UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

උඳුවප් අව අටවක 2017.12.10

පිරිසුදු සිතක මහිම

ඉදිරිය සාර්ථක වන්නට නම් ජීවිතයට ඉලක්කයක් ඇවැසි ය. එහෙත් අපි අතරම වෙසෙන ඇතැම් කෙනෙකුට එවැනි නිවැරැදි ඉලක්කයක් නැති බව පෙනෙන්නේ ඇසෙන දකින සිදුවීම් දෙස බැලීමේ දී ය. වයෝවෘද්ධ වී අසරණ වූ මවුපියන්, පෙරදා ඔවුන් විසින් අප්‍රමාණ දුක් විඳ හදාවඩා ගත් දරුවන් විසින් ම මහ මඟ තනිකරනු ලැබ යාම, අඹුදරුවන් අතරවන ගැටුම්, අසල්වාසීන් සමඟ වන ගැටුම්වල සිට ජාති, ආගම් වශයෙන් ඇතිවන යුදමය තත්ත්වයන් දක්වාම වන විෂමාචාර ජීවිතයට නිවැරැදි ඉලක්කයක් නො මැතිකමේ වරද නිසා ලැබෙන ප්‍රතිඵලයන්ගේ අංශු මාත්‍රයක් පමණ ය.

කෙනෙකුගේ දියුණුවට ද, පරිහානියට ද හේතු වන්නේ සිත ය. අපේ බුදුහාමුදුරුවෝ ඒ බව ධම්මපදයේ චිත්ත වග්ගයේ මනාව පැහැදිලි කර දී ඇත. කෙනෙක් නිවැරැදිව සිතිවිලි මෙහෙයවන්නට උත්සාහ කරනවා නම්, ජීවිතයේ බලාපොරොත්තු වන ඉලක්ක වෙත යන ගමන ඉතා පහසු ය. සරලව කියනවා නම්, කෙනෙකුගේ ඉරණම රඳා පවතින්නේ සිත මත ය.

නිවැරැදි සිතිවිලි ඇතිවන්නේ පිරිසුදු සිතෙහි ය. සිතේ ස්වභාවය නම්, නිතරම සැලීම ය. එකම අරමුණක නො සිටීමය. එවැනි සිත රැක ගැනීම, පිරිසුදු කර ගැනීම අපහසු ය. ලාභයක දී, වෙසෙස් ජයග්‍රහණයක දී කෙනෙක් රටක් රාජ්‍යයක් දිනුවා වගේ යැයි කියති. එහෙත් මහත් ලාභය වන්නේ රටක්, රාජ්‍යයක් දිනනවාට වඩා තමන්ගේ ම සිත දිනා ගැන්ම ය. දිනාගත් සිතෙහි, පිරිසුදු කරගත් සිතේ අයහපත් සිතිවිලි උපදින්නේ නැත.

කුණු දුහුවිලි පිරුණු වස්ත්‍රයක් සායම් ගල්වා කැමැති ලෙස හැඩ ගන්වා ගැන්ම අපහසු ය. එසේ සිත ද කිළිටි වූයේ නම් අයහපත්, අවලස්සන දේට මිස යහපතට මෙහෙයවා ගැනීම අපහසු ය. එමෙන් ම කුණු දුහුවිලි නො මැති වස්ත්‍රයක් රිසි සේ වර්ණ ගැන්වීම පහසු වන්නා සේ කෙලෙස් මලින් අපිරිසුදු නොවූ සිත යහපතෙහි යෙදවීම පහසු ය.

තමන්ගේ ඉලක්කය, බලාපොරොත්තුව කරා පහසුවෙන් ගමන් කරන්නේ එවැනි පුද්ගලයා ය. ඒ යන ගමනේ දී ඔහු තමන්ට අනර්ථවත් වන දේ නො කරයි. චරිතයට විෂමාචාර පැවතුම් එක්කර නො ගනියි. අනුන්ට ද අනර්ථයක් නො කරයි. පස් පවින් මිදුණු ඒ පුද්ගලයාගේ සිතේ ලෝභය නැත. එනම්, යම් යම් දේට දැඩි ආශාවක් ඇල්මක් නැත. ලෝභී පුද්ගලයා තමන්ට ඇවැසි දේ කවර ක්‍රමයකින් හෝ ළඟාකර ගන්නට උත්සුක වේ. යමක් ඇලවීමට ගන්නා ලාටුවක් සේ එහිම ඇලේ. ගලවා ගැන්ම අසීරු වේ. එවිට තමන් කවුද, කරන්නේ මොනවාද යන්න පවා අමතක වේ. එතැන් සිට විෂමාචාර සිදු වන්නේ ඔහු ද නො දැනුවත්ව ම ය.

ඉලක්කයක් ඇතිව ජීවන ගමන යන පිරිසුදු සිත් ඇති පුද්ගලයා තුළ ව්‍යාපාදය නැත. එනම් ගැටෙන ස්වභාවය නැත. සිතිවිලි සුවපත් ය. මෛත්‍රී සහගත ය. ඒ සුවපත් බව අනුන්ගේ යහපත, සැපත මිස විනාශය, අනර්ථය නො පතන්නේ ය. තමන්ගේ ජීවිතයට වටිනාකමක් ලබා දෙමින් අන්‍ය ජීවිතවලට ද වටිනාකමක් දෙන්නේ ය. එවැන්නෝ සිටින පරිසරයක කිසි කලෙකවත් මවුපියන් මහමඟට වැටෙන්නේ නැත. මනුස්සකම මිස අමනුස්ස ගති රජයන්නේ නැත.

දැඩි ක්‍රෝධය ඇත්තා වහා කිපේ. දණ්ඩකින් පහර කෑ සර්පයෙකු සේ ය. මහ මඟ දී පය ගැටුණු මුලකට පවා උරණ වේ. අහේතුකව ද කිපේ. අන්‍යයන් සමඟ නිරන්තර ගැටේ. සමාජ සංහිඳියාවට එවැනි ක්‍රියාකලාපයන් නුසුදුසු ය. සුළු ප්‍රශ්නයක් පවා දුරදිග යන බැවිනි. ගුණමකු ස්වභාවය ද ඉලක්ක ගත ගමනට බාධකයකි. මුල අමතක කරන්නාට කවර පහත් ක්‍රියාවක වුවද ලජ්ජා බය නො වීමට පුළුවන. මානව බැඳීම දුරස් කරන මෙවැනි ගති දුරස් කිරීම මිනිස්කම අගයන කවරෙකු විසින් වුව කළ යුතු වූවකි. නිවැරැදි වූ ද යහපත් වූ ද බෞද්ධයින් ලෙස අපට ඉලක්කයක් තිබිය යුතු මේ ජීවිතයට පමණක් නොවේ.

ධාර්මිකව ගෙවන ජීවිතය අවසන පරලොව ද සුගතිගාමී වනු පිණිස විය යුතු ම වේ. මෙතෙක් අතපසු වුවා නම් ඒ සඳහා සිත මෙහෙයවීමට මේ මොහොතේ සිටම ආරම්භයක් ලබා දීමට පුළුවන. එය තමන්ට ද ජීවත්වන සමාජයට ද, යහපතම උදා කරන්නේ ය.

 

උඳුවප් අව අටවක පෝය 


උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 10 වනදා ඉරිදා පූර්ව භාග 01.41 ට ලබයි. 11 වනදා සඳුදා පූර්වභාග 01.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 10 වනදා ඉරිදා ය.
 

මීළඟ පෝය දෙසැම්බර් 17 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 10

Full Moonඅමාවක

දෙසැම්බර් 17

First Quarterපුර අටවක

දෙසැම්බර් 26

Full Moonපසෙලාස්වක

ජනවාරි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]