විශ්මිත ගුණ දෙන
පිරිත් දේශනාව
වරකාපොළ මෙත්මුනි විහාරාධිපති
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ,
අමරපුර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී
ශාස්ත්‍රපති
නින්දානේ චන්දවිමල නා හිමි
බෞද්ධයාගේ ආගමික චාරිත්‍රයක්, පුණ්‍ය කර්මයක් මෙන් ම මෙලොව, පරලොව සුවසෙත ශාන්තිය,
රැකවරණය සලසන මහඟු ශාන්තියක් හා බලවේගයකි ‘පිරිත’. පිරිත යනුවෙන් අදහස් කරනුයේ
කුමක් ද? සිංහල ව්‍යවහාරයට අනුව හඳුන්වන පිරිත පාලි භාෂාවේ පරිත්ත නමින් ද, සකු
බසින් පරිත්‍රාණ යනුවෙන් ද දැක්වේ. පාලි අටුවාචාරීන් පිරිත විග්‍රහ කර දක්වනුයේ
මෙසේ ය.
හාත්පසින් ම ආරක්ෂාව සලසන නිසා පිරිත වේග අන්තරාය දුරුකරමින් ආරක්ෂණය කරන හෙයින්
පිරිත වේ. සියලු උපද්‍රවයන්ගෙන් ආරක්ෂා කරන බැවින් පිරිත වේ.
හාත්පසින් සත්ත්වයන්ගේ බිය ද, උවදුරු ද, අනතුරු ද, දුරුකොට ආරක්ෂා කරන බැවින් පිරිත
වේ යනුවෙනි.
බුදුදහමට අනුව මිනිසා මවුකුසට පැමිණි දා සිට මරණය දක්වාත්, මරණින් පසුවත් ආරක්ෂාව,
රැකවරණය ලබාදෙන මිල කළ නො හැකි ආශිර්වාදයක් ලෙස පිරිත හැඳින්විය හැකි ය. මහජනතාවගේ
සුබ නැකැත් කටයුතුවල දී පැමිණෙන දෝෂ ද, ඇස්වහ, කටවහ, හෝවහ ආදී සියලු දෝෂ ද දුරු
කරයි.
ඈත අතීතයේ එනම් ප්‍රාග් බෞද්ධ යුගයේ ඒ ඒ දෙවි දේවතාවරුන්ගෙන් ආරක්ෂාව ලබාගනු පිණිස
ගායනා කරනු ලැබූ ගීතිකාවෝ සෘග් වේදයෙන් දැකගත හැකි ය. සතුරන්ගෙන් ආරක්ෂාව පිණිස,
ඔවුන් ජයග්‍රහණය පිණිස ආහාර, අව්ව, වැස්ස ලබා ගැනීමට ද, දරුවන් ලබා ගැනීම සඳහා ද
එසේ ගීතිකා ගැයූහ. එදා බිය මුල්කරගෙන, භෞතික වස්තූන් සරණ යමින් සිදුකළ අවිචාරවත්
ආරක්ෂණ ක්‍රියාවලිය වෙනුවට, තෙරුවන් සරණ යාමෙන් සියලු රැකවරණය ලබාගත හැකි බව
බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළහ. බියට පැමිණෙන්නවුන්ගේ ආරක්ෂාව සඳහා දේශනා කළ
සූත්‍ර පිරිත් නමින් හැඳින්වේ.
පිරිත මුල් අවදියේ ජන සමාජයට පැමිණියේ සත්‍ය ක්‍රියාවක් වශයෙනි. අංගුලිමාල පිරිත,
රතන සූත්‍රය ඊට උදාහරණ වේ. විජය රජුගේ ආරක්ෂාව පිණිස, සක් දෙව් රජුගේ අණ පරිදි
උපුල්වන් දෙවියන් ලක්දිවට පැමිණ විජය රජුට පිරිත් නූල් බැඳ පිරිත් පැන් දුන් බව
මහාවංසයේ සඳහන් වේ. විශාලා මහනුවර ඇති වූ තුන්බිය දුරු කිරීම පිණිස රතන සූත්‍රය ද,
එක්තරා භික්ෂු පිරිසකට අමනුෂ්‍යයන්ගෙන් ඇති වූ උවදුරු දුරු කිරීමට ‘කරණීය මෙත්ත
සූත්‍රය’ ද අනුදැන වදාළ හ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, මුගලන් මහ රහතන් වහන්සේ,
බුදුරජාණන් වහන්සේ, අසනීප වූ විට සප්ත බොජ්ඣංග සිහිකොට සජ්ඣායනා කරවා සත්‍ය ක්‍රියා
කළ බව බොජ්ඣංග සූත්‍රවලින් දැක් වේ. ගිරිමානන්ද හාමුදුරුවන් රෝගාතුර වූ අවස්ථාවේ
ගිරිමානන්ද සූත්‍රය අනුදැන වදාළ හ. දරු ප්‍රසූතියෙන් වේදනාවට පත් ගැබිණි මාතාවකට
සත්‍ය ක්‍රියා බලයෙන් සුවය ලබාදීම සඳහා අංගුලිමාල පිරිත ප්‍රකාශයට පත් විය.
සියලුම පිරිත් සූත්‍රවල අඩංගු වන්නේ තෙරුවන්ගේ උත්තරීතර ගුණය යි. ඒ ගුණයන් පෙන්වා
දෙමින් සත්‍ය ක්‍රියා කිරීම, අධිෂ්ඨාන කිරීම, මෛත්‍රී කිරීම පිරිත මඟින් සිදුවේ. එ
පමණක් නොව සත්‍ය පාරමිතාව, අධිෂ්ඨාන පාරමිතාව, මෛත්‍රී පාරමිතාව ඉස්මතු කරමින්,
බෝධිසත්ත්ව ගුණ හදවත් තුළ දියුණු කරමින් නිස්සරණාධ්‍යාසයෙන් සිදුකරන උතුම් ම සෙත්
පැතීමක් පිරිත තුළින් සිදුවේ.
ත්‍රිවිධ රත්නයේ අසීමිත ගුණ බලයෙන් ස්ථිර අධිෂ්ඨාන ශක්තියත්, ආඥා ශක්තියත් තුළින්
ගොඩනැගෙන මහා බලයට විශ්ව ශක්තිය ද එකතු වී, අනිටු බලවේග මැඩ පැවැත්වීම පිරිත මඟින්
සිදුවෙන කාර්ය යි. පිරිත් දේශනාවෙන් සියලු උවදුරු නසාලීමේ ශක්තිය ලැබෙන්නේ, පිරිත්
දේශනා කරන භික්ෂූන් වහන්සේගේ ඒ පිළිබඳ අනුකූල පැවතුම් නිසා ය. මිලින්ද ප්‍රශ්නයේ ද
එය මෙසේ විස්තර කරයි.
“මහණෙනි, පිරිතත්, මෛත්‍රී පූර්වංගමව පවත්වන්නවුන්ගේ ශබ්දය පැතිරෙන්නේ ය. දිව
වියළෙන්නේ ය. චිත්තය පෙරෙළෙන්නේ ය. නෙලුම් කැකුළක් වැනි හෘදය වස්තුව පෙළෙන්නේ ය.
උගුර බැරැන්ඩි වන්නේ ය. ඒ පිරිත් කියන්නන්ගේ පවත්වන උපක්‍රමයෙන් රෝගීන්ගේ සියලු
ව්‍යාධිහු සමනය වන්නා හ. සර්වාන්තරයෝ හිරු පැමිණි අඳුර මෙන් පහවන්නා හ.”
දේශකයන් වහන්සේ මෛත්‍රී පූර්වංගමව නිසි ලෙස වචන උච්චාරණය කරමින්, පිරිත් ධර්මය
සජ්ඣායනා කළයුතු අතර, ශ්‍රාවකයා සිල්වත් ව, ශ්‍රද්ධාවෙන් හා ගෞරව සම්ප්‍රයුක්තව මෙම
උතුම් දේශනාවෙන් අර්ථසිද්ධියක් වේය යන විශ්වාසයෙන් යුතුව ශ්‍රවණය කළ යුතු ය. එසේ
කටයුතු සිද්ධ වීමෙන් පිරිතෙහි ආනිශංස කල් නො යවා දිට්ඨධම්මවේදනීය වශයෙන් ද,
මරණාසන්න අවස්ථාවේ මෙම සත්ක්‍රියාව ඉදිරිපත් ව, උපපජ්ජවේදනිය කර්මයක් වී සුගතිගාමී
වීම ද සිදු වේ. මේ අනුව පිරිත දෙලොව වැඩ සලසන සසර ගමනේ බාධක දුරු කරමින්
කර්මානුකූලව පියවරින් පියවර මිනිසා නිවන් මඟට යොමු කරවයි.
පිරිතට සූදානම් වන විට ම එහි ආනිශංස ලැබීමට පටන් ගනී. පිරිත් කීමට පෙර බාහිර පරිසරය
සකස් කරගත යුතු ය. ඒ සඳහා බොහෝවිට ම ගෙවල් දොරවල් පිරිසුදු කිරීම සිදුවේ. නිවස තුළ
ඉතා ම සුදුසු තැන පිරිත් මණ්ඩපය ඉදි වේ. කහ වතුර ඉසීම, සාම්බ්‍රානි වැනි දුම්
ඇල්ලීම, පොල්තෙල් පහන් දැල්වීම, ගොක් කොළවලින් සැරසීම, පිරිතට පෙරාතුව සිදුවේ.
මේවායින් පරිසරය තුළ ඇති විෂබීජ නැති කිරීම, පූර්වකෘත්‍ය අවස්ථාවේ දී ම ලැබෙන
ආනිශංස වේ. පිරිත් මණ්ඩපයට ගන්නා සාම්බ්‍රානි, සුවඳ මල් වර්ග, පුවක් මල්, පොල් මල්,
පොල්තෙල් පහන්, සුවඳ දුම්, ලදපස් මල්, පෙරාගත් නො ඉඳුල් පැන් කපුරු, පිනිදිය ආදිය
ද, නාදළු, බුලත් කොළ, නික කොළ, නුග කොළ ආදී කොළ වර්ග නිසා ඖෂධීය ගුණය මෙන් ම
විශ්වයේ ශක්තීන් ගොනු කිරීමේ බලය ද ඒ තුළ වේ.
විෂබීජ රහිත, ඖෂධීය ගුණය ඇති සුවඳවත් පරිසරය තුළ භූත පිශාචාදීන්ට විසිය නොහැකි ය.
සර්වඥ ධාතූන් වහන්සේ, පිරිත් පොත්, පිරිත්හුය මහසංඝයා වහන්සේ පිරිත් මණ්ඩපයට වැඩම
කිරීමත්, පිරිත් ශ්‍රවණය කිරීමට සපැමිණෙන දෙවි දේවතාවුන් හා මහාපුණ්‍යවන්තයන්ගේ
ඒකරාශී වීමත් නිසා පිරිත් දෙසුමට පෙර සිටම එහි ආශිර්වාද පුද්ගල ජීවිතවලට ලැබීම
අනිවාර්යයෙන් ම සිදුවේ. නිසි ලෙස පිරිත පටන්ගෙන, අවසන්කර පිරිත් නූල්, පිරිත් පැන්
බෙදා දී නිවෙස් ආරක්ෂාකර දෙවියන්ට පින්දීම ආදී කටයුතු සිදුවීමෙන් පිරිතෙහි ගුණය
ආනිශංසය වහා ලැබෙන බව මොනවට ප්‍රත්‍යක්ෂ වේ.
තුන් යම් රාත්‍රියක් මුළුල්ලෙහි සජ්ඣායනා කරන පිරිත් පොතට බණවර සතරක් අඩංගු වේ. ඒ
බණවර සතර නම්,
01. සරණාගමනය, දසසික්ඛා, සාමණේර පඤ්හ, ද්වත්තිසකාර, පච්චවෙක්ඛණ දසධම්ම, මංගල, රතන,
කරණීය මෙත්ත, මිත්තානිසංස, ඛන්ධ පරිත්ත, මෙත්ත, මෝර, චන්ද, සුරිය, හා ධජග්ග
සූත්‍රය ද ඇතුළත් කොටස පළමු බණවර වේ.
02. බොජ්ඣංග සූත්‍ර, ගිරිමානන්ද, හා ඉසිගිලි සූත්‍ර දෙවන බණවරට ඇතුළත් වේ.
03. තුන්වන, හතරවන, බණවර දෙකම ආටානාටිය සූත්‍රයෙන් සම්පූර්ණ වේ.
04. මෙම සතර බණවරට අතිරේක වශයෙන්, 1. ධම්මචක්කපවත්තන සුත්ත, 2. මහාසමය සුත්ත, 3.
ආලවක සුත්ත, 4. කසීභාරද්වාජසුත්ත, 5. පරාභවසුත්ත, 6. අග්ගිකභාරද්වාජ සුත්ත, 7.
සච්චවිභංග සුත්ත යන මෙම සූත්‍ර සත ද පිරිත් පොතට ඇතුළත් කර ගන්නා ලදී.
කල්යත්ම පිරිත් පොතට අගින් ජය පිරිත, ගිනි පිරිත, චක්ක පිරිත, ජ්වර පිරිත, සීවලී
පිරිත, මහ ජයමංගල ගාථා ඇතුළත් විය. ඉතා මෑතක දී ඇතුළත් වූයේ ජලනන්දන පිරිත
යි.මහායාන, වජ්‍රයාන බලපෑම් නිසා එකතු වූ ඇතැම් පිරිත්වල පාලි වචන වෙනුවට සංස්කෘත
වචන එකතු වී ඇත.
මේ සියලුම පිරිත්වලින් විශාල පිහිටක් ලැබෙන බව බෞද්ධයන්ගේ පිළිගැනීම යි. පිරිත ගණ
සජ්ඣායනා කිරීමෙන් හෝ එකම පදය හෝ එකම පෙළ හැමදෙනා වහන්සේ එකවර මධුර ස්වරයෙන් කීමෙන්
පිරිත් දෙසුමෙන් බලාපොරොත්තු වන කාර්යය ඉටු කරගත හැකි ය. |