අසිරිමත් ආගමනයක ප්‍රබෝධය
අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ
ප්‍රධාන සංඝනායක ආචාර්ය
පල්ලේගම සිරිසුමන
ධම්මරක්ඛිත
සිරිනිවාස නා හිමි
මෙම ලිපියේ
පළමු කොටස උඳුවප් පුර පසළොස්වක පෝදා පත්‍රයේ පළවිය.
සඟමිත් මෙහෙණින් වහන්සේගේ ආගමනයෙන් ලාංකීය කාන්තාවන්ගේ ජීවිතයට ද ලද ආලෝකය ඉමහත් ය.
අනුලා දේවිය ප්‍රධාන විවිධ තරාතිරම්වලට අයත් කාන්තාවන් ශාසනික උරුමයේ හිමිකරුවන්
වූවා පමණක් නොව සමාජීය වශයෙන් පිළිගැනීමට පාත්‍ර වූ බව දීපවංශය සඳහන් කරයි. දෙවන
පෑතිස් රජතුමා විසින් මෙහෙණින් වහන්සේලා සඳහා චූලංගන , සිරි වඩ්ඩන, මහාංගන ආදී
මන්දිර තුනක් ඇතුළු ආරාම දොළහක් කරවා ඇත. සඟමිත් තෙරණියගේ පහසුව සඳහා හත්ථාහල්ලක
මෙහෙණවර කරවනු ලැබී ය. මෙසේ ශාසනික මෙන් ම සමාජයේ පිළිගැනීමට ලක්වූ කාන්තාව විනය
පිටකය ඉගෙන දේශනා කිරීමට තරම් සමත් විය. රුවන්මැලි සෑය සඳහා මුල් ගල තැබීමේ උත්සවයට
භික්ෂූණීන් වහන්සේලා අනූ දහසක් පැමිණි බව වංශකතා වල සඳහන් වේ. විවිධ රාජ සමයන්හි ලද
විවිධ අනුග්‍රහයන් හේතුවෙන් භික්ෂුණී ශාසනයේ දියුණුවට මෙන් ම පරිහානියට ද හේතු විය.
බුදු දහම ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දුන් ආගමක් වුවත් ජනතාව අතර ප්‍රචලිත කිරීමේ
දී ආමිස පූජාවෙන් ලැබෙන පිටුවහල මහත් සේ සැලකිල්ලට ගෙන ඇත. බෝධීන් වහන්සේ මෙන්ම
බුදුරජාණන් වහන්සේගේ ගී‍්‍රවා ධාතුව වැනි ශාරිරික මෙන්ම පාත්‍රා ධාතුව වැනි
පාරිභෝගික වස්තූන් ද වන්දනා කිරීමට ජනතාව හුරු කිරීමට මිහිඳු මහරහතන් වහන්සේ වැඩි
උනන්දුවක් දැක්වූ සේ පෙනේ. ශ්‍රද්ධාවෙන් හා ආගමික භක්තියෙන් යුතුව බුදුරජාණන්
වහන්සේ වන්දනා කිරීම ආගමික ජීවිතයේ අවශ්‍ය ම අංගයක් ලෙස සලකා ඇත. ඒ අතර බෝධින්
වහන්සේ වැඩම වීම සඳහා බලපෑ ආගමික පසුබිම ද සලකා බැලීම වටී. දීඝ නිකායේ මහා
පරිනිර්වාණ සූත්‍රයේ දැක්වෙන පරිදි සැදැහැවත් බෞද්ධයන් විසින් නැරඹිය යුතු, වැඳිය
යුතු සංවේගය ඉපිද විය යුතු ස්ථාන සතරින් එකක් වන්නේ බුදු වූ ස්ථානයයි. එයින්
බුද්ධගයාවේ පිහිටි මහා ඇසතු වෘක්ෂය බෝධින් වහන්සේ ලෙස හැඳින්වූහ. බෞද්ධයන්ගේ බෝධි
වන්දනාව මෙසේ ඇරඹෙන නමුත් ලාංකිකයන්ගේ වෘක්ෂ වන්දනාවේ කතාව ඉතා ඈතට විහිදෙන්නකි.
අතු පතර විහිදී වැඩෙන ගස් ගුප්ත හැගීමක් මෙන් ම භක්තියක් ඇති කිරීමට සමත් විය.
අස්වත්ථ නිග්‍රේාධ, උදුම්බර ,නා යන වෘක්ෂ ඒ ගණයට අයත් වේ. මේවා වනස්පති ලෙස ද
හැඳින්වේ.
මේ අවධිය වන විට ලක්වැසියන් පූජනීයත්වයෙන් සැලකූ ගස් දෙකක් පිළිබඳ මහාවංශයේ සඳහන්
වේ. පණ්ඩුකාභය රජතුමා විසින් වෛශ්‍ර්‍යවන නම් යක්ෂ රාජයා බටහිර වාසල ඇසතු නුග
රුක්ෂයක පදිංචි කරවු බව පෙනේ. එමෙන් ම පණ්ඩුකාභය රජතුමා විසින් බටහිර වාසල සමීපයේ
තල් රුකක ව්‍යාධ දෙවියා පදිංචි කරවී ය.
මෙම ව්‍යාධ දෙවියා දඩයමට අධිපති දෙවියකු ලෙස පරණවිතාන මහතා සඳහන් කරයි. කෙසේ වෙතත්
මෙම වෘක්ෂ වන්දනාව වඩාත් අර්ථවත් වන්දනාවක් ලෙස හඳුන්වා දීම පිණිස ශ්‍රී මහා බෝධි
ශාඛාව මෙරටට වැඩම වීමට හේතු වන්නට ඇත. ඒ අනුව ශ්‍රී මහා බෝධි රෝපණය බෞද්ධ පූජා විධි
හඳුන්වා දීමේ මුල් පියවරක් ලෙස හඳුන්වා දිය හැකිය. එසේම බෝධින් වහන්සේ වැඩම වන විට
ඒ සම්බන්ධ විවිධ පූජා විධි පැවැත්වීම සඳහා විශේෂ පිරිස් මෙරටට පැමිණි බව වංශකතා
තොරතුරුවල සඳහන් වේ.
ඔවුන් මඟින් බෞද්ධ පූජා විධි ප්‍රචලිත වන්නට ඇත. වෘක්ෂ වන්දනාවට යොමු වී සිටි
ලක්වැසියන් අලුත් අරුතක් සමඟ බෝධි පූජාවට යොමු විය. “බෝධියට පැන් වත් කොට සංග්‍රහ
කිරීමත්, මළුව පිරිසුදු කිරීමත් සෑම භික්ෂුවකගේ ම යුතුකමක් ලෙස සැලකිය යුතු අතර බෝ
මළුවට ඇතුළු වන භික්ෂුව විසින් බුදුරදුන් ඉදිරියේ හැසිරෙන්නාක් මෙන් බෝධින් වහන්සේ
ඉදිරියේ ද හැසිරිය යුතුය යන්න” සම්මෝහ විනෝදනි අටුවාවේ සඳහන් වේ. සමන්ත පාසාදිකා
බාහිර නිධාන වර්ණනාවේ සඳහන් වන පරිදි සුවඳ පැන් වලින් නෑවීම, මල් පහන් පූජා කිරීම,
මල් දම් එල්ලීම, ධජ පතාක වලින් සැරසීම, සුවඳ දුම් පිදීම, පුන් කලස් තැබීම, ප්‍රාකාර
වේදිකා දොරටු ඉදිකිරීම රන් වන් රිදී වන් වැලි බෝ මළුවේ ඉසීම, තූර්ය වාදනය,
ප්‍රදක්ෂිණා කිරීම, සාධූ කාර දීම ආදිය බෝධි පූජා උත්සව අනිවාර්ය අංග වේ.
ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩම වීමත් සමඟ කුල 18 අයත් විශාල පිරිසක් ධර්මාශෝක
අධිරාජ්‍යයා විසින් මෙරටට එවූ බව වංශ කථාවල සඳහන් වේ. බෝධි වංශයේ සඳහන් වන පරිදි
“විධුරින්ද නම් රජ කුමාරයන් කැඳවා තෙපි සහපිරිවරින් මහ බෝධි රාජයාණන් වහන්සේ ආරක්ෂා
කරවයි” කියා අටලොස් කුලයක දෙවියන් කැඳවා තෙපි පිරිවර සමඟ බෝධින් වහන්සේ රැකවල්ගෙන
හිඳුවයි කී ය. එසේ ම රජකුල අටක් ද, සිටුකුල අටක් ද, බමුණු කුල අටක් ද, කෙලෙඹි කුල
අටක් ද, වෙළෙඳ කුල අටක් ද , දුනුවා කුල අටක් ද සරස් කුල අටක්ද, කුඹල්කුල අටක්ද, කපු
කුල අටක් ද, බුලත් කුල අටක්ද, පෙහෙර කුල අටක් ද, මල්කරු කුල අටක් ද, ඕෂද වටු කුල
සන්නාසි කුල අටක් ද අරැක්කැමි කුල අටක්ද, කුමූරු කුල අටක්ද, ලෝකුරු කුල අටක්ද,
ස්වර්ණකාර කුල අටක්ද, බෙරවා කුල අටක්ද, සත්කරු කුල අටක්ද, උයන් ගොවු කුල අටක්ද ආදි
විවිධ කුල වලට අයත් වූවන් පැමිණි අතර, ඔවුන් විසින් ඉන්දියාවේ වැඩි දියුණු වූ ගෘහ
නිර්මාණ, කැටයම්, මූර්ති, චිත්‍ර හා වෙනත් කර්මාන්තයන් ලක්වැසියන්ට හඳුන්වා දුන්
අතර එම කලාවන් සිංහල සම්ප්‍රදායන් අනුව වැඩි දියුණු විය.
චෛත්‍ය වන්දනාව, බෝධි වන්දනාව, ආශි‍්‍රතව චේතියඝර , බෝධිඝර නමින් අලුත් ගොඩනැගිලි
සම්ප්‍රදායක් ඉදිවිය. චෛත්‍ය ආදියට වටදා ගෙවල් හා වාහල්කඩ ද බෝධිය ආශි‍්‍රතව බෝධිඝර
ද ඉදිවිය. කල් යත් ම සෑම විහාරස්ථානයක ම බෝධින් වහන්සේ නමක් තිබීම අනිවාර්ය අංගයක්
විය. බෝධින් වහන්සේ සම්බන්ධ කරගෙන පැවති උත්සව සෑම රාජ්‍ය කාලයක ම වගේ අඛණ්ඩව
පවත්වා ඇත. ඒ අතර දස වැනි සියවසට අයත්, සවැනි මිහිඳුගේ මිහින්තලා සෙල්ලිපියේ
“සොම්නස් මහ බෝ මගුල” නම් උත්සවයක් ගැන සඳහන් වේ. පළමු වැනි සියවසේ භාතිකාභය රජු
දවස “බෝධි ස්නාන උත්සවය” ආරම්භ කර ඇත. හුදෙක් වැස්ස ප්‍රාර්ථනා කරමින් මෙම උත්සවය
පවත්වා ඇති අතර, එය අඛණ්ඩව අද සිදු කෙරෙමින් ඇත. මිහිඳු මහරහතන් වහන්සේ වැඩි මුල්
යුගයේ වැඩි වශයෙන් භික්ෂූන් වහන්සේලාගේ වාසස්ථාන සඳහා පිළියෙල කරනු ලැබුවේ ගල් ගුහා
ය.
නමුත් බෝධීන් වහන්සේ සමඟ ශිල්පීන් පැමිණීමෙන් භික්ෂූන් වහන්සේලාගේ වාසස්ථාන සඳහා
සුව පහසු ගොඩනැගිලි ඉදිවීය. පසු කාලය වන විට ගල් ගඩොල්, උළු භාවිත කරමින් විශාල
මන්දිර පවා ඉදිකිරීමට කටයුතු කර ඇත. ලෝවාමහාපාය වැනි විශාල ගොඩනැගිලි ඉදිවූයේ මෙහි
ප්‍රතිඵලයක් වශයෙනි. ගෘහ නිර්මාණ ශිල්පය සමඟම කැටයම් මූර්ති හා සිතුවම් කලාව ද
ශීඝ්‍රයෙන් දියුණුවට පත් විය. විවිධ පූජනීය ගොඩනැගිලි ඉදිවීමත් සමඟ එම ගොඩනැගිලි
අලංකාර කිරීම සඳහා ඉතා සියුම් මාලා කර්ම ,ලතාකර්ම කැටයම් කරනු ලැබී ය. ඒ බව සඳකඩ
පහන ,කොරවක් ගල් ආදියෙන් මනාව පැහැදිලි වේ.
මූර්ති කලාව ද බුදු දහමින් ලද ආභාශයෙන් ම පෝෂණය විය. බුද්ධ ප්‍රතිමා නෙළීමේදී හෙළ
කලාකරුවන් තම විශේෂ ප්‍රතිභාව විදහා දැක්වී ය. ඉන්දියානු ආභාශය ලැබූව ද කල් යත්ම
ස්වතන්ත්‍ර නිර්මාණ ලෙස මූර්ති නිර්මාණය කරනු ලැබී ය. බුද්ධ ප්‍රතිමාවලට අමතරව
බෝධිසත්ව රූප, දේව රූප ,රජවරුන්ගේ රූප, බිසෝවරුන්ගේ රූප, ආදි මූර්ති නිර්මාණය කරනු
ලැබී ය. කුෂ්ඨගල බෝධිසත්ව රූපය ද රුවන්වැලි සෑ මළුවේ භාතිකාභය රාජ ප්‍රතිමාව හා
පොළොන්නරුවේ මහ පැරකුම් රජුගේ යැයි සැලකෙන ප්‍රතිමාව ද මෙයට නිදසුන් වේ.
බුදු සිරිත හා ජාතක කතා ඉගැන්වීමේ මාධ්‍යයක් හැටියට චිත්‍ර යොදාගෙන ඇත. මහා වංශයේ
එන තොරතුරු අනුව රුවන්වැලි සෑයේ ඇතුල් ගර්භයේ බිත්ති චිත්‍රවලින් අලංකාර කර ඇත.
සීගිරි චිත්‍ර හා හිඳගල විහාරයේ චිත්‍ර පරීක්ෂා කිරීමේ දී වැඩි දියුණු වූ චිත්‍ර
කලාවක් ගොඩනගා ගැනීමට හැකි වූ බව පෙනේ.
ශ්‍රී මහා බෝධින්වහන්සේ පසුබිම් කරගෙන සිංහල සාහිත්‍ය ග්‍රන්ථ සමූහයක් සාහිත්‍යයට
එකතු විය. මුල් වකවානුවේ දී සිංහල බෝධිවංශ කිහිපයක් ම ලියවී ඇත. පසුකාලීනව
ජනපි‍්‍රය සංස්කෘත භාෂා අලංකාරවල ආභාෂය ලබමින් ලියන ලද බෝධිවංශ කිහිපයක්ද විය.
ගුරුළුගෝමීන් විසින් රචිත ධර්ම ප්‍රදීපිකාව ද, බෝධි සාහිත්‍යයට අයත් කෘතියකි.
කුරුණෑගල යුගයට අයත් විලුගම්මුල හිමියන් විසින් ලියන ලද බෝධිවංශය ද චූල බෝධි වංශය
ද, ආදී විවිධ නම්වලින් රචිත බෝධින් වහන්සේ සම්බන්ධ සාහිත්‍ය කෘති විශාල ප්‍රමාණයක්
වේ. බෝධින් වහන්සේ වැඩම වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ශාස්ත්‍රීය ප්‍රබෝධය පසුකාලීනව
විවිධ ඉසව් ඔස්සේ වඩා වර්ධනය විය.
මිහිඳු මහ රහතන් වහන්සේ විසින් මෙරටට හඳුන්වා දෙන ලද බුදුසමය පැතිර වීමේලා ගත්
ක්‍රියා මාර්ග අතර බුද්ධ වර්ෂ 237 දී ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම වීම මෙරට ආගමික,
සාමාජීය, සංස්කෘතික හා ශාස්ත්‍රීය ප්‍රබෝධයට හේතු වූ බව සක් සුදක් සේ පැහැදිලි වේ.
|