UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අටුපොත්දෙණිය පොත්ගුල් රජ මහා විහාරය

අටුපොත්දෙණිය පොත්ගුල් රජ මහා විහාරය


විහාරාධිපති
දමනේවෙල නන්දසිරි හිමි

පස්යාල ගිරිඋල්ල මාර්ගයේ කණ්ඩලම හන්දියෙන් මීරිගම අලව්ව මාර්ගයේ සැතපුම් දෙකක් පමණ ගිය විට මදුරුපිටිය හන්දිය හමුවේ. එතැනින් දකුණු පසට වැටී ඇති මඟෙහි තවත් සැතපුම් භාගයක් පමණ ඉදිරියට ගමන් කළ විට දකුණු පසට වන්නට අටුපොත්දෙණිය රජ මහා විහාරස්ථානය පිහිටා තිබේ. පුරා වෘත්තයන්හි කියැවෙන ලෙස අටුපොත්දෙණිය පොත්ගුල් රජමහා විහාරය වළගම්බා රාජ සමයේ සිට පැවත එන්නකි. විහාරාධිපති දමනේවෙල නන්දසිරි හිමියන්ගේ අදහසට අනුව මාතලේ අළු විහාරයේ දී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම සඳහා භාවිතයට ගත් පුස්කොළ සකස් කිරීම මෙම විහාරස්ථාන යේ සිට සිදු කර ඇත.

විහාරස්ථානය අවට ප්‍රදේශයන්හි අදට ද බහුල ලෙස වැඩෙන තල් ගස් ඒ ප්‍රවෘත්තිය පිළිගත හැකි බවට සාධක සපයන බව උන්වහන්සේ පෙන්වා දෙති. එකල ඇති වු බැමිණිටියා සාගතය නිසා මෙහි පැමිණි භික්ෂූන් වහන්සේ අටුවා පොත් ආරක්ෂා කළ බව ද පුරාවෘත්තවල කියැවේ.

අටුපොත්දෙණිය පුරාණ පොත්ගුල් රජමහා විහාරය පිළිබඳව විධිමත් ලිඛිත තොරතුරු මෙතෙක් හමු වී නැත. එහෙත් ඒ පිළිබඳව වන ආගමික භක්තිය වඩන ජනප්‍රවාද බොහෝ ය. දෙවැනි පරාක්‍රමබාහු රජ දවස ප්‍රාදේශීය නායකයෙක් හෝ රටේ රාළ නම් ආදායම් පාලකයෙක් විසින් මෙම විහාරස්ථානය කරවූ බව එක් ජනප්‍රවාදයක කියැවේ.

අටුපොත්දෙණිය රජමහා විහාරය ඓතිහාසික වශයෙන් වැදගත්කමක් හිමි කර ගන්නේ එහි ඇති ටැම්පිට විහාර ගෙය නිසා ය. ගම්පහ දිස්ත්‍රික්කය තුළ අටුපොත්දෙණිය හැරුණු කොට ගනේවත්ත, මැටිකොටමුල්ල, මොට්ටුන්න, ඇද්දල්ගොඩ, යටවත්ත, වරපලාන යනාදී ස්ථානයන් හිද ඉපැරැණි ටැම්පිට විහාර වේ.

අටුපොත්දෙණිය පුරාණ විහාරයෙහි ටැම්පිට විහාරය පිහිටා ඇත්තේ අඩි දෙකක් පමණ උස් වූ ගල්වැටි විසි එකක් මත ය. ගල්වැටි මත රැඳවූ දැවමය බාල්කමත වරිච්චි බිත්ති බැඳීමෙන් පිළිමගෙය නිමවා ඇත. දිගින් අඩි 35 ක් පළලින් අඩි 13 ක් වූ ටැම්පිට විහාරයේ පිළිමගෙය වටා අඩි දෙකයි අඟල් හයක් පමණ පළලින් යුතු ප්‍රදක්ෂිණා පථයක් ඉදිකොට ඇත. එය වන්දනා කරුවන්ගේ පහසුව පිණිස සාදවන්නට ඇතැයි කියැවේ.

විහාර ගෙය වටා ඇති වරිච්චි බිත්ති හා ප්‍රදක්ෂිණා පථය වටා ඇති දැවමය කණු මත වහලය තනා ඇත. එය පල සතරකින් යුතු ය. පෙති උළු සෙවිලි කර ඇත. පිළිම ගෙයට පිවිසෙන දොරටුව දෙපස දොරටුපාල රූප දෙකකි. පිළිමගෙයි ඇතුළත බිත්ති සේම පිටත බිත්ති ද සිතුවම්වලින් අලංකාර කර ඇත. සිවිලිමෙහි ද සිතුවම් ඇඳ ඇත. සූවිසි බුදුවරයන් වහන්සේ අසූමහා ශ්‍රාවකයන් වහන්සේ මෙන්ම මාලා කර්ම, ලතා කර්ම ආදී සිතුවම් ද වේ. මානව හා ගහකොළ ආදී සිතුවම් සැබෑ අයුරින්ම පෙන්වා දීමට උත්සාහ ගෙන ඇත.

විහාර මන්දිරයෙහි හිඳි පිළිම වහන්සේ නමක් හා හිටි පිළිම වහන්සේ දෙනමක් වැඩ සිටිති. හිඳි පිළිම වහන්සේ වීරාසන ක්‍රමයට ධ්‍යාන මුද්‍රාවෙන් නිර්මාණය කර ඇත. චීවරය ඒකාංශ නිරූපණයෙන්ද, චීවරයේ රැලි දියරැලි ආකාරයෙන් ද නිරූපිතය. පිළිම වහන්සේ වටා විහිදෙන රශ්මි මාලාවකි. වර්ණාලේපිත ප්‍රතිමා වහන්සේ නමකි. ප්‍රධාන හිටි පිළිම වහන්සේ දෙපසින් හිටි පිළිම වහන්සේ දෙනමකි. අභය මුද්‍රාවෙන් නිරූපිතය.

දේවරූප දෙකක් සහ පසුකාලීනව තැම්පත් කරන ලද කිරිගරුඬ හිඳි පිළිම වහන්සේ නමක්ද අටුපොත්දෙණිය ටැම්පිට විහාර ගෘහයෙහි වේ. දේව රූප නාථ දෙවියන්ගේ හා විෂ්ණු දෙවියන්ගේ බව විශ්වාස කෙරේ. මෙම දේව ප්‍රතිමා විචිත්‍රත්වයෙන් මූර්තිමත් කොට තිබීම සුවිශේෂී ය. එකිනෙකට මුහුණ ලා සිටී. නාථ දේව ප්‍රතිමාවේ ස්වභාවය සෞම්‍යයය. විෂ්ණු දේව ප්‍රතිමාව ගැඹුරු ගාම්භීරත්වයක් පෙන්නුම් කරයි.


ටැම්පිට විහාරය

පිළිමගෙය තුළ කිරිගරුඬ හිඳි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ද දක්නට ලැබේ. දීප්තිමත් ස්වභාවයක් ගනී. බුද්ධ ප්‍රතිමාවේ චීවරය කහ පැහැතිය. එහි රේඛා රක්ත වර්ණයෙන් මතු කොට දක්වා ඇත. මෙම ප්‍රතිමා වහන්සේ පසු කාලීනව අටුපොත්දෙණිය රජමහා විහාරයට ලැබුණු බව පැවසේ.

සූවිසි බුදුරජාණන්වහන්සේ නිර්මාණය කර ඇති සිතුවම්වල උන්වහන්සේලාට වන්දනා කරන විවිධ පුද්ගලයන් ද නිරූපිතය. අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ සිතුවම් කොට ඇත්තේ සුවිසි බුදුවරුන්ගේ සිතුවම්වලට පහළිනි. නිල්, කහ, රතු, කළු ආදී වර්ණ පොදු වර්ණයන් ලෙස භාවිතය.

ටැම්පිට විහාරයෙහි ප්‍රධාන හිඳි පිළිම වහන්සේ ඉහළින් ඇති වියනෙහි සිතුවම් සරලය. මාලා කර්ම හා ලතා කර්ම චාම්ය. ඉන්පසු දක්නට ලැබෙන්නේ පලා පෙති, ලියවැල් ආදී විවිධ මෝස්තරයන්ය. ඉන්පසු පැතිරී ගිය ලිය වැලකි. මීට අමතරව නෙළුම් මල් හා වෙනත් පුෂ්පයන්ද විවිධ පක්ෂීන් ගේ රූ ද සිතුවම් කොට ඇත.

අටුපොත්දෙණිය පුරාණ රජමහා විහාරය පොත්ගුල් විහාරය ලෙසින්ද හැඳින්වේ. ජනප්‍රවාදයේ සඳහන් වන්නේ පුරාණයේ පොත්ගුලක් පැවැති බවත්, එය වළගම්බා රාජ්‍ය සමයට නෑකම් කියන බවත් ය.

අටුපොත්දෙණිය රජමහා විහාරයට ධර්ම ශාලාවක්, පහන් ගෙයක් ආදී නව අංග එක් වන්නේ අසුව දශකයේ මැද භාගයේ දී පමණ ය. ඒ විහාරාධිපති දමනේවෙල නන්දසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙනි. උන්වහන්සේ ගේ ධෛර්යය, හා උනන්දුව මත නව විහාර මන්දිරයක් ද ඉදි කොට ඇත. උස් බිමක පිහිටි චෛත්‍ය රාජයාණන් වහන්සේ අටුපොත්දෙණිය පුරාණ රජමහා විහාරයට වෙසෙස් ආගමික වටිනාකමක් සේ ම දර්ශනීය බවක් ද එක් කරයි.

මේ විහාරස්ථානයේ ඓතිහාසිකත්වය රැක ගනිමින්, නව විහාර අංගෝපාංග කරමින් දියුණු කිරීමට විහාරාධිපති හිමියන් ගන්නා උත්සාහය පැසසුම් කටයුතුය. මෙවැනි පැරැණි විහාර දැක බලා ඉතිහාසය ඉගෙනීම, ඒවා මතු පරපුරටත් දැක බලා ගන්නට ආරක්ෂා කර දීම වෙසෙසින් වත්මන් පරපුරේ වගකීම බව උන්වහන්සේ පෙන්වා දෙති.

 

උඳුවප් පුර අටවක පෝය


උඳුවප් පුර අටවක පෝය නොවැම්බර් 26 වන දා ඉරිදා පූර්ව භාග 09.51 ට ලබයි. 27 වන දා සඳුදා පූර්ව භාග 11.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 26 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය දෙසැම්බර් 03 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 26

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 03

Second Quarterඅව අටවක

දෙසැම්බර් 10

Full Moonඅමාවක

දෙසැම්බර් 17


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]