අළු යට සැඟවුණ ගිනි පුපුර
සැවත්නුවර හිටියා වේදේහිකා කියලා කාන්තාවක්. ඇය පිළිබඳ ව කීර්තිරාවයක් මුළු නගරය
පුරා පැතිරි ගොස් තිබුණා. වේදේහිකා හරිම කීකරු යි. ඉතා යටහත් පැවතුම් ඇති, උපශාන්ත
තැනැත්තියක් කියලා. මේ වේදේහිකාට කාළී නමින් දාසියක් හිටියා. ඈ හරිම දක්ෂයි.
කම්මැලි නෑ. ගෙදර හැම දෙයක්ම හොයල බලල කරනවා.
දවසක් මේ කාළි දාසියට සිතුණා මෙහෙම.
“මගේ ස්වාමි දියණිය ගැන මේ විදිහට කීර්ති රාවයක් පැතිරී තිබෙනවා. වේදේහිකා
ගෘහපතිනිය ගොඩාක් කීකරුයි. යටහත් පැවතුම්වලින් යුක්තයි. උපශාන්තයි කියලා. “ඇත්තෙන්ම
මගේ ස්වාමි දියණිය ගේ සිතේ තිබෙන කෝපය මතු කරන්නේ නැතිව ම ඉන්නවා ද? එහෙම නැත්නම්
ඇත්තටම කෝපයක් නැද්ද? එහෙම නැත්නම් මම සියලු වැඩ සොයාබලා කරන නිසා මගේ ස්වාමි
දියණිය ඇය තුළ තිබෙන්නා වූ කෝපය මතු නො කර ඉන්නවා ද? මම මේ ස්වාමි දියණිය ගේ
ස්වභාවය විමසා බලන්නට ඕනේ” කියා මේ කාළී දාසියට හිතුණා.
ඉතින් මේ දාසිය දිනක් පාන්දරින් නැගිට නිවසේ සියලු වැඩ කටයුතු නො කර ටිකක් දවල්
වෙනතුරු නිදාගත්තා. ඉතිං වේදේහිකා ගෘහපතිනිය දාසියට මෙහෙම කිව්වා.
“ඒයි කෙල්ල කාළී”
“ඇයි ස්වාමි දියණිය”
“කෙල්ලේ මොකද උඹ දවල් වෙලා නැගිට්ටේ?”
“ස්වාමි දියණිය, මොකවත් නෑ.”
“එහෙම ද? මේ පව්කාර දාසිය එතකොට මොකවත් නැතුව යි දවල් වෙලා නැගිට්ටේ නේ? “කියලා
කෝපවෙලා නො සතුටු වෙලා ඇහිබැම හකුලා ගත්තා.
ඉතින් කාළී දාසියට මෙහෙම හිතුණා.
“හරි! මගේ ස්වාමි දියණිය තිබෙන්නා වූ කෝපය තමයි මතු කරන්නේ නැතිව ඉන්නේ. නො තිබෙන
දෙයක් නො වෙයි. මම මේ සියලු වැඩ හොඳට සොයා බලා කරන නිසා තමයි මගේ ස්වාමි දියණිය තමා
තුළ තිබෙන්නා වූ කෝපය මතු කරන්නේ නැතිව ඉන්නේ. නො තිබිලා නොවෙ යි. එහෙම නම්, මම
තවත් මගේ ස්වාමි දියණිය ගැන විමසන එක තමයි හොඳ” කියලා.
ඉතින් කාළී දාසිය එදාත් බොහෝ දවල් වී නින්දෙන් නැගිට්ටා.
වේදේහිකා එදාත් කාළී දාසියගෙන් මෙහෙම ඇහුවා.
“ඒයි! කෙල්ල කාළී, උඹ මොකද අදත් ගොඩක් දවල් වෙලා නැගිට්ටේ?”
“ස්වාමි දියණිය එහෙම විශේෂ දෙයක් නැහැ.”
“එහෙමද? මේ පාපී වැඩකාරී අදත් දවල් වෙලා නැගිට්ටේ හේතුවක් නැතිවයි” කියලා කේන්ති
ගත්තා. නො සතුටු වුණා. නො සතුටු වචන පිට කළා.
එදාත් කාළී දාසියට මෙහෙම හිතුණා.
“හරි! මගේ ස්වාමි දියණිය තුළ තිබෙන්නා වූ ම කෝපය යි පිට නො කර ඉන්නේ. නො තිබෙන්නා
වූ දෙයක් නො වෙයි. මම මේ හොඳට හොයලා බලල වැඩ කරන නිසයි මගේ ස්වාමි දියණිය තමා තුළ
තිබෙන කෝපය මතු නො කරන්නේ. නො තිබිලා නොවේ. ඒ නිසා මම තවදුරටත් ස්වාමි දියණිය ගැන
විමසල බලන එක තමයි හොඳ” කියා කාළි දාසිය හිතුවා.
ඉතින් ඒ කාළි දාසිය එදත් ගොඩාක් දවල් වී නැගිට්ටා. වේදේහිකා ගෘහණිය කාළී දාසියට
මෙහෙම කිව්වා.
“ඒයි කෙල්ල කාළී”
“ඇයි ස්වාමි දියණියනි,”
“කෙල්ලෙ මොකද උඹ හොඳට ම දවල් වෙනකල් ඉඳලා නැගිට්ටේ?”
“මොකවත් නෑ ස්වාමි දියණිය”
“එහෙමද පාපී වැඩකාරිය. උඹ මොකවත් නැතිව යි එහෙමනම් හොඳට දවල් වෙනකල් ඉඳලා නැගිට්ටේ
නේ?” කියලා කේන්ති ගත්තා. නො සතුටු සිත් ඇතිකර ගත්තා. අන්තිමේ දී දොර පොල්ල අරගෙන
දාසිය ගේ ඔළුවට ගැහුවා. හිස පැලුනා.
ඒ දාසිය හිසෙන් ලේ ගලද්දී ගෙදරින් එළියට පැන්නා. අහල පහළ අයට කෑගහල කිව්වා “මෙන්න
බලන්න කීකරු තැනැත්තියගේ වැඩ. මෙන්න යටහත් පැවතුම් ඇත්තියගේ වැඩ. මෙන්න උපශාන්ත මගේ
ස්වාමි දියණියගේ වැ.ඩ. තමන්ගේ නිවසේ සියලු වැඩපල කරන එකම දාසිය දවල් වෙලා නැගිට්ට
කියලා කේන්ති ගිහින් අසතුටු වෙලා දොර පොල්ලෙන් ඔළුවට ගහලා ඔළුව පලන්නේ කොහොම ද? “
කියලා.
ඒ සිද්ධියෙන් පසුව වේදේහිකා ගෘහපතිනිය ගැන අපකීර්තියක් පැතිරී ගියා. වේදේහිකා
ගෘහපතිනිය නපුරුයි, දරුණුයි, ඇය නො සන්සුන් කියලා. ඇය හරියට අළුයට තිබෙන ගිනි
පුපුරක් වගේ කියලා.
- නයනා නිල්මිණී |