UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ

විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ

පින්වත්නි

නිර්දෝෂී උතුමන්ට අවැඩ කරන, දෝෂාරෝපණය කරන, නින්දා අපහාස කරන, බාධා කරන අයට විඳීමට සිදුවන බව දේශනා කළ අපේ බුදුරජාණන් වහන්සේ, පව්කම් කරන විට මිහිරි ලෙස සිතුවත්, ඒවායේ විපාක විඳින කල්හි දැඩි ලෙස පීඩා විඳුමට සිදුවන බව අවධාරණය කර ඇත.

අප ජීවත්වන සමාජයේ සත්පුරුෂයන් මෙන් ම අසත්පුරුෂයන් ද දක්නට ලැබේ. ඇතැම්විට සත්පුරුෂයන්ට වඩා අසත්පුරුෂයන් වැඩි වන්නට පුළුවන. සත්පුරුෂයා සැමවිට යහපත් දේම සිතයි. කරයි, කියයි.

සතර බ්‍රහ්ම විහරණවලින් යුතුව කටයුතු කරයි. තමාගේත්, අනුන්ගේත් හිත පිණිස කටයුතු කරයි. විශේෂයෙන් ඔහු ජීව අජීව ලෝකයටම හිතවත් වෙයි. ලෝකයට හිත පිණිස වැඩකරන එවන් සත්පුරුෂයන්ගේ ක්‍රියාවන් අගය කරන අය මෙන් ම ඒවාට අකුල්හෙලන අය ද වෙති. ඒවා අගය නොකරන, ඒවාට බාධාකරන විවිධ අවලාද චෝදනා නඟන චරිත ඝාතනය කරන්නට වෙරදරන අසත්පුරුෂයන් ද කොතෙකුත් ය. පහත් පුද්ගලයින් කොපමණ බාධා හිරිහැර කළ ද, ඉන් නොසැලී අකම්පිතව, මහා නුග රුකක් මෙන් ද, මහා පර්වතයක් මෙන් ද කටයුතු කිරීම සත්පුරුෂයාගේ ලක්ෂණයයි.

අපේ බුදුරජාණන් වහන්සේට නින්දා අපහාස කළ උදවිය බොහෝ සිටි බව බුදුසිරිතෙන් මනාව පැහැදිලි වෙයි. එය අපට ද ආදර්ශයකි. නූතන ශාසනාලෝකයේ ආදිකර්තෘන් වහන්සේ වන අසරණ සරණ වැලිවිට සරණංකර සඟරජ මාහිමියන්ගේ උදාර සාසනික මෙහෙවරට බාධා කළ, උන්වහන්සේට අපහාස කළ උදවිය පිළිබඳව බොහෝ දෙනා අසා ඇත. එසේ ම, නූතන බෞද්ධ ප්‍රබෝධයේ නිර්මාතෘවරයෙකු වන ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාට බාධා කළ, නින්දා කළ උදවිය පිළිබඳව ද අප අසා ඇත. කුමන බාධා අපහාස ලැබුණත් උදාරාධ්‍යාශයෙන් කටයුතු කළ එවැනි උතුමන් තම අභිලාශයන් ඉෂ්ට කරගත් අයුරුත්, ඒ තුළින් ලෝකයට සිදු වූ යහපතත් අපට පෙනේ.

නින්දා අපහාස කරන මොහොතේ තාවකාලික වින්දනයක් ලැබුණ ද, එවැනි ක්‍රියාවල නිරතවන පව්කාර මිනිසුන් කිසිවෙකුත් යහතින් දිවි අවසන් නොකරන බව කිව හැකි ය. මෙලොව මෙන් ම පරලොව ද දුක්පීඩාවලට භාජනය වන ඔවුන් මිහිරි ලෙස සිතා කළ ක්‍රියාවල විපාක විඳින විට ගිනිගොඩකට වැටුණවුන් ලෙස පීඩාවට පත්වන අයුරු දැක ගත හැකි ය.

වේදනං ඵරුසං ජාතිං
සරීරස්ස ච භේදනං
ගරුකං වාපි ආබාධං
චිත්තක්ඛේපංව පාපුණෙ”
(ධම්මපදය,දණ්ඩවග්ගය)

බුදුරජාණන් වහන්සේ විසින් ඉහත සඳහන් ගාථාව දේශනා කරනු ලැබුවේ මහා මුගලන් හාමුදුරුවන් වහන්සේ මුල්කර ගෙනයි.

බොහෝදෙනා යහමඟට පැමිණ ධර්මයෙහි හැසිරෙමින් යහපත් ජීවිත ගත කරන්නට වූහ. එහෙත් මිථ්‍යාදෘෂ්ටික අදහස් දැරූ බොහෝ දෙනෙක් මෙම යහපත් ක්‍රියා නො ඉවසූහ.

මිනිසුන් යහපතෙහි යොදවන මුගලන් තෙරුන් වහන්සේ විනාශ කරවීමට නපුරු පුද්ගලයන් ලවා කටයුතු යෙදූ නමුත් දෙ වතාවක් ම දිවිගලවා ගැනීමට තෙරුන්ට හැකිවිය. එහෙත් තුන්වන වතාවේ, සොරුන්ගෙන් පහර ලැබීමට මුගලන් තෙරුන්ට සිදු වූයේ උන්වහන්සේ අතීත ආත්මයක දී කළ පව්කමක ප්‍රතිඵල වශයෙනි. කිසිවරදක් නැති ගුණවත් මවුපියන් , කැලයට ගෙන ගොස් දමා තමා විසින් පහර දී ඔවුන් මරා දැමීමේ දරුණු ක්‍රියාවයි. මෙහි විපාක ආත්ම ගණනක් තිස්සේ ම වින්ද මුගලන් තෙරුන් රහත් වු පසු ද මෙසේ පීඩාවට පත් වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසින් බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. එවැනි පව්කම්හි නොයෙදෙන ලෙස අවවාද කළහ. එවැනි ක්‍රියාවල යෙදෙන්නන්ට අත්විඳීමට සිදුවන විපාක මෙසේ දේශනා කළහ.

අත් පා කැඩීම්, කැපීම්, පහර වැදීම් ආදි දරුණු ශාරිරික වධවේදනා විඳීමට සිදුවෙයි. අව්, වැසි පීඩා විඳිමින් දුකසේ උපයන වස්තුව විවිධ හේතු නිසා විනාශයට පත්වෙයි.

ඔලු පැලීම්, අත්පා අහිමිවීම්, වෙඩිවැදීම්, අකුණු පහරවැදීම් ආදියට ලක්වෙයි. සුවකළ නොහැකි, දරුණු රෝගවලට ලක්වීම හා විශේෂයෙන් චර්ම රෝග, අංශබාග පිළිකා වැනි රෝගවලට ගොදුරු වෙයි, සිහි විකල්වීම උමතු බවට පත්වීම, පිස්සෙකු සේ ක්‍රියා කිරීම සිදුවිය හැකියි. රාජ උදහසට ලක්වීම හා තනතුරුවලින් පහවීම, සොර සතුරන් විසින් ධනය පැහැර ගැනීම සිදුවේ. දරුණු දෝෂාරෝපණවලට හා අභූත චෝදනාවලට ලක්වීමට හේතුවේ. තමාට හිතැති නැදෑ හිතමිතුරන් අහිමි වේ. මතු වැඩ පිණිස රැස්කළ වස්තු අන් සතු වේ. ගේ දොර ආදිය ගිනිගැනීම් ආදි විපත්වලට ගොදුරු වේ.

මවුපියන්ට ගර්හා කරන එසේ ම ඔවුන්ගේ ජීවිත හානිකරන දරුවන් අපට දකින්නට ලැබෙයි. වැඩිහිටියන්ට, ගුරුභවතුන්ට හිරිහැර කරන,අපහාස කරන උදවිය ද දකින්නට ලැබේ. මෙවැනි පව්කම්හි යෙදෙන අය ගිහි පැවිදි දෙපක්ෂයේ ම හමුවෙයි. බොහෝ විට මිනිසුන් මෙවන් ක්‍රියාවල යෙදෙන්නේ, ලෝභ, ද්වේෂ, මෝහ මුල්කර ගෙනයි. මේ කරුණු පව්කම්වල දී එකටම පිහිටන කරුණුයි. තවකෙනකුගේ දියුණුව, යහපැවැත්ම, නිසා තමාට සිදුවන පාඩුව නො ඉවසන නිසා ලෝභයත් ,දෝෂයත් ඒ සමඟම ඊර්ෂ්‍යාවත් ඇති කර ගෙන තමාට එරෙහි වන්නාට විරුද්ධ වෙයි. ඔහුගේ පැවැත්ම නො ඉවසයි. එනිසාම එවැනි උතුමන්ට නින්දා අපහාස කරයි. අවැඩ කරයි. බොහෝ විට මෙවැනි පහත් ක්‍රියාවල යෙදෙන්නන් එක්ව කටයුතු කිරීම ද සමාජයේ ලක්ෂණයකි. ඔවුන් මෝහයෙන් වෙලී ඇති නිසා, තමන් එක්ව කරන අකටයුතුවල ආදීනවයන් අවබෝධ කර නොගෙන තව තවත් එවැනි පහත් ක්‍රියාවල යෙදී දුකට පත්වන බව පෙනෙයි. ඔවුන්ට වරද පෙන්වාදීමට ද අපහසු ය. මෙසේ පහත් ක්‍රියාවන් මිහිරි ලෙස කරන ඔවුන් ඒවායේ විපාක විඳින කල්හි ගිනි ගොඩට වැටුණවුන් සේ පීඩාවට පත් වනු ඇත. එනිසා එවැනි පහත් ක්‍රියාවලට යොමුනොවී සත්පුරුෂයන් සේ ක්‍රියා කිරීමට ඔබ සැම කවුරුත් උත්සාහ කළ යුතු ය.

 

ඉල් අමාවක පෝය


ඉල් අමාවක පෝය නොවැම්බර් 17 වන දා සිකුරාදා අපර භාග 03.29 ට ලබයි. 18 වන දා සෙනසුරාදා අපර භාග 05.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 17

 වන දා සිකුරාදා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 26 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 17

First Quarterපුර අටවක

නොවැම්බර් 26

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 03

Second Quarterඅව අටවක

දෙසැම්බර් 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]