උමඟක් දක්නට ලැබේ. මේ උමඟ කුමක්ද’යි කියා මෙතෙක්
පැහැදිලිව හඳුනාගෙන නැත. ගලපාත විහාරය අවට වනවාස විහාරය, බෙන් විහාරය, බෝධිමළුව
විහාරය, උඩකොටුව විහාරය යනුවෙන් මහා විහාර හතරකි. අතීතයේ දී මේ විහාර සියල්ල ම
ගලපාත විහාරයේ ම කොටස් වශයෙන් පැවතී ඇත.
දෙවැනි පරාක්‍රමබාහු මහ රජතුමා මහා කාශ්‍යප ධාතූන් වහන්සේ වන්දනා කිරීමට ගලපාත
විහාරයට පැමිණි විට විහාරය සමීපයේ එක් වත්තක තාවකාලිකව වාසල තනාගෙන සිටි බව සඳහන්
වෙයි. ඒ වත්ත පසුව ‘වාසලවත්ත’ යනුවෙන් ප්‍රකට විය. ඒ වත්ත ගලපාත විහාරයට නුදුරින්
දක්නට ඇත. අදත් ඒ වත්ත ‘වාසලවත්ත’ යනුවෙන් හඳුන්වනු ලැබේ.
ගයාන් චානුක විදානපතිරණ |