UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

ඉල් අමාවක 2017.11.17

හෙට දිනට ඇවැසි පරපුර

නිදහසේ සතුටින් ජීවත් වෙන්නට වඩාත් සුදුසු පරිසරය සදාචාරාත්මක ගුණධර්මයන්ගෙන් පොහොසත් ය. දුරාචාර වැඩි තරමට එහි ජීවත් වන්නෝ අපමණ පීඩාවන්ට ගොදුරු වෙති. සැනසුමක් නොලබති. වෙසෙසින් ඒ ඇස ගැටෙන බාල පරපුර ද වැරැදි ආදර්ශම ගනිති. එය අනාගතයට සුබ නැත.

රටකට ඇවැසි අඳුරු වර්තමානයක් හෝ අනාගතයක් නොවේ. අඳුරට ශාප කරමින් කුසීතව සිටියේ නම් අඳුර වියැකෙන්නේ නැත. එක පහනක් හෝ දැල්විය යුතු ය. එහි වගකීම රටක පාලකයන්ට පමණක් පැවරෙන්නක් නොවේ. පුරවැසියන්ගේ, ද වගකීමකි. එහි දී දරුවන්ට වෙසෙස් තැනක් දිය යුතු ය. රටක ජීවනාලිය දරුවන් වන බැවිනි. අනාගතය ගොඩනැඟෙන්නේ ඔවුන්ගේ ක්‍රියාකලාප මත ය. වැරැදි ආදර්ශයකින් ලෝකය දුටුවේ නම්, ඔවුන්ගේ හැසිරීම් ද සමාජ ප්‍රගමනයට හේතු වන්නේ නැත. ජීවත්වීමෙන් ලද අත්දැකීමෙන් දැනුම් තේරුම් ලැබූ වැඩිහිටියන් හොඳ සිහි කල්පනාවෙන් එය අවබෝධ කරගෙන දැනුම් තේරුම් නැති ළාබාලයන්ට හොඳ දේ දෙන්නට උත්සුක විය යුතු ය. ළමයින් කායිකවත්, මානසිකවත් ආරක්ෂාකර නොගත්තේ නම් හෙට යහපත් පරිසරයක් බලාපොරොත්තු වීම ඵල රහිත ය.

ළමා පරපුර පිළිබඳ ව විශේෂ අවධානයක් යොමු කරමින් රජය ඔවුන් වෙනුවෙන් නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීම පැසසුම් ය. ඒ ළමයින්ගේ කායික මානසික සංවර්ධනයට වඩාත් හිතකාමී යහපත් පරිසරයක් ගොඩනැගීම අරමුණු කර ගනිමින් ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ආරම්භ කර ඇති ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩසටහනයි. එහි දී, සමාජයේ දැනට පැතිර පවතින විවිධ ව්‍යසනයන්ගෙන් ළමා පරපුර ආරක්ෂා කර ගැනීම ප්‍රමුඛම අවශ්‍යතාවක් ලෙස හඳුනාගෙන ඇත. ඒ සඳහා අපයෝජන හා අපහරණය වැළැක්වීම, ආරක්ෂාව තහවුරු කිරීම, සෞඛ්‍ය, පෝෂණය හා සුබසාධනය, පෞරුෂ සංවර්ධනය, අධ්‍යාපනය හා ජීවන කුසලතා නැංවීම යන පස්වැදෑරුම් අංශ ඔස්සේ වැඩසටහන් ක්‍රියාත්මක ය. රජය එවැනි වැඩසටහන් ක්‍රියාවට නගන අතරතුර රටේ පුරවැසියන්ට ලැබෙන වගකීම ද සුළුපටු නැත. විශේෂයෙන් අපේ ළමා පරපුර හොඳ දිශානතියකට යොමු කිරීමේ පුරෝගාමීන් වන්නේ මවුපිය දෙදෙනා ය. මවුපියන්ට ඇති පරම වස්තුව දරුවන් යැයි ‘පුත්ථා වත්ථු මනුස්සානං’ බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. ඒ වස්තුව රැක ගැනීම අවබෝධයෙන් හා සැලකිල්ලෙන් කළයුතු වූවකි. කුඩා මනසට වැඩිහිටියන්ගේ දැඩි ගතිගුණ දරාගැනීම අසීරු ය. කුඩාවියේ බිඳුණු මනස, ව්‍යාකූල වූ මනස යළි ප්‍රකෘතියට, ගැන්ම අසීරු ය. දරුවා ලෝකය දකින්නේ, තීරණ ගන්නේ ඒ අත්දැකීම් ඇසුරෙනි. එහි ප්‍රතිඵල සුබදායක වන්නේ නැත.

ප්‍රශ්න, ගැටලු, අඬ දබර, කල කෝලාහල සහිත නිවසක පරිසරය දරුවන්ගේ මානසික සංවර්ධනයට අනුචිත ය. අඹු සැමියන්ගේ ප්‍රශ්න දරුවන් ඉදිරියේ විසඳා ගන්නට යෑම හා මවුපිය දෙදෙනාගේ විරසකකම් ඔවුන්ට හැඟෙන්නට හැරීම ළමා සිතේ ප්‍රබල මානසික කම්පනයක් ඇති කරයි. දරදඬු වීම, අකීකරු වීම, අගෝචර දේට පෙළඹීම, වැඩිහිටියන් ගණනකට නො ගැනීම, ආදී බොහෝ නරක ප්‍රතිඵල ඉන් සිදුවිය හැකි ය. මවුපියන් තම දරුවන් ඉදිරියේ පරිස්සමෙන් හැසිරීම වැදගත් වන්නේ මේ නිසා ය. ආදරය, කරුණාව, සෙනෙහස, සංවේදීබව, ඉවසීම, බෙදා හදා ගැනීම ආදී ගුණ දහම් නිවෙසින් ලැබෙන තරමට දරුවාගේ මනස සුවපත් ය. වැඩිවියට පත් වූ පසු අනාගතය හසුරුවන්නේ ඒ අත්දැකීම් ඇසුරෙන් ය.

මවුපියන් විරසක වන තරමට දරුවන් වෙනුවෙන් විය යුතු යුතුකම්, වගකීම් මග හැරෙන්නේ ය. එතැන ඇතිවන හිදැස හෙට දවසට ද හිස්තැනක් තබයි. ඒ හිස්තැන පිරවෙන්නේ ඉච්ඡාභංගත්වය නිසා ඇතිවන වෛරය, ක්‍රෝධය, පළිගැනීම හා අසංවේදී බවිනි. එය සදාචාරවත් සමාජයකට අනුචිත ය.

බුදු දහමේ සුවිශේෂී ම ලක්ෂණයක් වන්නේ අන්‍ය මතයන්ට ගරු කිරීම හා අන්‍යයන්ට ගරු කිරීමයි. ඒ ඉගැන්වීම් පවුල් පරිසරයට ද අදාළ ය. මවුපියන් ඔවුනොවුන්ට ගරු කරනවා නම්, අදහස්වලට ගරු කරනවා නම්,මත ඉවසනවා නම් දරුවන් පවා නොමඟ යන තරමට ප්‍රශ්න දුර දිග යන්නේ නැත. ගෙදර සාමය ඇති වන්නේ ය. මේ පිළිබඳ ව මවුපියන් සැලකිලිමත් වීම වත්මන්හි බොහෝ පවුල් පරිසරයන් හා සමඟ බලන කල කාලෝචිත බව පෙනේ.

සමාජ සදාචාරය සුරැකෙන්නේ මූලික හර පද්ධතිය වන පංචශීල ප්‍රතිපදාව ආරක්ෂාවීමෙනි. සතුන් මැරීම, සොරකම් කිරීම, කාම මිථ්‍යාචාරය, බොරුව, සුරාව නැති සමාජය සාමකාමී ය. නිදහස් ය. පස්පවින් වැළැකීමට ආගම්, භේදයක් ඇවැසි නැත. සමාජ සාමය, සාධාරණත්වය, නිදහස අපේක්ෂා කරන්නෝ, පවට බිය අය පස් පව් නොකරති. එවැනි පරිසරයක හැදෙන වැඩෙන බාල පරපුර ද ඒ ආදර්ශයෙන් ම සදාචාරවත් වෙති. හෙට දින රටට ඇවැසි එවැනි පරම්පරාවකි.

 

ඉල් අමාවක පෝය


ඉල් අමාවක පෝය නොවැම්බර් 17 වන දා සිකුරාදා අපර භාග 03.29 ට ලබයි. 18 වන දා සෙනසුරාදා අපර භාග 05.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 17

 වන දා සිකුරාදා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 26 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 17

First Quarterපුර අටවක

නොවැම්බර් 26

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 03

Second Quarterඅව අටවක

දෙසැම්බර් 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]