UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දන මන පුබුදන පෞද්ගලික දාන

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 10

දන මන පුබුදන පෞද්ගලික දාන

පුද්ගලික දාන විස්තර කරන විට, පෞද්ගලික දාන දාහතරක් විස්තර කරනවා. යම් කිසිකෙනෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට යම් දානයක් පූජා කරනවා නම්, එය තමා අග්‍රතම, ශ්‍රේෂ්ඨතම පෞද්ගලික දානය. පසේ බුදුරජාණන් වහන්සේ ඊළඟට, ඊළඟට තමයි මහා රහතන් වහන්සේ. දැන් පැහැදිලි වෙනවා රහතන් වහන්සේ නමකට පූජා කරන දානයට වඩා පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරන දක්ෂිණාව මහත්ඵලයි.

පසේ බුදුරජාණන් වහන්සේගේ දාන දක්ෂිණාවට වඩා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දාන දක්ෂිණාව මහත් ඵලයි. දැන් තවත් අපට කරුණු කියන්න තියෙනවා සෝවාන් උතුමන් වහන්සේ නමකට පූජා කරන දානයට වඩා සකෘදාගාමී ස්වාමීන් වහන්සේ නමකට පූජා කරන දානය මහත් ඵලයි. සකෘදාගාමී ස්වාමීන් වහන්සේ නමකට පූජා කරන දානයට වඩා ඒක අනාගාමී ස්වාමීන් වහන්සේ නමකට පූජා කරන දානය මහත්ඵලයි. එක අනාගාමී ස්වාමීන් වහන්සේ නමකට පූජා කරන දානයට වඩා රහතන් වහන්සේ නමකට පූජා කරන දානය මහත් ඵලයි. තවදුරටත් තිරිසන් ගත සත්වයෙකුට දෙන ආහාර වේලට වඩා දුගී මගී යාචක අසරණයෙකුට දෙන ආහාර වේල මහත්ඵලයි. ඒ දුගී මගී යාචක අසරණයෙකුට දෙන දානයට වඩා ශාසනයෙන් බැහැර තවුස්දම් පුරන අහසෙන් යන්න පුළුවන්, සෘද්ධිවිධ අභිඥා තියන තාපසයෙකුට දෙන දානය මහත්ඵලයි. ඒ උතුමන් වහන්සේලාට දෙන දානයට වඩා සීලයක පිහිටා ගෙන හද බැතියෙන් තෙරුවන් සරණ ගිහිල්ලා සෝවාන් වීමේ අදහසින් දානාදී පින්කම් කරන, ගුණ පිළිවෙත් පුරන උතුමෙකුට පූජා කරන දානය මහත්ඵලයි. දැන් මෙතැන දී සීලයෙහි පිහිටා කියන කොට, පංච ශීලය පිහිටුවාගෙන ඉන්න උතුමෙකුට වඩා උපෝසථ අෂ්ඨාංගික සීලය දරාගෙන ඉන්න කෙනෙකුට දෙන දානය මහත් ඵලයි. උපෝසථ අෂ්ඨාංග සීලයක ඉන්න උතුමෙකුට වඩා නවාංග උපෝසථ සීලය සමාදන්ව ඉන්න උතුමෙකුට දෙන දානය මහත් ඵලයි. නවාංග උපෝසථ සීලය සමාදන්ව ඉන්න උතුමෙකුට වඩා ගහට්ඨ දස සීලය, ගිහි දස සීලයක් සමාදන්ව ඉන්න කෙනෙකුට දෙන දානය මහත්ඵලයි. ගහට්ඨ දස සීලයට වඩා නෙක්ඛම්ම දස සීලය සමාදන්ව ඉන්න කෙනෙකුට දෙන දානය මහත්ඵලයි. නෙක්ඛම්ම දස සීලයට වඩා සාමණේර පැවිදි දස සීලය සමාදන්ව ඉන්න කෙනෙකුට දෙන දානය මහත්ඵලයි. දැන් අර ගහට්ඨ දස සීලය කියල කියන්නේ ගිහි පින්වතුන් සමාදන් වන දස සීලය, නෙක්ඛම්ම දස සීලය කියන කොට සිල් මෑණිවරු සමාදන්ව ඉන්නෙ නෙක්ඛම්ම දස සීලය, ‘පබ්බජ්ජා’ කියන්නේ සාමණේර ස්වාමීන් වහන්සේලා සමාදන් වෙලා ඉන්න සීලය. එතකොට එහෙනම් සාමණේර ස්වාමීන් වහන්සේ නමකට දෙන දානයට වඩා උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට දෙන දානය මහත්ඵලයි. මෙසේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම අග්‍ර වන්නේ ය. ශ්‍රේෂ්ඨ වන්නේ ය. ජේෂ්ඨ වන්නේ ය. උතුම් වන්නේ ය.

මේ ලෝකයේ වාසය කරන පා නැති, පා දෙකක් ඇති, චතු පා ඇති, බහු පා ඇති රූපී, අරූපී, සඥි, අසඥාදි මේ සියලු සත්ත්වයන් අතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි අග්‍ර වන්නේ, ශ්‍රේෂ්ඨ වන්නේ,

අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි යමෙක් පැහැදුණා නම් ‘අග්ගෝ විපාකෝ හෝති’ අග්‍ර වූ විපාක ආනිසංස ලැබෙනවා. දැන් බලන්න, බුදුරජාණන් වහන්සේ කෙරෙහි අර දාන දක්ෂිණාවටත් වඩා පැහැදීම හේතු කරගෙන අග්‍ර විපාක ලැබෙනවා. දැන් අප බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුනු නිසානේ අද අප මේ බණ අහන්ට ආවේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් අපට නැත්නම් අපට එන්න බෑ බණ අහන්න. පින්වතුනි, තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදුණු ඇත්තෝ කෙළවරක් නෑ. උන්වහන්සේගෙන් බණ අහල නිවන් දුටු අය කොයිතරම් ඉන්නවා ද? සූවිසි අසංඛෙය්‍ය නවකෝටි පනස්ලක්ෂ හැට දහසක් අපේ බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් බණ අහල නිවන් දැකපු පිරිස, සූවිසි අසංඛ්‍යෙය නවකෝටි පනස් ලක්ෂ හැට දහසක් පිරිස නිවන් දැකලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙ අප දැන් ඔය කියන්නේ පළවෙනි ධර්ම සංගායනාව, දෙවැනි ධර්ම සංගායනාව, තුන්වන ධර්ම සංගායනාව, අපේ ලංකාවේ ශාසනයේ පිහිටුවීම, රුවන්වැලි මහා සෑයේ මුල් ගල තියෙන උත්සවය, චෛත්‍ය තියන උත්සවයට ලක්ෂ ගණන් දහස් ගණන්, කෝටි ගණන් රහතන් වහන්සේලා වැඩම කරලා තියෙනවා. එතකොට අපේ ලංකාවේ අතීතයේ සිටි අම්මා කෙනෙකුට වී පැදුරක් වේළගන්න බෑ. ඇයි? ඒතරම් රහතන් වහන්සේලා සෘද්ධියෙන් වඩිනවා. සෘද්ධියෙන් වඩිනකොට හෙවනැල්ල වැටෙනවා වී පැදුරට. එහෙනම් බලන්ට පින්වතුනි, අර හෙවනැල්ල වී පැදුරට වැටෙමින් වී පැදුරක්වත් වේළගන්නට බෑ කියා කියන්නේ. මේ අහසේ මොනතරම් නම් රහතන් වහන්සේලා හැසිරෙන්ට ඇති ද? අහසේ චරණය කරන්ට ඇති ද? අපට මේවා ඇස් දෙකට මැවිලා පේනවා. අර බලන්ට සිතුල් පව්වේ රහතන් වහන්සේලා දොළොස් දහසක්, තිස්සමහාරාමයේ රහතන් වහන්සේලා දොළොස්දහසක් ඔහොම වැඩ හිටියා කියලා අපේ වංශ කතාවේ කොච්චර නම් කියනවාද?

එහෙනම් අප තේරුම් ගත යුතු වන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම නිසයි මේ හැම දෙයක් ම අපට දකින්න ලැබුණේ ‘පැහැදීමයි’ මෙතන මුල එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ම දේශනා කරනවා. මේ දාන දක්ෂිණාවක් මහත්ඵල කර ගන්නට ක්‍රමයක්,

යම් කිසි දායකයෙක් සීලයක පිහිටගෙනයි මේ දානය දෙන්නේ. සිල්වත් කෙනෙකුට ‘ධම්මේන ලද්ධං’ ධාර්මිකව උපයාගත් දෙයක් ‘සුපසන්නචිත්තො’ ප්‍රසන්න සිතින් ‘අභිසද්දහං කම්මඵලං උළාරං’ කර්මය ගැන මනාව වැටහීමක්, පැහැදීමක් ඇතිව මේ දානය පූජා කිරීමෙන් මහත්ඵල මහත් ආනිසංශ ලැබෙනවා. එතකොට මෙහි දී කියවෙනවා දායකයා සිල්වත් නම් පිළිගන්න පිරිස සිල්වත් නම් පමණයි මහත්ඵල වෙන්නෙ. දායකයා පමණක් සිල්වත්ව පිළිගන්න පිරිස දුස්ශීලයි නම් මහත්ඵල වන්නේ නෑ. දායකයත් දුස්ශීලයි. පිළිගන්න පිරිසත් දුස්ශීලය නම් මහත්ඵල වන්නේ නැහැ. එහෙනම් අග්‍ර දාන දක්ඛිණාවක් පුදන්න මේ ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම උතුමන් වහන්සේ බුදු පියාණන් වහන්සේ. අන්න “අරහං” ගුණයේ මුලින් වටහා ගත යුතු සරල අදහසක්.

ඒ විතරක් නෙමෙයි දානයක් පූජා කරන කොට දානය ගැන අවබෝධය තිබෙන තරමටයි දාන දක්ෂිණාව මහත්ඵල වන්නේ.

ඒ කියන්නේ මොකක් ද? වීතරාගී උතුමෙක් තවත් විතරාගී උතුමෙකුට දානයක් දෙනවා. ඒ කියන්නේ කෙලෙස් නැති කළ උතුමෙක් කෙලෙස් නැතිකළ තවත් උතුමෙකුට දානයක් දෙනවා නම් එම ආමිසදාන අග්‍රතම වනවා.

පසළොස්වක, අව අටවක, අමාවක සහ පුර අටවක යන සතර පෝදා දිනයන්හි ම පළවන ලිපි මාලාවේ දහ වන කොටස මෙසේ පළවේ. මෙහි එකොළොස් වන කොටස දෙසැම්බර් 17 වන දා උඳුවප් අමාවක පෝදා පත්‍රයේ පළවේ.

 

උඳුවප් අව අටවක පෝය 


උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 10 වනදා ඉරිදා පූර්ව භාග 01.41 ට ලබයි. 11 වනදා සඳුදා පූර්වභාග 01.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 10 වනදා ඉරිදා ය.
 

මීළඟ පෝය දෙසැම්බර් 17 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 10

Full Moonඅමාවක

දෙසැම්බර් 17

First Quarterපුර අටවක

දෙසැම්බර් 26

Full Moonපසෙලාස්වක

ජනවාරි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]