UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

උඳුවප් පසළොස්වක 2017.12.03

කුසල් කිරීමට පමා නො වන්න

කාලය වේගයෙන් ගෙවී යතැයි මෙකල බොහෝ දෙනා මැසිවිලි නගති. දවසක් ගෙවී තවත් දවසක් උදාවීම, සතියක්, මාසයක්, වසරක් ගෙවී යාම නො දැනෙන තරම් යැයි ද කියති. එහෙත් කාලයට නැවතුම් තැබිය හැකි කිසිවෙකු ඇත්තේ නැත. ගෙවුණු කාලයක් ගැන සිතමින් ඊට දොස් කියනවාට වඩා කරන්නට හැකි බොහෝ දේ ඇත.

මේ උදාවුණේ 2017 වසරේ අවසන් පුර පසළොස්වක පොහෝ දිනය යි. ගෙවී ගිය වසරක කාලයෙන් උපරිම ප්‍රයෝජන ලැබුවා ද? කොපමණ කාලයක් අපතේ හැරියා ද? ජීවිතයට එකතු පහදු කරගත්තේ මොනවා ද? යහපත ද? අයහපත ද? නැවත ආවර්ජනය කළේ නම්, තමන්ට තමන් ගැනම තක්සේරුවකට එන්නට පුළුවන. ලැබුණේ සුබදායී නො වන පිළිතුරක් නම්, ඒ ගැනම තැවීම, නිරන්තර සිතීම ජීවිතය තවත් ආපස්සට ගෙන යයි. ප්‍රමාද කරයි. එහෙයින් එය, අත්දැකීමක් කරගෙන මේ මොහොතේ සිට පමා නො වන්නට සිත ධෛර්යමත් කර ගැනීම වැදගත් ය. නො පමවා විය යුතු කුමට ද? කුසලය සඳහා ය. බෞද්ධයන් ලෙස අපි කුසලයට අලස නො විය යුතු වෙමු. ප්‍රමාද නො විය යුතු වෙමු. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ නො පමා බව, සැලකිලිමත්කම නිවනට හේතුවන බව ය. පමාව නො සැලකිල්ල මරණයට හේතුවන බව ය.

ඇතැමුන් ජීවත් වෙති. එහෙත් මළවුන් වැනි ය. ඒ පමා වූවන් ය. ඇතැමුන් මිය ගිය ද නො මළවුන් වැනි ය. ඒ කුසලයට අප්‍රමාදි වූවන් ය. තමන්ගේ චරිතය, නාමය අමරණීය කරන්නට වෙනත් කිසිවෙකුට නො හැකි ය. එය කළ හැකි තමන්ට ම ය.

ඒ සඳහා උට්ඨාන වීර්ය ඇවැසිය. තථාගතයන් වහන්සේ පෙන්වා දුන්නේ නො පසුබට වීර්ය ඇති, සිහි නුවණ ඇති, විමසා බලා කටයුතු කරන දැහැමි දිවි පැවතුම් ඇති පුද්ගලයාගේ කීර්තිය පැතිරී යන බව ය. සිහි නුවණ ඇති බව නම්, සති සම්පජඤ්ඤය යි. සිහි නුවණ ඇත්තාගේ කය සංවර වේ. වචනය සංවර වේ. හික්මීමක් ඇතිවේ. ජීවිතය ශක්තිමත් කරන පදනම ඒ හික්මීම යි. එනම් සීලය යි. සීලය ක්‍රියාවට නොව වචනයට පමණක් සීමා කරන්නට ගියේ නම් ජීවිතයේ අර්බුද වැඩි වේ.

සීලය, සංවරකම ඉබේ ලැබෙන්නක් නොවේ. ජීවිතයේ මුහුණ දෙන අනේක ප්‍රශ්න ගැටලු හමුවේ සංවරකම ගිලිහී යන්නට පුළුවන. ක්ෂණික ආවේගය සියල්ල උඩු යටිකුරු කරන්නට පුළුවන. මේ නිසා සංවරය නම් පුරුදු පුහුණු කළ යුත්තකි. ඒ සඳහා ද හොඳ සිහිනයක් ඇවැසි ය. සිහිය නැති තැන සුළු ප්‍රශ්නයක් වුව දුරදිග යයි. සාමයෙන් විසඳාගත නො හැකි වෙයි. ජීවිතය අවුල් වෙයි. පැටලුණු නූල් පන්දුවක පැටලුම් හැරීම මහත් අසීරු ය. බොහෝවිට තව තවත් පැටලෙන්නේ ය. ලිහිල් වීමක් නැත. අවුල්වුණු, පැටලුණු ජීවිතය ද එලෙස ය.

සුළුවෙන් සිතා නො සලකා හැරිය ද අප වෙත වන විෂම පැවතුම් බොහෝ ය. කෙනෙක් අනුන්ගේ මිස තමන්ගේ වැරැදි නො දකිති. තමන්ගේ වැරැදි නො දකිනතාක් තමන්ට නිවැරැදි වන්නට නො හැකි බව අවබෝධ කරගැන්ම වටනේ ය. අනුන්ගේ අඩුපාඩු, හැකි නො හැකිකම්, දුර්වලකම් විවේචනය කරන්නට යාම නිසා උපදින ගැටලු දුරදිග යන්නට පුළුවන. නො සිතූ කරදර වන්නට පුළුවන. බුදු හිමියන් දේශනා කොට වදාළේ අනුන් කළ දේ නො සොයන ලෙස ය. අනුන් නොකී දේ නො සොයන ලෙස ය. තමන්ගේ අඩුපාඩු ගැන නිරන්තර විමසිල්ල සමාජය සමඟ විය හැකි ගැටුම් නැති කරයි. වටිනා කාලය තමන්ගේ දියුණුවට යොදවන්නට හැකිවෙයි.

අපගේ සිතුම් පැතුම් එකිනෙකාට අසමාන ය. අසමාන බව දැන දැන සමානකම සෙවීම මුළාවක් ය. එවිට වෛරය, තරහව, කෝපය ඇති වේ. මේ අකුසල සිතිවිලි දෙලොව යහපතට බාධක ය. නිවන් මඟ අවුරන්නේ ය.

අප වෙත වන මෙවන් විෂම පැවතුම් බොහෝ ය. ඒ සියල්ලට යොදවන කාලය නැවත ඇතුන් ලවාවත් ආපසු ඇද ගැන්මට නො හැකි ය. බෞද්ධයන් ලෙස අපට අපූර්ව වූ ද, පහසු වූ ද ධර්ම මාර්ගයක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත. දන්, සිල්, භාවනා පින්කම්හි නියැළෙමින් ඒ දහම් මාවතේ ගමන් කරන්නේ නම් දෙලොව වැඩ සලසා ගැන්ම අපහසු වන්නේ නැත. වටිනා කාලය අපතේ යන්නේ ද නැත.

 

උඳුවප් පුර පසළොස්වක පෝය 


උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 03 වන දා ඉරිදා පූර්ව භාග 00.57 ට ලබයි. එම දා අපර භාග 9.16 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම දෙසැම්බර් 3 වන දා ඉරිදා ය.
 

මීළඟ පෝය දෙසැම්බර් 10 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 03

Second Quarterඅව අටවක

දෙසැම්බර් 10

Full Moonඅමාවක

දෙසැම්බර් 17

First Quarterපුර අටවක

දෙසැම්බර් 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]