එදා රහත් නොවූ මඟඵල ලාභීන් අද ඉන්නේ කොතැන ද ?
අතුරුගිරිය
සදහම් පදනමේ
අනුශාසක
ගලිගමුවේ ඤාණදීප හිමි
පනස් හතර කෝටියක් ධනය වියදම් කර ජේතවනාරාමය පූජා කළ අනාථ පිණ්ඩික සිටුතුමා අනාථ
පිණ්ඩික දෙවියන් ලෙස දෙව්ලොව පහළ වුණා. එදා රාත්‍රියේ බුදුන් වහන්සේ හමුවට පැමිණි
අනාථ පිණ්ඩික දෙවියන් බුදුන් වහන්සේ වන්දනා මාන කර අතුරුදන් වුණා.
බෝධිසත්වයන් වහන්සේගේ මෑණියන් ද මනු ලොව දී කළුරිය කර මාතෘ දිව්‍ය රාජයා නමින් දෙව්
ලොව උපත ලැබුවා. විශාඛාව ද සෝවාන් වූ පින්වත් උත්තමාවියක්. ඇයගේ අවසන් මිනිස් භවය
මෙය යැ’යි බුදුන් වහන්සේ පෙන්වා දුන්නා. විශාඛාව මරණින් මතු උපත ලැබුවේ නිම්මාණරතී
දෙව් ලොව යි. එහිදී සකෘදාගාමී ඵලයට පත්ව පරනිම්මිත වසවර්ති දෙව්ලොව උපත ලබනවා.
එහිදී ඇය අනාගාමී ඵලයට පත්ව ශුද්ධාවාස බඹ ලොව උපත ලබා පිරිනිවන් පාන බව සම්බුද්ධ
දේශනාවේ සඳහන් වෙයි. එසේනම්, මාර්ග ඵල ලාභී සියලු ම ගිහි චරිත උපත ලබා ඇත්තේ දෙව්
ලොව සහ බඹ ලොව යි.
දෙව් ලොව සම්මා දිට්ඨික මෙන් ම මිථ්‍යා දෘෂ්ඨික දෙවිවරු වාසය කළ ද ඒ පින්බර ලෝක
මාර්ග ඵල ලාභී දෙවි බඹුන්ගෙන් බහුලව පිරී තිබෙයි. “අප්පතිවත්තියා වා - සමණේන වා,
බ්‍රාහ්මණේන වා - දේවේන වා, මාරේන වා, බ්‍රහ්මුණාවා ඛේනචි වා- ලෝකස්මිං” යනුවෙන්
ලොවුතුරා බුදු කෙනෙකු මිස වෙනත් කිසිවෙකුට දේශනා කළ නොහැකි ධම්මචක්ක සූත්‍රයෙන්
නිවන් මඟ වදාළ අසිරිමත් මොහොතේ භූමාටු දෙවියන්ගේ සිටම අකනිටා බඹ ලොව දක්වා ම
දෙවිවරු ප්‍රීති ඝෝෂා නැඟුවා. ඒ අනුව, දෙවිවරු බුද්ධ ශාසනයේ දියුණුව, චිර පැවැත්ම
වෙනුවෙන් උදවු උපකාර කරන බව දේශනාවේ සඳහන් වෙයි.
මෛත්‍රී භාවනාවේ ආනිශංසයන්ගෙන් බුදුන් වහන්සේ මෙලෙස පෙන්වා දුන්නා. ‘මහණෙනි, හොඳින්
සිල් රකින , බණ භාවනා වඩන, ධර්ම මාර්ගයේ ගමන් කරන්නා ‘දේවතා රක්ඛන්ති’ දෙවිවරු
ආරක්ෂා කරති යනුවෙනි. එසේනම්, නිවන් මඟ ගමන් කරන පින්වත් ඔබටත් දෙවියන්ගේ රැකවරණය,
ආරක්ෂාව නිබඳව ම සැලසේවි.
බුද්ධ කාලයේ සැවැත් නුවර ගම් නියම් ගම් ආශ්‍රිතව කෝටි හතක ජනතාව ජීවත් වුණා. ඉන්
කෝටි පහකට ආසන්න පිරිසක් බුදුන් වහන්සේ පිරිනිවන් පාන මොහොත දක්වා ම මාර්ග ඵල
ලාභීන් ලෙස පත්ව සිටි බව ධම්මපද අට්ඨ කථාවේ සඳහන් වෙයි.
රහතන් වහන්සේ පමණක් සසර ගමන අවසන් කළ ද ඇතැම් ගිහි ශ්‍රාවකයන් සහ පැවිදි වූ ඇතැම්
භික්ෂු භික්ෂුණීන් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී මග ඵල ලබා සුගතියක වාසය කරයි. යමෙක්
සෝවාන් ඵල ලැබුවා නම් ඒ උත්තමයාට ඇත්තේ තවත් ආත්ම හතක් පමණි. ඊළඟ භවය දිව්‍ය ලෝකයක
හෝ කාම ලෝකයක උපත ලබ යි. සකෘදාගාමී වූ උත්තමයාට ඇත්තේ තවත් එක් උපතක් පමණි. ඒ අයත්
දිවි ගෙවන්නේ දිව්‍ය ලෝකවල යි. අනාගාමී වූ යම්තාක් පිරිසක් බුදුන් වහන්සේ වැඩ සිටින
කාලයේ සිටියා නම් ඒ සෑම දෙනාම උපත ලබා ඇත්තේ ශුද්ධාවාස බඹ ලොව යි. එහි බ්‍රහ්ම ලෝක
පහක් තිබෙයි. ඒ අව්‍ය, අතප්ප, සුදස්ස, සුදස්සී , අකනිට යනුවෙනි. මේ ලෝක පහේ උපත
ලබන්නේ අනාගාමී ශ්‍රාවකයන් පමණ යි. එසේනම්, බුදුන් වහන්සේ වැඩ සිටියදී වසර හතළිස්
පහක් පුරා බණ ඇසූ, නොයෙක් ගම්මානයන්හි මාර්ග ඵල ලැබූ ඇතැම් ගිහි, පැවිදි පිරිස
අදටත් වැඩ සිටිය යුත්තේ දෙව්ලොව සහ බඹලොව යි. .
ඇතැම් සෝවාන් පුද්ගලයන් අතර ඒක බීජ නම් කොටසක් වෙයි. එනම්, එක ජීවිතයක් තුළම
සකදාගාමී, අනාගාමී, මහරහත් ව සසර ගමන අවසන් කිරීම යි. තවත් සෝවාන් වූවන් අතර
කෝළංකෝළ නම් පිරිසක් ද සිටිති. ආත්ම දෙක තුනක් හෝ කිහිපයක් අතර ඉතිරි මාර්ග ඵල ද
ලබා ගනී. සත්තක්ඛත් පරම යනුවෙන් තවත් සෝවාන් ශ්‍රාවකයෙක් සඳහන් වෙනවා. ඒ උත්තමයා
උපරිම ආත්ම හතක් උපත ලබා හත්වන ආත්මයේ දී ධර්මාවබෝධය ලබා සසර ගමන අවසන් කර ගනි යි.
එවිට සෝවාන් වූ පුද්ගලයා ආත්ම හතක් ම උපරිම උපත කරා යයි. එහෙත්, බුදුන් වහන්සේ
වදාළේ මහණෙනි, කිසිම හේතුවක් නිසා “නථෙ භවං අට්ඨමං ආදියංති” සෝවාන් වූ උත්තමයෙක්
අටවන ආත්ම භවයක නම් උපත නො ලබන බව යි. බුදුන් වහන්සේ දෙනෙතින් දැක, බණ ඇසූ , බුද්ධ
ශ්‍රාවකයන් ව වැඩ සිටි, රහත් නොවූ ඉතිරි මාර්ග ඵල ලාභී සියලු ම දෙනා ම අද පින්බර
දෙවි දේවතාවුන් ලෙසින් දෙව් ලොව සහ බඹ ලොව වාසය කරති. එය අපට බොහො ම පැහැදිලි ව
පෙනී යන්නේ දෙවියන් ගේ කාලය අනුව යි.
බුදුන් වහන්සේ සඳහන් කළ සේ මනු ලොව ආයුෂ ක්‍රමයෙන් පිරිහී යයි. එදා බුදුන් වහන්සේ
පහළ වෙද්දී සාමාන්‍ය මිනිස් ආයුෂ වසර එකසිය විස්ස යි. බක්කුල මහ රහතන් වහන්සේ
අවුරුදු එකසිය හැටක් ද ,අනුරුද්ධ මහ රහතන් වහන්සේ අවුරුදු එකසිය පනහක් ද, විශාඛා
මහා උපාසිකාව, ආනන්ද මහ රහතන් වහන්සේ , මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ද අවුරුදු
එකසිය විස්සක් ද ජීවත් වුණා. ඒ යුගයේ සාමාන්‍ය මිනිස් ආයුෂ එකසිය විස්සක් වුණත් ඊට
වැඩියෙන් සහ අඩුවෙන් මිය පරලොව ගිය ඇත්තන් ද සිටියා.
නමුත්, අද වන විට බුදුන් වහන්සේ පිරිනිවන් පා වසර දෙදහස් පන්සියයක් ගත වෙද්දී
මිනිස් ආයුෂ අවුරුදු හැත්තෑව, හැත්තෑ පහ වශයෙන් පිරිහිලා. බුදුන් වහන්සේ වදාළ
චක්කවත්තිසීහනාද සූත්‍රයට අනුව මිනිස් ආයුෂ තවත් ක්‍රමයෙන් අඩුව ගොස් එය අවුරුදු
දහය දක්වා ම පිරිහී යයි. එවිට මිනිසුන්ගේ කෙලෙසුන් බලවත් ව, අකුසලයන්ට පෙළඹීම වැඩි
වීමෙන් අධර්ම රාගය, විෂම ලෝභය, මිථ්‍යා ධර්මය වර්ධනය වී යයි. ඒ නිසා මිනිසුන්
එකිනෙකා සතුන් සේ ලේ පිපාසයෙන් මරා ගෙන මෘග සංඥා පහළ ව, මෘග සංඥා වැසි වසිමින්
අන්තඞකල්ප විනාශය සිදු වෙයි. එසේනම්, අප ජීවත් වන්නේ මහා භද්‍ර කල්පයේ හතරවන
අන්තඞකල්පයේ ය. මහා භද්‍ර කල්පයේ හතරවන අන්තඞකල්ප විනාශය සිදු වන්නේ සප්ත අන්තඞකල්ප
විනාශයෙනි. එනම්, තියුණු අවි ආයුධවලින් එකිනෙකා කපා කොටා මරාගෙන ලෝකය ම ලේ විලක්
බවට පත්වන අවධිය පරම්පරාවෙන් පරම්පරාවට අනාගත ලොවේ දියුණුවත් සමඟ ම සිදු වීමයි.
නමුත්, දෙවියන්ගේ ආයුෂවල මෙවැනි අඩු වැඩිවීමක් සිදු වන්නේ නැහැ. ඒ පින්බර ලෝකවල
දිව්‍ය ආයුෂ පවතින්නේ එක ම මට්ටමක යි.
ඊළඟ ලිපියෙන් දෙව් ලොව ආයුෂ
- ජම්මික ප්‍රබෝධනී වැලිකල |