UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුපිළිමයේ උපත - 73: වසවර්ති මාරයාගේ පැමිණීම

බුදුපිළිමයේ උපත - 73: 

වසවර්ති මාරයාගේ පැමිණීම

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ හිටපු සහකාර
පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

“භාග්‍යවතුන් වහන්සේ පැන වු අස්නෙහි වැඩහුන් සේක. එහිදී ආනන්ද තෙරුන් අමතා සතර ඍද්ධිපාදයන් වැඩු තැනැත්තහු විසින් කැමැති නම් කල්පයක් හෝ ඊට වැඩි කාලයක් සිටිය හැකි බව තුන්වරක්ම වදාළ සේක. වසවර්ති මාරයා ආනන්ද තෙරුන්ට භයංකාර අරමුණක් දැක්වීමෙන් උන්වහන්සේ එය බලා හුන්හ."



මාර පරාජය සාංචි ස්තූප අංක 01 දකුණුපස තොරණ

ත්‍රිපිටකයට අයත් දීඝ නිකායේ ‘මහාපරිනිබ්බාන සූත්‍රය” බුදුරජාණන් වහන්සේගේ මහාපරිනිර්වාණයට පෙර කාලය පිළිබඳ තොරතුරු ලබාගැනීමේදී මූලික සූත්‍ර දේශනාවක් ලෙසින් ඉතා වැදගත් වන්නේය. මේ අනුව මහාපරිනිබ්බාන සූත්‍රය ත්‍රිපිටකයේ දීර්ඝතම සූත්‍රය ලෙසින්ද සැළකේ. බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් චරිතයේ අවසන් කොටස ආශි‍්‍රත ලිඛිත වූ ධර්මය මෙන්ම තොරතුරුද අඩංගු එම සූත්‍රය පිළිබඳ විවිධ විද්වතුන් විසින් ඉදිරිපත් කරන විශේෂිත කරුණක්ද මෙහිදී සඳහන් කළ යුතුව ඇත. මනුෂ්‍ය ජීවිතයක් ලබා මනුෂ්‍යයෙකු ලෙසින් ලබා ගත හැකි උත්තරීතර භාවය වූ බුද්ධත්වයට පත්වීම හා භාග්‍යවතුන් වහන්සේගේ චර්යාවෙහි පැවති මානුෂික ගතිගුණද ක්‍රියාකාරකම්ද විවිධ වෘත්තාන්ත ද ධර්ම කොටස්ද මේ සඳහා සංගෘහිතය. මේ තත්ත්වය ඉතා ගැඹුරින් හදාරන ලද දේශීය හා විදේශීය විද්වතුන්ගේ අදහස වන්නේ මෙහි අඛණ්ඩ ලෙස වෙනත් සූත්‍ර මෙන් නොමැත්තේ ඉහතින් සඳහන් කරුණු මීට ඇතුළත් කර ඇති නිසා බවය.

මහා පරිනිබ්බාන සුත්‍රයෙහි මෙසේ සඳහන් වී ඇත. “ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳපෙරව ගෙන පාත්‍රා සිවුරු ගෙන පිඬු පිණිස (වෛශාලි) වේසාලි නුවරට වැඩම කළ සේක. පිණ්ඩපාත චරිකාව අවසන් කොට පෙරළා වැඩමකර දන් වැළඳීමෙන් අනතුරුව ආනන්ද ස්ථවිරයන් අමතා දිවා විහරණය සඳහා නිසිදනයත් රැගෙන චාපාල චේතිය (චෛත්‍යය) වෙත යමුයි කී සේක.

“එසේය බුදුරජාණන් වහන්සේ යැයි” පිළිතුරු දුන් ආනන්ද හිමියෝ නිසීදනයක් රැගෙන භාග්‍යවතුන් වහන්සේ පසුපස ගියෝය. චාපාල චෛත්‍යය වෙත වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ පනවන ලද අසුනෙහි වැඩහුන් සේක. ආනන්ද ස්ථවිරයෝ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසව හුන්හ. එහිදී භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් ඇමතූ සේක.

“ආනන්දය, විශාලා නුවර රමණීයයි. උදේන චෛත්‍යය රමණීයයි. ගෝතමක චෛත්‍යය, සත්තම්බ චෛත්‍යය , බහුපුත්ත චෛත්‍යය,සාරන්දද චෛත්‍යය චාපාල චෛත්‍යය යන චෛත්‍යය රමණීයයි ආනන්ද සතර ඍද්ධිපාද ප්‍රගුණ කළ බොහෝ වඩනලද, තහවුරු කරන ලද උසස් බවට පත්කරන ලද, රැස්කරන ලද, හොඳින් පුරුදු කරන ලද, කිසිවෙක් වෙයි නම් ඔහුට රිසිවූයේ නම් කල්පයක ආයුෂ කාලයක් හෝ කල්පයක්වූ ආයුෂ කාලයෙන් ශේෂව ඇති කාලයක් හෝ සිටිය හැකිය. තථාගතයාණන් විසින් ඍද්ධිපාද සතර මේ ආකාරයෙන් ප්‍රගුණ කරන ලද්දේවෙයි. එහෙයින් උන්වහන්සේට රිසි නම් කල්පයක් වු ආයුෂ කාලයෙන් ශේෂය ඇති කාලයක් හෝ සිටීමට හැකිවෙයි.” (මහා පරිනිර්වාණ සූත්‍රය – සිංහල පරිවර්තනය – සනත් නානායක්කාර පිටු 36,37-2015 බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය

ඉහත සඳහන් කරුණ අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමිපාණන් වහන්සේ පහත සඳහන් පරිදි දක්වති.

“භාග්‍යවතුන් වහන්සේ පැන වු අස්නෙහි වැඩහුන් සේක. එහිදී ආනන්ද තෙරුන් අමතා සතර ඍද්ධිපාදයන් වැඩු තැනැත්තහු විසින් කැමැති නම් කල්පයක් හෝ ඊට වැඩි කාලයක් සිටිය හැකි බව තුන්වරක්ම වදාළ සේක. වසවර්ති මාරයා ආනන්ද තෙරුන්ට භයංකාර අරමුණක් දැක්වීමෙන් උන්වහන්සේ එය බලා හුන්හ. භාග්‍යවතුන් වහන්සේට තවත් දීර්ඝ කාලයක් වැඩ ඉන්න ලෙස ආයාචනා කිරීමට ආනන්ද තෙරුන්ට අමතක විය. ඉක්බිති අනඳ තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට වැඳ අවසර ගෙන ගොස් රුක් මුලෙක හුන්හ. (ශාක්‍ය මුනීන්ද්‍රවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය පි. 204(2015) සංශෝධිත මුද්‍රණය)

වසවර්ති මාරයා බුදුරජාණන් වහන්සේට විරෝධ දැක්වීම අමුතු දෙයක් නොවේ. සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වූ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ සෙවනට මාරසේනාව විවිධ ස්වරූපයෙන් පැමිණි බව ඉතා ප්‍රකට කරුණකි. මෙකල ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි පිහිටි ඉතා විශාල පුදබිමක් වූ (පුරාණ වේදිසා නගරයේ) සාංචි ස්තූපයේ තොරණ බෝධි මණ්ඩලයේ (බුද්ධගයාවේ) එදා සිදුවු මාරසේනාව හා බද්ධ වූ මාරයුද්ධය ඉතා අලංකාරව හා නිර්මාණාත්මක ඉන්දියානු මූර්ති ශිල්පීහු කළ මූර්ති අදත් අපට දැකගත හැකිය. මේ මූර්තිවලින් මාර යුද්ධය නිරූපණය වුවද බුදුරජාණන් වහන්සේ එහිදි මානවරූපීව නිර්මාණය කිරීම එම කාලය වන විට මූර්ති ශිල්පීන් අරඹා නොතිබුණි. ඒ අනුව බුදුරජාණන් වහන්සේ නිරූපණය කර තිබුණේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ මූර්ති කැටයමක් ලෙසින් නිර්මාණය කිරීමෙනි.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් උදාර නිමිති උදාර පැහැදිලි කිරීම් කරනු ලැබූ කල්හි (කල්පයක් වුව සිටිය හැකි බව) ආනන්ද ස්ථවිරයෝ එය මනාව තේරුම් ගැනීමට අපොහොසත් වූහ. මාරයා විසින් අරක්ගත් සිත්ඇත්තෙකු සේ ආනන්ද ස්ථවිරයෝ භාග්‍යවතුන් වහන්සේ බොහෝ දෙනාගේ හිත සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස කල්පයක් වැඩවසන සේක්වායි ආයාචනා නොකළෝය. දෙවැනි, තෙවැනි වරටත් භාග්‍යවතුන් වහන්සේ මෙසේ උදාර නිමිති පැහැදිලි කිරීම් කරන කල්හිද ආනන්ද ස්ථවිරයෝ එම ආයාචනය නොකළහ

( මහා පරිනිබ්බාන සූත්‍රය සිංහල පරිවර්තනය සනත් නානායක්කාර පි. 38-2015)


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 72:  ආයු සංස්කාරය අත්හැරීම

 

නිකිණි පුර අටවක පෝය


නිකිණි පුර අටවක පෝය ජූලි 30 වන දා ඉරිදා පූර්වභාග 08.06 ට ලබයි. 31 වන දා සඳුදා පූර්ව භාග 09.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 30 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 07 වනදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 30

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]