UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බාහිය දාරුචීරිය මහරහතන්වහන්සේ

බාහිය දාරුචීරිය මහරහතන්වහන්සේ

දර පතුරුවලින් කළ වැරහැල්ලක් ඇඳගෙන සිටි නිසා දාරුචීරිය යැයි කියන ‘බාහිය’ වාසය කළේ සුප්පාරක පටුනේ මුහුදු තීරේ. මිනිස්සු ඔහුට සැලකුවා. ගරු කළා. බුහුමන් කළා. පූජා කළා. යටහත් පැවතුම් දැක්වූවා.

ඒ වගේම ඔහුට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත්, පිරිකරත් හොඳට ලැබුණා. ඉතින් දවසක් හුදෙකලාවෙ භාවනාවෙන් සිටිය බාහිය දාරුචීරියට මේ අදහස ඇති වුණා. මේ ලෝකෙ රහතන් වහන්සේලා ඉන්නවා නම්, මමත් ඒ අය අතර කෙනෙක් තමයි’ කියලා.

ඒ අවස්ථාවේ බාහිය දාරුචීරියගේ පුරාණ ලේ නෑයෙකු වන දෙවියෙක් ඔහුට අනුකම්පා කර, සෙත සලසන්න හිතා, බාහිය දාරුචීරියගෙ අර සිතිවිල්ල තම සිතින් දැනගෙන, බාහිර දාරුචීරිය ළඟට ආවා. ඇවිදින් බාහිය දාරුචීරියට මෙහෙම කිව්වා.

“බාහිය, ඔබ රහතන් වහන්සේ නමක් නොවෙයි. රහත් වීමේ ප්‍රතිපදාවට බැසගත් කෙනෙකුවත් නොවෙයි. යම් ප්‍රතිපදාවකින් ඔබ අරහත්වයට පත් වෙනවා නම්, අරහත් වෙන මඟට පත් වෙනවා නම්, ඒ ප්‍රතිපදාවවත් ඔබට නෑ.”

‘එහෙම නම් පින්වත් දෙවිඳ, මේ දෙවියන් සහිත ලෝකයේ ඉන්න රහතන් වහන්සේ කවුද? රහත් මඟට බැසගත් කෙනා කවුද?”

“පින්වත් බාහිය, උතුරු ජනපදයේ සැවැත් කියලා නගරයක් තියෙනවා. මේ දිනවල ඒ අරහත් වූ සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ ඉන්නේ. පින්වත් බාහිය, අන්න ඒ භාග්‍යවතුන් වහන්සේ රහත් වීම පිණිස ශ්‍රී සද්ධර්මය දේශනා කරනවා.”

බාහිය දාරුචීරිය ඒ මොහොතේම සුප්පාරක පටුනෙන් පිටත් වුණා. හැම තැනකදීම එකම රැයක් විතරයි ගත කළේ. සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයට (කෙළින්ම) ආවා. ඒ වෙලාවේදි බොහෝ භික්ෂූන් වහන්සේලා එළිමහනේ සක්මන් කරමින් හිටියේ. ඉතින් බාහිය දාරුචීරිය ඒ භික්ෂූන් ළඟට ගියා. ගිහින් ඒ භික්ෂූන්ගෙන් මෙහෙම ඇහුවා.

‘ස්වාමීනි, ඒ අරහත් වූ සම්මා සම්බුදු වු භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නේ කොහේද? මං ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු සමිඳුන් බැහැ දකින්නට කැමතියි.’

‘පින්වත් බාහිය, භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩපාතෙට ඇතුළු ගමට වැඩම කළා.’

බාහිය දාරුවීරිය කලබල වුණා. ජේතවනයෙන් නික්මුණා. සැවැත් නුවරට පිවිසුණා.

ඔහුට සැවැත් නුවර පිණ්ඩපාතේ වඩින, දුටු පමණින්ම හිත පැහැදෙන, ප්‍රසාදයම ඇතිකරවන, ශාන්ත ඉඳුරන් ඇති, ශාන්ත සිතක් ඇති, ඉතා උතුම් ලෙස දමනය වෙලා සංසිඳී ගිය, සැබැවින්ම දමනය වුන, ඉඳුරන් රැකගත්, ශ්‍රේෂ්ඨ වූ භාග්‍යවතුන් වහන්සේ දැක ගන්නට ලැබුණා. භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. සිරිපතුල් අභියස හිසින් වැඳ වැටුණා. භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඉල්ලා සිටියා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මට දහම් දෙසන සේක්වා! සුගතයන් වහන්ස, දහම් දෙසන සේක්වා! ඒක මට බොහෝ කලක් හිත සුව පිණිස පවතීවි.”

එවිට භාග්‍යවතුන් වහන්සේ බාහිය දාරුචීරියට මෙහෙම වදාළා.

“පින්වත් බාහිය, තවම (දහම් දෙසීමට) කාලය නොවෙයි. මම පිණ්ඩපාතෙට ඇතුලු ගමට පිවිසිලයි ඉන්නේ.”

දෙවන වතාවටත් බාහිය දාරුවීරිය භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කියා සිටියා.

අනේ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට අනතුරක් වේවිද? මගේ ජීවිතයට අනතුරක් වේවිද? කියලා දැනගන්නට විදිහක් නෑ. (ඉතින් ඊට කලින්) ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට දහම් දෙසන සේක්වා! සුගතයන් වහන්ස, දහම් දෙසන සේක්වා! ඒක මට බොහෝ කලක් හිත සුව පිණිස පවතීවි.”

දෙවන වතාවටත් භාග්‍යවතුන් වහන්සේ බාහිය දාරුචීරියට වදාළා, පින්වත් බාහිය, තවම (දහම් දෙසීමට) කාලය නොවෙයි. මම පිණ්ඩපාතෙට ඇතුළු ගමට පිවිසිලයි ඉන්නේ.”

තුන්වෙනි වතාවටත් බාහිය දාරුචීරිය භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කියා සිටියා.

“අනේ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට අනතුරක් වේවිද? මගේ ජීවිතයට අනතුරක් වේවිද? කියලා දැනගන්න විදිහක් නෑ. (ඉතින් ඊට කලින්) ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට දහම් දෙසන සේක්වා! සුගතයන් වහන්ස, දහම් දෙස සේක්වා! ඒක මට බොහෝ කලක් හිත සුව පිණිස පවතීවි.”

පින්වත් බාහිය, එහෙම නම් ඔබ මෙන්න මේ විදිහට හික්මෙන්න ඕන. (යමක්) දකින කොට, ඒ දකින දේ ගැන කෙලෙස් ඇති නො වීමක්මයි වෙන්නේ. (දැකීම මාත්‍රයක් පමණයි) අසන විට, ඒ අසන දේ ගැන කෙලෙස් ඇති නො වීමක්මයි වෙන්නෙ. (ඇසීම් මාත්‍රයක් පමණයි.) ආඝ්‍රාණය කරන දේ ගැන කෙලෙස් ඇති නො වීමක්මයි වෙන්නෙ. (ගඳ සුවඳ දැනීම් මාත්‍රයක් පමණයි.) රස විඳින විට, රස විඳින දේ ගැන කෙලෙස් ඇති නොවීමක්මයි වෙන්නෙ. (රසය විඳීම් මාත්‍රයක් පමණයි) පහස විඳින විට පහස විඳින දේ ගැන කෙලෙස් ඇති නො වීමක්මයි වෙන්නේ.

(පහස විඳීම් මාත්‍රයක් පමණයි) සිතින් දැනගන්න විට සිතින් දැනගන්න දේ ගැන කෙලෙස් ඇති නො වීමක්මයි වෙන්නෙ. (දැනගැනීම් මාත්‍රයක් පමණයි) පින්වත් බාහිය, ඔන්න ඔය විදිහටයි ඔබ හික්මෙන්නට ඕනෑ.

පින්වත් බාහිය, ඔබ හේතුවෙන් බැඳෙන්නෙ නෑ. යම් වෙලාවක ඔබ කිසිවකට බැඳෙන්නෙ නැත්නම්, ඔබ එතැන නෑ, යම් වේලාවක පින්වත් බාහිය, ඔබ එතැන නැතිනම්, ඔබ මෙලොවත් නෑ. පරලොවත් නෑ. ඒ දෙක අතරත් නෑ. දුක නිමාවට පත්වීම කියන්නේ ඕකටයි.’

භාග්‍යවතුන් වහන්සේගේ සංක්ෂිප්ත ධර්ම දේශනාවෙන් බාහිය දාරුචීරියගේ සිත ඒ මොහොතේම සියලු ආශ්‍රවයන්ගෙන් නිදහස් වුණා.

ඉතින් භාග්‍යවතුන් වහන්සේ එතැනින් වැඩම කළා. සුළු වේලාවකින් පසු වසු පැටවෙක් ඉන්න ගවදෙනක් දාරුචීරියට ඇන, ජීවිතය නැති කළා.

භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පිණ්ඩපාතේ වැඩම කර, පිණ්ඩපාතෙන් පසු සවස් කාලයේ බොහෝ භික්ෂූන් සමඟ නගරයෙන් නික්මී වඩින අතර, කළුරිය කළ බාහිය දාරුචීරිය දැක වදාළා. දැක භික්ෂූන් වහන්සේ අමතා මෙසේ වදාළා.

පින්වත් මහණෙනි, ඔය බාහිය දාරුචීරියගේ ශරීරය ගන්න. ඇඳක තියාගෙන බැහැරට ගෙනිහින් ආදාහනය කරන්න. මොහු නමින් ස්ථූපයක් හදන්න. පින්වත් මහණෙනි, ඒ කළුරිය කළේ ඔබේ සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක්,”

“එසේය, ස්වාමීනි, කියලා ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. බාහිය දාරුචීරියගේ ශරීරය ඇඳක තබා බැහැරට ගෙන ගියා. ආදාහනය කළා. ඔහු නමින් ස්ථූපයක් කර භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා.

“ස්වාමීනි, බාහිය දාරුචීරියගේ සිරුර ආදාහනය කළා. ඔහු නමින් ස්ථුපයක් කළා. (ස්වාමීනි) ඔහුගේ ඉපදීම මොන වගේ එකක්ද? ඔහුගේ පරලොව මොනවගේ එකක් ද?”

“පින්වත් මහණෙනි, බාහිය දාරුචීරිය හරිම බුද්ධිමත්, ඔහු ධර්මයට අනුකූල බවට පත්වුණා. ධර්මයෙන් ගැටලු හදාගෙන මාව වෙහෙසට පත් කළේ නෑ. පින්වත් මහණෙනි, බාහිය දාරුචීරිය පිරිනිවන් පෑවා.”

 

නිකිණි පුර අටවක පෝය


නිකිණි පුර අටවක පෝය ජූලි 30 වන දා ඉරිදා පූර්වභාග 08.06 ට ලබයි. 31 වන දා සඳුදා පූර්ව භාග 09.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 30 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 07 වනදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 30

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]