UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ හිටපු කර්තෘ පේ‍්‍රමසිරි අබේසිංහ

බුදුසරණ හිටපු කර්තෘ පේ‍්‍රමසිරි අබේසිංහ

සතර පොහොයදාට නිකුත් වන ‘බුදුසරණ’ වෙළෙඳපළට ගිය පසු දින ම උදය වරුවේ නොවරදවා ලැබෙන දුරකතන ඇමතුමක් විය. ඉන් කියැවුණේ බොහෝ විට අතීත සිදුවීම් සහ ‘බුදුසරණ’ හි හරබර බව ය.

එහෙත් දැනට මාස කීපයක සිට ඒ ඇමතුම නැවතී ගියේ ය. ඒ ඔහුගේ තරමක ඔත්පළ බව නිසා ය. ඉකුත් සිකුරාදා ඒ දුරකතන ඇමතුම්වලින් පමණක් නොව, ඔහු දිවියෙන් ද සදහටම සමු ගත්තේ ය. අප අතරින් සමුගත්ත ද ඔහුගේ නාමය තවත් බොහෝ කල් නොමියනු ඇත.

මෙලොව උපත ලබන සියලු සත්ත්වයෝ කලක් පැවැතී, නැති වී යාම නිරතුරුව සිදුවන්නකි. ඒ භව ගමනේ ස්වභාවයයි. ගෞතම බුදුපියාණන් වහන්සේ ලොව පහළ වී මේ ස්වභාවයෙන් ඈත්වීමට නිසිමග හෙළි කළ වදාළහ. ගෞතම බුදුරදුන් පෙන්වා වදාළ ඒ උතුම් සම්බුදු මග අනුගමනය කිරීමට මග පෙන්වනුයේ නිර්මල සම්බුදු දහම ය. මෙරට ධර්ම සන්නිවේදනයෙහි මුද්‍රිත මාධ්‍ය අංශයෙන් සදහම් වැසි වස්සන සාර ධර්ම සංග්‍රහය ‘බුදුසරණ ය’. අඩසිය වසකුත් දෙවසරක් ගෙවී ගියද ‘බුදුසරණ’ට ඇත්තේ මහත් පාඨක රුචියකි. ඒ දහම් පිපාසයෙන් පෙළෙන සමාජයට ඇවැසි දහම් මග නිරතුරුව ලබා දෙන බැවිනි.

1965 ජූනි 13 වන දා පියසේන නිශ්ශංක ශූරීන්ගේ කර්තෘත්වයෙන් ඇරැඹුණු 'බුදුසරණ' පුවත්පතෙහි දශක දෙකකට ආසන්න කාලයක් සේවය කළ ‘බුදුසරණ’ හිටපු ප්‍රධාන කර්තෘ ප්‍රේමසිරි අබේසිංහ මහතා ඉකුත් දා (10) පරලොව සැපත් විය.

කහතුඩුවේ උපන් ප්‍රේමසිරි අබේසිංහ මහතා මෙලොව උපත ලබා නිසි වියේ දී කහතුඩුව කනිටු විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබීය. අනතුරුව හොරණ විද්‍යාරත්න සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් ද අධ්‍යාපනය ලබා පුවත්පත් කලාවට පිවිසියේ ය. “ලංකාදීප”, “දවස” ආදී පුවත්පත්හි සේවයේ නියුතුව පසුව සියරට පුවත්පතේ නියෝජ්‍ය කතුවරයා ලෙසද කලක් කටයුතු කළේ ය. අනතුරුව ලේක්හවුස් ආයතනයේ ‘දිනමිණ’ උප කතුවරයෙකු ලෙස සේවයට එක් වූ ප්‍රේමසිරි අබේසිංහ මහතා ‘බුදුසරණ’ පුවත්පතෙහි කර්තෘ ධූරයට පත් විය.

දිගු කලක් බුදුසරණ කර්තෘ ධූරය හෙබවූ අබේසිංහ මහතා එමගින් සුවිසල් ආගමික ශාසනික හා සාමාජික මෙහෙවරක් ද ඉටු කළේ ය. ලේක්හවුස් බෞද්ධ සංගමයේ සමාරම්භක ලේකම්වරයා වු ඒ මහතා සංගමයේ අභිවෘද්ධිය උදෙසා ද මහ මෙහෙයක් සිදු කළේ ය. ආයතනයේ ආගමික කටයුතු සියල්ල සංවිධානය කළහ. ප්‍රේමසිරි අබේසිංහ මහතා කර්තෘ ධූරය දැරූ යුගයේ ප්‍රවීණ, නවක ගිහි පැවිදි සියලු දෙනාගේ ගැදි පැදි නිර්මාණවලින් ‘බුදුසරණ’ අලංකාර කළේ ය.

‘බුදුසරණ’ පාඨක ළමා සමාජ දහම් පාසල් පුරා ව්‍යාප්ත කළහ. සැදැහැවතුන්ගේ අගනා දහම් පඬුරක් බවට පත් කළහ. විවිධ සමිති සමාගම් රැසක විවිධ නිලතල හෙබවූ අබේසිංහ මහතා කවියෙකි. ගත් කතුවරයෙකි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. ඒ නිසාම මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්දරව වැඩ විසූ සිරිමල්වත්තේ ආනන්ද මහානායක මා හිමිපාණන් වහන්සේ වෙතින් 'බෞද්ධ පත්‍ර කලාශූරී' ගෞරව නාමයෙන්ද පිදුම් ලැබීය. එක්දරු පියෙකු වූ ප්‍රේමසිරි අබේසිංහ මහතා සිළුමිණ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නිහාල් පී අබේසිංහ මහතාගේ පියාණන් වේ.

පුරා වසර අසූ හතරක් දිවි මග ගෙවූ ‘බුදුසරණ’ හිටපු කර්තෘ ප්‍රේමසිරි අබේසිංහ මහතාණෙනි, සසර දුක් කෙළවර අමාමහ නිවන් සුවය පතනුයේ ‘බුදුසරණ’ වෙතිනි.

 

ඉල් අමාවක පෝය


ඉල් අමාවක පෝය නොවැම්බර් 17 වන දා සිකුරාදා අපර භාග 03.29 ට ලබයි. 18 වන දා සෙනසුරාදා අපර භාග 05.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 17

 වන දා සිකුරාදා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 26 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 17

First Quarterපුර අටවක

නොවැම්බර් 26

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 03

Second Quarterඅව අටවක

දෙසැම්බර් 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]