[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වංචාවෙන් පැරදුණ බක තාපසයා

වංචාවෙන් පැරදුණ බක තාපසයා

මුදලට වහල් වූ වර්තමාන සමාජයේ පමණක් නොව එදා ඈත අතීතයේත් වංචාවෙන් අනුන් රවටා ජීවත් වූ පුද්ගලයන් සිටියා. මිනිසුන් අතර පමණක් නොව තිරිසන් සතුන් අතරත් මේ නරක ගතිය ඇති සතුන් සිටිනවා.

මෙසේ වංචනිකත්වයෙන් රැවටීමෙන් තමාගේ ජීවන රටාව සකසා ගත් භික්‍ෂූණ් වහන්සේලා දෙනමක් අපගේ තථාගත අමාමෑණි බුදු පියාණන් වහන්සේ වැඩ සිටි කාලයෙත් හිටියා.

භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේ. මේ කාලයේ ම මෙහි වාසය කළ එක් භික්‍ෂූන් වහන්සේ නමක් සිවුරු කඩ කැපීමෙහි, ඒවා එකට සම්බන්ධ කිරීම් ආදී ගෙත්තම් කිරීමේ දක්‍ෂව කටයුතු කළා. එනිසා ම උන් වහන්ස්ට ‘ චීවර වඩ්ඪකී (සිවුරු මහණ භික්‍ෂුව ) ’ යන නම පට බැඳුණා. දිරා ගිය රෙදි කැබැලි ගෙනත් පිළිසකර කර ගෙත්තම් ආදියෙන් හැඩ ගන්වා තැබුවා. ආරාමයේ සිටි අනෙක් භික්‍ෂූණ් වහන්සේලා සිවුරු මහන්න දන්නේ නැති නිසා,

“ අවැත්නි, අපිටත් මේ අලුත් වස්ත්‍රගෙන සිවුරක් කර දෙන්න පුළුවන් ද?”

“ ඔව් පුළුවන් හැබැයි, එහෙම එක වර සිවුරක් මසා නිම කරන්න බැහැ. ඒකට ලොකු කාලයක් යනවා.”

“ ඒකට කමක් නැහැ. අපටත් මෙවැනි ගෙත්තම් කළ සිවුරු මසා දෙන්න.”

“ ඇවැත්නි, ඔය අලුත් වස්ත්‍ර මට දෙන්න. මං මහලා තියෙන මේ අගනා සිවුරු ඔබ වහන්සේලා කැමති නම් ගන්න. ” කියා චීවර වඩ්ඪකි භික්‍ෂුව කියා සිටියා.

මේ විදියට බොහෝ භික්‍ෂූන් වහන්සේලා දිරා ගිය වස්ත්‍ර රැගෙන යන්නට වුණා. ඒ නිසාම උන් වහන්සේගේ සිතත් වංචාවෙන් කපටිකමෙන් තව තවත් පිරෙන්න වුණා. තමාගෙන් සිවුරු ඉල්ලාගෙන එන ජේතවන භික්‍ෂූන් වහන්සේලාගෙන් අලුත් වස්ත්‍ර අරගෙන රවටා දිරා ගිය රෙදි කඩවලින් සැකසූ සිවුරු දුන්නා.

ඒ ස්වාමීන් වහන්සේලා ටික දවසක් ඒ සිවුරු පෙරවූ පසු කිලිටි වෙනවා. පසුව උණු පැනින් සෝදා පිරිසුදු කරනවා. එතකොට දකිනවා ඒ සිවුරුවල දිරා ගිය තැන්.

පසුව වංචනික භික්‍ෂුවගේ රැවටීමට හසු වුණා කියා හැමෝ ම සිත් තැවුලට පත් වුණා.

මේ විදියට ම වංචාවෙන් කටයුතු කරන තවත් භික්‍ෂුවක් ඈත පිටිසර ගමක හිටියා. උන් වහන්සේට මේ පුවත සැල වුණා. කල්පනා කළා. ජේතවනාරාමයේ සිටින ඒ කපටි භික්‍ෂුව කොහොම හරි රවටන්නට ඕනෙයි කියලා.

උන් වහන්සේත් දිරා යන පරණ රෙදි කඩ කිහිපයක් ගෙන සිවුරක් කරලා පඬු පොවලා ඉතා මනරම් සිවුරක් ලෙස සුදානම් කර ගත්තා. ජේතවනාරාමයට පැමිණි මේ පිටිසර භික්‍ෂුව එහි චීවර වඩ්ඪකී භික්‍ෂුව සොයා ගියා. කතා බහේ යෙදී සිටිමින් ම පිටිසර භික්‍ෂුව ගෙනා සිවුර දැක සිත් අලවා

“ඇවැත්නි, ඔබ අතින්ම ද මේ චීවරය නිම වූයේ ”

“ එසේ ය. ඇවැත්නි ”

“ එහෙනම් මට මෙය දෙන්න ”

“ මේ සිවුර බොහොම මහන්සියෙන් කළේ. ඒ නිසා ම ගොඩාක් වටිනවා.”

“ ඇවැත්නි, මා ළඟ මේ තිබෙන අලුත්ම වස්ත්‍ර ගෙන එයින් ඔබ සිවුරක්

කර ගන්න. ඔය සිවුර මට දෙන්න”

චීවර වඩ්ඪකී භික්‍ෂුව රැවටුණු බව දැන ගත් පිටිසර භික්‍ෂුව එම සිවුර දී අලුත් වස්ත්‍ර රැගෙන තම ගමට ගියා. ජේතවනේ සිටිය භික්‍ෂුව එය ටික දිනක් පොරවා කිලිටි වූ පසුව උණු දියෙන් සෝදා බලද්දී දිරූ රෙදිවලින් සැකසු එකක් බවත්, තමන් අනුන් රැවටූ ලෙසට ම පිටිසර භික්‍ෂුව තමන්වත් රවටා ඇති බවත් පැහැදිලි වුණා. එයින් උන් වහන්සේ ගොඩාක් ලැජ්ජාවට පත් වුණා.

ජේතවනාරාමයේ සිටි අනෙක් භික්‍ෂූන් ද මේ බව දැන දිනක් දම් සභා මණ්ඩපයේ කපටි වංචාකාර භික්‍ෂූන් දෙනමගේ ක්‍රියා කාරකම් ගැන කතා කරමින් සිටියා. එතැනට භාග්‍යවත් තථාගතයන් වහන්සේ වැඩම කළ පසු භික්‍ෂූන් ඒ පුවත කිව්වා.

“ මහණෙනි, ඔය භික්‍ෂූන් දෙනම පෙර ආත්මෙකත් එකිනෙකා වංචා කර ගත්තා.” කියමින් දම් සභාවෙන් කළ ආරාධනාවට අනුව බුදු රජාණන් වහන්සේ පෙර අතීත කතාව වදාළා.

“පින්වත් මහණෙනි, ගොඩාක් ඉස්සර කාලෙක වනාන්තර ප්‍රදේශයක පියුම් විලක් අසල විශාල ලුණුවරණ ගසක් තිබුණා. මෙහි රුක් දෙවියෙක් වෙලා අප මහා බෝසතාණන් වහන්සේ උපන්නා. මේ ආසන්නයේ වානාන්තරය ඇතුළට වෙන්න තවත් පොඩි පොඩි මාළු ගොඩාක් ඉන්න කුඩා විලක් තිබුණා. මේ කුඩා විලේ නියං කාලයට වතුර සිඳෙනවා. ඉතින් ඔහොම නියං කාලයක් පැමිණ වතුරත් සි¼දීගෙන යන වේලාවක, එක් කොකෙක් ඒ මාළු දැකලා “ උපායකින් මුන් රවටා ගෙන ගොස් මස් කන්නට උවමනයි ” සිතා විල ළඟට පැමිණියා. බොහෝම ශාන්ත ලීලාවෙන් විල් කෙළවරට වී එක් සිතිවිල්ලක ඉන්නා ලෙස හිටියා. විලේ මාළු ඔහු දැක්කා.

“ ස්වාමීනි, මොනවද ඔය හැටි කල්පනා කරන්නේ” කියලා ඇහුවා.

“ මේ ඔබ සියලු දෙනාට සිද්ධ වෙලා තිබෙන විපත ගැනයි කල්පනා කරමින් ඉන්නේ ”

“ මාළු යහළුවෙනි, දැන් නියං සමය උදා වෙලා තියෙන්නේ. මේ විලේ දිය සි¼දීගෙන යනවා. ඔබලාගේ ආහාරත් ඉවරවෙලා යනවා. ඒ නිසා වෙන්නේ ලොකුම දුකක්. ඒ ගැනයි මං මේ කල්පනා කර කර ඉන්නේ. ”

“ අනේ ! එතකොට අපි දැන් මොකද කරන්නේ.”

“ යහළුවනේ , ඔබ මගේ වචනයේ පිහිටන්නේ නම් පස් පියුමින් සැදී විශාල විලකට ඔබ සියලු දෙනා ම මගේ මේ තුඩෙන් ගෙන ගොස් දමන්නට පුළුවන්. ”

“ එදා මෙදා තුර කිසිම කොකෙක් අපට හිත පිණිස කතා කරලා නැහැ. ඒ නිසා අපට ඔබ ගැන කිසිදු විශ්වාසයක් නැහැ. මේකත් අප අල්ලාගෙන කන්නට යෙදූ උපායක් කියලයි අප හිතන්නේ ”

කොකා එවිට කියනුයේ,

“ යහළුවනේ, මගේ බස විශ්වාස නොමැති නම් එක මාළුවකු මා සමඟ එවන්න විල බලන්ට ඔහු ආපසු ගෙනවිත් දමන්නම්”

පසුව මාළුන් කතිකා කරගෙන කොකාගේ කතාව විශ්වාස කරලා දියෙත්, ගොඩත් දක්‍ෂ එක් ඇසක් නොපෙනෙන මාළුවෙකු කොකා සමඟ යන්නට සූදානම් කළා. කොකාත් ඌ තුඩින් ගෙන මහා විල වටා ගෙන ගොස් විලේ හැම තැනම පෙන්නුවා. නැවතත් හිටපු විලට ම ගෙනවිත් දැම්මා. “විශාල ලාභයක් පතා කුඩා දෙයක් අත්හරින එක සිරිතක් යැයි කොකාත් සිතමින් ලැබෙන ප්‍රතිචාරය බලාපොරොත්තුව සිටියා. ”

කණ මාළුවාගේ විස්තර ඇසු අනෙක් මාළුන් පොර කමින් ගමනට පෙළ ගැසුණා. ඒ වගේ ම පළමුවෙන් යන්නෙත් මං කියලා කණ මළුවා ම ඉස්සරහට පැන්නා. කොකාගේ වාරය පැමිණි බැවින් හද පිරි සතුටින් ඒ මාළු එකිනෙකා අරගෙන ගිහින් මහා විල පෙන්නලා අර ලුණුවරණ ගහේ තියාගෙන මස් කාලා කටු ටික ගස යට දැම්මා. අවසානයේ ඉතුරු වුණේ එක කකුළුවෙක් පමණයි. කොකාට කකුළු මසුත් කන්නට ආස හිතුණා.

“ පින්වත් කකුළුව... මේ විලේ මාළුන් හැමෝම පස් පියුමින් සැදි විලට දැම්ම නිසා දැන් එයාලා හරීම සතුටින් සෙල්ලම් කරමින් ඉන්නවා. ඔබ ඇයි ඔහොම ඉන්නේ. එන්න. මං ඔබවත් ඒ විලට දමන්නම්”

හොඳයි කොක් යහළුව , ඔබ මාව ගෙන යන්නේ කොහොම ද ?”

“ඇයි .. මට ඔබව තුඩින් ඩැහැගෙන යන්න පුළුවන්නේ”

“අපෝ එහෙම බැහැ අතරමඟ දී මාව අත්හැරියොත් ... ඒ නිසා මට ඔබ සමඟ යන්න බැහැ. ”

“ බය වෙන්න උවමනා නැහැ. මං හොඳට අල්ලගෙන යන්නම්. ”

එවිට කකුළුවා කල්පනා කළා “ මේ කොකා විලේ සිටි සියලුම මාළුන් කෑවා. දැන් මාවත් කන්න තමයි මේ උපාය. ඒ නිසා විලට දැම්මොත් හොඳයි. නැත්තම් මොහුගේ ගෙල සිඳලමියි” කියලා.

“ කොකාණෙනි... මට ඔබේ ගෙල අල්ගෙන යන්නට දෙන්නේ නම් මං විලට යන්නට කැමතියි ” කකුළුවා කීවා. එහෙත් කකුළුවා තමාව රවටන බව කොකාට තේරුණේ නැහැ. කකුළුවා ගමනට සූදානම් වුණා. තදින් කොකාගේ බෙල්ල තම අඬු වැනි අත් දෙකෙන් තද කොට අල්ලා ගත්තා. දැන් ගමන පිටත් වෙලා මහා විල වටේ ගිහින් ලුණුවරණ ගස පැත්තට යන්නට හැරුණා. කකුළුවා විමසුවත් යන දිශාව වෙනස් කළේ ඇයි කියලා. කොකා විස්තර කියන්නේ, “ඔබ මගේ නෑයෙක් ද ? එහෙම විලට දාන්න. මේ යන්නේ ඔබගේ මස් කා දමන්න”යි කීවා. ඒ මාළුන් සියල්ලන් ම නුවණ මද නිසා එසේ විනාශ වූ නමුත් මා රැවටෙන්නේ නැතැයි කියා තම ශක්තිමත් අඬු දෙකෙන් අල්වා කතුරකින් පියුම් දණ්ඩක් කපන්නාක් මෙන් කොකාගේ ගෙල සිඳ දැමුවා. කොකාගේ මුවින් ගිලිහුනු කකුළුවා මහා විලට වැටුණා.

ලුණුවරණ ගසේ සිටි දේවතාවා සාධු කාර දී වනය නින්නාද වන ලෙස මිහිරි කට හඬින් මෙහෙම කීවා. “ මේ ලෝකයෙහි අතිශයින් ම වංචා බුද්ධි ඇති තැනැත්තෝ හැමතැනම ඒ වංචාවෙන් ජීවත් වන්නට සමත් නොවෙයි. එක් තැනක හෝ දෙතැනක වංචාවෙන් ජය ගනියි. හැම කල්හිම ජය නොලබයි. තමා විසින් තමාට ම අවැඩ කර ගත්තේ වෙයි. කැමැති දෙයම නොලබන්නේ ය. කුමක් මෙන් ද යත් කකුළුවාගෙන් ගෙල සිඳලූ කොකා මෙනි. ” යනුවෙන් අර්ථ ප්‍රකාශ කොට බෝධිසත්වයෝ වනය නින්නාද වන ලෙස දහම් දේශනා කළා.

   ඇසළ අමාවක පෝය 

 ඇසළ අමාවක පෝය ජුලි 20 සඳුදා පූර්වභාග 00.10 න් ලබා එදිනම අපරභාග 11.02 න් ගෙවේ. සඳුදා සිල්.

මීළඟ පෝය ජූලි 27 සඳුදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]