UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිත පිරිසුදු කර ගනිමු

සිත පිරිසුදු කර ගනිමු

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

“ඉදං පුරෙ චිත්මචාරි චාරිකං
යේ නිච්ඡකං යත්ථ කාමං යථාසුඛං
තදජ්ජහං නිග්ගහෙස්සාමි යෝනිසෙ,
හත්ථිප්පභීන්නං විය අංකුසග්ගහො”

ධම්මපදයේ නාග වග්ගයේ හත් වන ගාථාවයි. “නුවණින් සිත හික්මවා ගන්න” යනුවෙන් සානු සාමණේරයන් වහන්සේට බුදුරදුන් වදාළ තේරුම වටහා ගනිමු. “පෙර මේ සිත කැමති ලෙසින් කැමති තැනක සුවසේ සැරිසරා ඇවිද්දේය. මම අද ඒ සිත මට්ටු කර හික්මවා ගනිමි. මද කිපී ඇති ඇතෙකු අල්ලා හික්මවන්නාවූ ඇතැදුරෙකු මෙන් නුවණින් යුතුව මනාව හික්මවන්නෙමි.”

බුද්ධශාසනයේ පැවිදි බව ලැබූ “සාණු” නම් සාමණේරයන් වහන්සේ අරභයා මෙම දේශනාව සිදුකර ඇත. ඉතා කුඩා කල ශ්‍රද්ධාවෙන් පැවිදිවූ මෙම සාමණේරයන් වහන්සේ වත් පිළිවෙත් පුරමින් බණදම් උගෙනමින් කටයුතු කළහ. හැම අතින්ම දක්ෂතා විදහා දැක්වූ මෙම සාමණේරයන් වහන්සේ ධර්ම දේශනාවට දක්ෂය. හඬ මිහිරිය. පද ගැලපීම හා ශබ්ද උච්ඡාරණය කාගේත් සිත් ගත්තේය. කීමෙහි හා බිනීමෙහි දක්ෂතාවය නිසාම ගිහි පිරිස පමණක් නොව ඇතැම්විට පැවිදි උතුමෝද, මුන්වහන්සේ දෙසන ධර්මය ඇසීමට කැමැත්තෙන් සිටියහ. යම් සැදැහැවතෙක් ධර්මය දේශනා කරන්න යැයි භික්ෂූන්ට ආරාධනා කළහොත් ඒ සඳහා සාණුසාමණේරයෝම යොදවති. උන්වහන්සේගේ හැකියාව ගිහි පැවිදි දෙපිරිසම දැන සිටියහ. මෙම සාමණේරයන් වහන්සේට විසිවයස් සම්පූර්ණ වන විට පැවිදි දිවිය ගැන කළකිරීමට පත්වූහ. උන්වහන්සේට උපසම්පදා ලැබීමට සුදුසු කාලයද එළඹ ඇත. නමුත් වත් පිළිවෙත් කිරීම අඩුවිය. හිස රැවුල් වැවී ඇත. සිවුරු පඬු පොවා ගැනීමට හෝ ශාසනික ඇවතුම් පැවතුම් පිළිබඳ උනන්දු නොකිරිණි. ගිහි ගති ලක්ෂණ ක්‍රමයෙන් වැඩුණි. දිග්වු කෙස්, දිග්වූ නිය, ඇතිව කලකිරුණාවූ ‘සාණු’ හිමි උභයබ්‍රෂ්ඨ ජීවිතයට යොමුවුණි. මෙසේ කල් යවන සාණු තරුණ භික්ෂුව විහාරයේ කිසිවෙකුට නොකියා ගෙදර යයි. මව වයස ය. තමන් සසුනෙන් අයින්වී සිවුර අතහැරීමට නිවසට පැමිණි බව උන්වහන්සේ මවට කියයි. ගිහි ගෙදර ඇති බාධක කරදර පිළිබඳ මව විසින් උන්වහන්සේට නොයෙක් අයුරින් කියා සිවුරු අතහැරීමට ඇති සිත වෙනස් කිරීමට උත්සාහ ගත්තත් ඉන් කිසිඵලක් නොවුණි. මෑණියන් බලවත් සේ කම්පා වී වැළපෙන්නට විය.ඇය සිහිසුන් වී වැටුණි. ටික වේලාවකට පසු ප්‍රකෘති සිහිය ලැබුණු අම්මා පැවිදි පුතා ඇමතුවාය. පුතණුවන් වහන්ස මා නොනසන්න” යනුවෙන් හඩමින් කී අම්මාට සවන් දුන් තරුණ සාණු භික්ෂුවගේ හිතට මහා කරදරයක් දැනුනි. අනතුරුව මෑණියන් සනසවා තමා සිවුරු හැර නොයන බව පවසා දැඩිසේ අධිෂ්ඨානයක් කර ගත්තේය. එනම් දිවි ඇතිතෙක් සිවුරු දරා සිටින බවය. සතුටු සිත් ඇති මව රස බොජුන් පිළියෙළ කර තම පුතුට පිළිගැන්වූවාය. සිවුරු පිරිකරද භාරගත් සාණු හිමියෝ සැදැහැ සිත් ඇති කර ගත්හ. ශාසනික වත් පිළිවෙත් පුරමින් උතුම් උපසම්පදාව ලබා ගත්හ. පෙර මේ සිත කැමති ලෙසින් කැමති තැනක සුවසේ සැරිසරා ඇවිද්දේය. මෙම අද ඒ සිත ගිලිහෙන මද ඇති ඇතකු මෙල්ල කරන්නාවූ ඇත්ගොවුවෙකු මෙන් නුවණින් මැඩ පවත්වමි” යැයි වදාරා ඒ භික්ෂුව රහත් ඵලයෙහි පිහිටු වූ සේක. සාණු තෙරුන්ගේ චරිතය අප අතර ක්‍රියාත්මක වූ අයුරු පැහැදිලිය. සිතට කැමති ලෙසින් කටයුතු කරන, පස්කම් සැප සොයන ස්වභාවය සාමාන්‍ය ලක්ෂණයකි. බඹයක් පමණ වූ මෙම ශරීරය මෙහෙය වන්නේ මනස හෙවත් සිතය. සිතේ ස්වභාවය බුදුදහමින් මොනවට පැහැදිලි කරයි. වහා අපිරිසුදු බවට පත්වන සිත කෙලෙස් දහම් පිරි පවතියි. සත්වයාට සසරින් එතෙරවීමට ඇති එකම මග සිතේ පිරිසුදු බව ඇතිකරගෙන ප්‍රඥාව දියුණු කිරීමෙනි. හැම කටයුත්තකදීම සිත මුල්වෙයි. පූර්වාංගම වෙයි. කය හසුරුවන්නේ සිත මගිනි. වරක් බුදුරදුන් සිත මූලික වී කය හසුරුවන අයුරු උපමාවකින් පැහැදිලි කළහ. ලොව අසරණ වූ පුද්ගලයින් දෙදෙනෙක් මේ සඳහා පෙන්වයි. කෙනෙක් අන්ධය. ඔහු ඇස් නොපෙනීම නිසා අසරණවී ඇත. අනෙකා කොරය. දෙපා කොරවී ඇති නිසා ඔහුට ඇවිදයාමට හැකියාවක් නැත. දිනක් මේ අසරණ දෙදෙනා සාකච්ඡා කර ජීවත්වීමට පහසු ක්‍රමයක් සොයා ගනිති. එනම් අන්ධයාගේ කර උඩට කොරා නගියි. අන්ධයාට නොපෙනුනත් ඇවිදීමට පුළුවන. කොරාට ඇවිදීමට බැරි වුවද ඇස් පෙනේ. දැන් ඒ ප්‍රශ්නය විසඳී ඇත. අන්ධයාගේ කර උඩ සිටින කොරා අන්ධයාට අණ දෙයි.”. ඉදිරියට යන්න” දකුණට හැරෙන්න” ඉදිරියේ ජලාශයකි. පාලමෙන් එගොඩ වන්න.” “වමට හැරෙන්න”. ආදි වශයෙන් ලැබෙන හැම උපදෙසටම අනුව අන්ධයා කටයුතු කරයි. මොවුන් කලක් ජීවත්වූ අතර ටික කලකදී දෙන්නා හිත් අමනාප වී තරහකාරයන් බවට පත්විය. තරහකරුවෙක් කර උඩ තියාගන්නට අන්ධ පුද්ගලයා අකැමැති වෙයි. ඔහු බිමට ඇද දමයි නැවත දෙදෙනාම අසරණ වෙයි.

අන්ධයා, කයටත්, කොරා සිතටත් උපමා කරයි. දෙදෙනා ක්‍රියා කරන්නේ ඉහත උපමාව පරිදිය. කර උඩ සිටින්නා අණ කරණ අයුරින් අනෙකා ක්‍රියාත්මක වෙයි. සිතද එසේය. බඹයක් පමණ මේ කය මෙහෙය වන්නේ සිත මගිනි. මරණය යනු දෙදෙනා විරසකවීමක් බඳුය. සිතට අවශ්‍ය ඕනෑ අයුරින් කටයුතු කිරීමට යාමෙන් කිසිම කටයුත්තක් සාර්ථක නොවේ. බුදුදහමින් පෙන්වන නිවන සිතේ උච්චතම පිරිසුදු අවස්ථාවකි. කයට වඩා සිත අපිරිසුදු වෙයි. කෙලෙස් ධර්ම තුළින් අඳුරු භාවයට පත්වන සිත පිරිසුදු කරගත යුතුය. පංච කාම වස්තු පිළිබඳ විවිධ ආශා වර්ධනය වන විට ඒවා සන්තර්පණය කර ගැනීමට ප්‍රයත්න දැරීම නොසන්සුන් සිත් ඇති පුහුදුන් පුද්ගලයාගේ ලක්ෂණයයි. ඒ අරමුණ තෘප්තිමත් කර ගැනීමේ සීමාවක් ඔහුට නැත. එහෙයින් අතෘප්ති කරව ජීවත්වීමට සිදුවේ. කොපමණ ලැබුණත් සෑහීමකට පත් නොවේ.

“න කහාපන වස්සේන තිත්ථි කාමෙසු විජ්ජතී”කහවනු වර්ෂාවක් වැස්සත් සෑහීමට පත් නොවන ලක්ෂණය පුහුදුන් පුද්ගලයාගේ ලක්ෂණයකි. තණ්හාවට වසඟව සැපසොයන සත්වයාට සසර ගොඩ ඒමක් නැත. ජරා දුකට පැමිණේ. එහෙයින් දුකට පැමිණීම නැවැතීම කළ යුත්තේ තෘෂ්ණාව දුරුකිරීමෙනි.

තම තමන් සතු සිත තේරුම් කර ගත යුතුය. සියලු ආශාවන් පසුපස හඹායාම නවතා සිතිවිලි පාලනය කර ගැනීමට මහත් උත්සාහයක් කළ යුතුය. කාම සිතිවිලිවලට වසඟ වූ තැනැත්තාට ඉන් මිදීම අපහසුය. දිනෙන් දින තෘෂ්ණාව වැඩෙයි. කාම විතර්ක එනම් මන වඩන රූප ,ශබ්ද, ගන්ධ , රස පහස යන පංචකාම ගුණ සඳහා ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉඳුරන් පිනවීමේ සිතිවිලි පහළ වෙයි. එම සිතිවිලි ක්‍රමයෙන් පාලනය කර ගැනීමට උත්සාහ කිරීමට උනන්දු විය යුතුයි. මෙම ගාථාව දේශනා කිරීමට හේතුවු නිධාන කථාවෙන් සාණු තෙරුන්වහන්සේ තම සිතුවිලි පාලනය කර ගත් අයුරුත් එය සැනසීමට හේතුවූ අයුරුත් පැහැදිලි කරදෙයි. තෙරක් නොපෙනෙන අනවරාර්ග සංසාරයෙන් එතෙරවීමට අපට ඇති බාධකය ‘ඕඝයන්’ සන්තානය තුළ රජයන නිසාය. කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් නිවැරදි මාර්ගය දැන සිතේ උසස් පිරිසුදු බව ඇතිකරගෙන සිව්සස් දහම් අවබෝධය කර ගැනීමට උත්සාහ වෙමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.

 

බක් අමාවක පෝය

 

බක් අමාවක පෝය අපේ‍්‍රල් 25 වනදා අඟහරුවාදා අපරභාග 09.08 ට ලබයි. 26 වනදා බදාදා අපරභාග 05.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 26 වනදා බදාදාය.
 

මීළඟ පෝය මැයි මස 03 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 26

First Quarterපුර අටවක

මැයි 03

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]