UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

නාකුළුගමුවේ පේමතිලක මහා නා හිමි

නාකුළුගමුවේ පේමතිලක මහා නා හිමියන් ගේ අනූවන ජන්ම දිනය අපේ‍්‍රල් මස 5 වන දිනට යෙදී තිබිණි.

1928 අපේ‍්‍රල් 04 වන දින නාකුළුගමුව දඹගස්ආර වෙද නිවසේදී ජයවර්ණ පටබැඳිගේ හීන්හාමි උපාසිකා මාතාවට හා ඔලොක්කුවේ පටපැදිගේ කොරනේලිස් සිල්වා වෛද්‍යාචාර්ය තුමා යන දම්පතීන්ගේ පුත්‍රරත්නයක්ව ඕ.පී. පේමචන්ද්‍ර නමින් ජන්ම ලාභය ලැබූ කුමරු තංගල්ල පළුතුඩුව කනිෂ්ඨ විද්‍යාලය, නාකුළුගමුවේ දඹගස්ආර ගාමිණි මහා විද්‍යාලය යන විද්‍යාස්ථාන මගින් ළමා කල අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව මව්පිය ආශිර්වාදය මධ්‍යයේ 1939 දෙසැම්බර් 25 වන දින රැකව ජය මහා විහාරස්ථානයේදී ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් වූයේ පළුතුඩුවේ පේමානන්ද නාහිමියන්ගේ ආචාර්යත්වයෙනි. උන්වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් 1950 ජූලි 19 වන දින මාතර නිල්වලාගඟ උදකුක්ඛේප සීමා මාලකයේදී උපසම්පදා විය.

පළුතුඩුව ජයසුමනාරාම විහාරස්ථ පිරිවෙනින් මූලික පිරිවෙන් අධ්‍යාපනය ලද මහ නා හිමියෝ 1945 සිට 1959 යන කාල වකවානුව තුළ කොළඹ 10 මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ඇතුළත්ව උසස් අධ්‍යාපනය ද අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයෙන් 1966 දී ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය ලබා ගත්හ.

1985 දී අම්බලන්තොට පහල බැරගම ශී‍්‍ර ඥානවිමල විහාරස්ථානයට අනුබද්ධව ශී‍්‍ර ඥානවිමල මූලික පිරිවෙන ආරම්භ කරමින් එහි සමාරම්භක පරිවේණාධිපතින් වහන්සේ ලෙස දශකයට අධික කාලයක් සේවය කළහ. අම්බලන්තොට ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් ධුරය 1985 සිට 1990 දක්වා කාලය තුළ දරමින් යථෝක්ත ප්‍රදේශයේ ප්‍රාදේශීය ධර්ම විද්‍යාල රාශියක් දියුණු කරමින් ඒවාට අදාළ ප්‍රතිපාදන ද ලබා දීමට උත්සුක වූහ. එමෙන්ම 1969 දී හුංගම හාතාගල ශ්‍රී විවේකාරාම විහාරස්ථ සිරිතිලක ධර්ම විද්‍යාලයත්, 1972 දී කොළඹ 08 වනාතමුල්ල විවේකාරාමස්ථ මහාමායා ධර්ම විද්‍යාලයත් යන දහම් පාසල් ආරම්භ කළහ. සම්බුද්ධ ශාසනයෙහි චිරස්ථිතියම ප්‍රාර්ථනා කරමින් නාකුළුගමුවේ පේමතිලක නාහිමියෝ 1980 දී අමරපුර සිරි සද්ධම්ම යුක්තික මාතර මහා නිකායේ පාලක කාරක සංඝ සභාවේ උපලේඛකාධිකාරි ධුරයට පත්ව සුවිශේෂි කාර්ය භාරයක් ඉටුකරන ලද අතර 1990 දී යථෝක්ත නිකායෙහි මහා ලේඛකාධිකාරි ධුරයටද පත් වූහ. 2001 දී සැප්තැම්බර් 21 වන දින ගන්දර,අබේසේකරාරාමයේ දී දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ධුරයට පත්වූ අතරම 2003 අගෝස්තු මස 23 වන දින අධිකරණ සංඝ නායක ධුරයෙන්ද උපලක්ෂිත වූහ.

2008 දී පෙබරවාරි 08 වන දින අමරපුර සද්ධම්මයුක්තික මාතර මහා නිකායේ අනුනායක ධුරයට පත්වූහ.අනුනායක තනතුරට පත්ව ස්වල්ප කාලයක් ඇවෑමෙන් රැකව ගුණසිරි මහානා හිමියන්ගේ අපවත් වීමෙන් අනතුරුව පේමතිලක අනුනා හිමියන්ගේ උදාරතර සාසනික සේවය හා නිකායයික කැපවීම සලකමින් 2011 ජූලි මස 21 වන දින පූර්වෝක්ත නිකායේ මහානායක ධුරයටද පත්කරන ලදහ.

සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ උපසභාපති තනතුරටද 2012 දී පත් වූ නාකුළුගමුවේ පේමතිලක හිමියෝ මෙරට පිරිවෙන් උසස් අධ්‍යාපනයෙහි ප්‍රදීපස්ථම්භය වු මාලිගාකන්ද විදුදය පිරිවෙන්හි ආදි ශිෂ්‍ය සංගමයේ උපසභාපතීන් වහන්සේ ලෙසද 2011 සිට මේ දක්වා ක්‍රියා කරනු ලබයි. මහා නා හිමිපාණන් වහන්සේට චිර ජීවනය ලැබේවා.


කළුබෝවිටියන සුමංගල නා හිමි

මාතර දිසාවේ මොරවක් කෝරළයේ කළු බෝවිටියන ගමේදී 1930 අපේ‍්‍රල් මස 19 වැනි දින උපන් පින්වත් කුමරු බානගල ශ්‍රී සීලරතනාභිධාන ගාලු මාතර දෙදිසාවේ අධිකරණ සංඝ නායක මාහිමියන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1940 දී බද්දේගම ගණේගම දුටුගැමුණු රජමහා විහාරයේදී කළුබෝවිටියන සුමංගල නමින් පැවිදි විය. උන්වහන්සේ ඉඳුරුව ගෝනගල සුධර්මාකර පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලබා බානගල ශ්‍රී සීලරතන, ගණේගම සරණංකර නා හිමිවරුන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් 1958 දී මහනුවර මල්වතු මහාවිහාරයේදී උපසම්පදා වූහ.

සුමංගල සාමණේරයෝ 1950 සිට කාව්‍යකරණයටත්, ශාස්ත්‍රීය ලිපි රචනයටත් යොමුවූහ. තිළිණ, බෝධිපූජා, සුවඳ සුමග, බොරදිය, සදිසාව, කිහිරි අඟුරු, චන්ද්‍රපාල ලෙනෝරා, කවිබණ, නවතල්වත්ත බුදුමැදුර රසවදුල, බානගල දෙමහල් බුදුමැදුර, බානගල උපතිස්ස නාහිමි යනාදී කාව්‍ය ග්‍රන්ථ රැසක් උන්වහන්සේ විසින් රචනා කරන ලදී. කාව්‍යමය ධර්ම දේශනාවට චිරප්‍රසිද්ධව වැඩසිටි සුමංගල හිමියෝ 1973 දී දඹදිව සාංචි විහාරයේ පැවති ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලනයට සහභාගි වූහ.

අගනුවර තරුණ කවි සමාජයේත්, මාතර දිසාවේ කවි සමුළුවේත් අනුශාසක ධූර දැරූ සුමංගල හිමියෝ දක්ෂිණ ලංකා කවි සමාජයේ ප්‍රධාන සංවිධායක ධුරය හෙබවුහ. උන්වහන්සේ රෝහණ කලා හවුලේ හා සිංහල තරුණ කවි සමාජයේ සාමාජිකත්වයද දැරූහ. 1968,1981 දී රාජ්‍ය සාහිත්‍ය කාව්‍ය රචනාවලින් ප්‍රථම ස්ථානය දිනාගත්තෝද සුමංගල හිමියෝය.

සිය ගුරු දේවයන් වහන්සේ අපවත් වීමෙන් පසුව බානගල ශ්‍රී සීලරතනාරාමයේ අධිපතිත්වයට පත්වූ සුමංගල හිමියෝ විහාරාරාංග ඉදිකිරීමෙහිද නිරතවූහ. 1986 දී සුමංගල දහම් පාසල අරඹා ප්‍රදේශයේ දරු දැරියන්ගේ දහම් අධ්‍යාපනය ලබාදීමට කටයුතු කළ උන්වහන්සේ මොරවක් කෝරළය දකුණු ශාසනාරක්ෂක ප්‍රාදේශීය බල මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති පදවියද හෙබවූහ. උන්වහන්සේගේ මෙම ශාස්ත්‍රීය අධ්‍යාපනික හා සමාජයීය සේවාවන් අගයමින් ශ්‍රී රෝහණ මහා සංඝ සභාව උන්වහන්සේ වෙත 1994 ‘කාව්‍යතිලක” යන ගෞරව නාමය පුදකළහ.

ජපානයේ ප්‍රධාන සංඝ නායක ස්වාමින් වහන්සේ වන බානගල උපතිස්ස නාහිමියන්, විහාරාධිකාරි ශාස්ත්‍රවේදී වළල්ලාවිට නන්ද හිමියන් ප්‍රධාන සාමණේර හිමිවරු රැසක් සසුන්ගත කරවා පැවිදි උපසම්පදා කිරීමට මුලිකව ක්‍රියා කරමින් ප්‍රදේශයේ ශාසනික හා ආගමික අවශ්‍යතා ඉටුකරන සුමංගල මාහිමියන් වෙත 2000 සමස්ත ලංකා සාමවිනිසුරු 1997 කාව්‍ය ශිරෝමනී වැනි ගරු සම්මාන රැසක් පිරිනමා ඇත. ප්‍රදේශයේ සම්භාවනීය,වයෝවෘද්ධ ,තපෝවෘද්ධ, ගුණවෘද්ධ, සීලවෘද්ධභාවයන්ගෙන් පූජනීයත්වයට පත් කළුබෝවිටියන සුමංගල මාහිමිපාණන් වහන්සේ වෙත ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාව “ශ්‍රී සීලරතන කවිශ්වර” යන ගෞරව නාම සම්මුතිය සහිතව මාතර පළාතේ උප ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනමන ලදී.

ශාසනික හා ආගමික අවශ්‍යතා ඉටුකරමින් වසර 87 ක් ආයු වැළඳු කළුබෝවිටියන සුමංගල නාහිමිපාණන් 2017 අපේ‍්‍රල් මස 15 වැනි දින අපවත් වූ අතර ආදාහන පූජෝත්සවය 2017 අපේ‍්‍රල් මස 19 වැනි බදාදා බානගල ශ්‍රී සීලරතනාරාම විහාරස්ථානයේදී සිදුකෙරිණි. උන්වහන්සේට අමාමහ නිවන්සුව අත්වේවායි පතමු.


වදුරඹ පදුමසිරි නා හිමි

නාකියාදෙණිය ශ්‍රී අශෝකාරාම මහා විහාරය ඇතුළු විහාරයන්හි ආධිපත්‍යය දරණ නාකියාදෙණිය ශ්‍රී සරණපාල මහා පිරිවෙන්පති යක්කලමුල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ශාස්ත්‍රපති වදුරඹ පදුමසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු අනුනායක සානුනායක කාරක සංඝ සභා සමානච්ඡන්දයෙන් ගාලු පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝ නායක ධූරයට පත් විය.

1963 සැප්තැම්බර් මස 05 වන දින නාකියාදෙණිය ශ්‍රී සරණපාල පිරිවෙන ආරම්භ කළහ. එම පරිවේනස්ථානයේ නිර්මාතෘවර රාජකීය පණ්ඩිත කදුරුපොකුණේ ශ්‍රී ධම්මාවාස අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අධ්‍යාපනික ප්‍රබෝධය උදා කරලීම පිණිස ක්‍රියා කළ අතර භික්ෂූන් වහන්සේගේ අභිවෘද්ධිය පිණිස පුරා විද්‍යා චක්‍රවර්තී කඹුරුපිටියේ වනරතන මහා නා හිමියන්ගේ මූලිකත්වයෙන් ආරම්භ කළ ශ්‍රී රෝහණ සංඝ සභාවේ ආරම්භක සාමාජිකත්වය දරමින් ශාසනාභිවෘද්ධිය පිණිස කළ මෙහෙවර අමරණීය වේ. උන්වහන්සේගේ සේවය අගය කළ ශ්‍රී රෝහණ සංඝ සභාව මඟින් උපාධ්‍යාය ධූරය හා අනුනායක පදවියෙන්ද ගෞරවයට පත් කරන ලදී.

උන්වහන්සේගෙන් පසුව දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝ නායක වේපතඉර පඤ්ඤාසේඛර නා හිමියන් ශ්‍රී සරණපාල පිරිවෙනේ පරිවේනාධිපති ධූරයට පත්ව සුවිසල් මෙහෙවරක් සිදු කරන ලදී. උන්වහන්සේගේ අපවත් වීමෙන් පසුව පරිවේනාධිපති ධූරයට පත් වූ වදුරඹ පදුමසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ යම් කාර්ය භාර්ය ඉතා උසස් කොට සිදුකරනු දක්නට ලැබීම සතුටට කරුණකි.

පදුමසිරි හාමුදුරුවන් වහන්සේ 1965 ජූනි 20 දින ජී.ජී. ප්‍රේමවතී, එච්.එල්. කුමාරපාල යන පින්වත් දෙමාපියන්ට දාව මෙලොව ජනිත වූ අතර වදුරඹ මධ්‍ය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබන ලදී.

1983 අප්‍රේල් 28 වන දින ආචාර්ය යටලමත්තේ වංගීස නා හිමි, රාජකීය පණ්ඩිත කදුරුපොකුණේ ධම්මාවාස අනු නා හිමි, වේපතඉර පඤ්ඤාසේඛර නා හිමි, වේපතඉර සුමන නා හිමි යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ශිෂ්‍යරත්නයක් ලෙස පැවිදි වී නාකියාදෙණිය ශ්‍රී සරණපාල පිරිවෙනෙන් හා රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙනින් ධර්ම ශාස්තෝද්ග්‍රහණය කොට පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හිමිකරගත් අතර 1997 දී ශාස්ත්‍රපති උපාධිය ලබා 1999 දී පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සමත් විය. 1993 දී නාකියාදෙණිය ශ්‍රී සරණපාල මහ පිරිවෙනේ පරිවේනාචාර්ය ධූරයට පත් විය. 2000 දී පරිවේනාධිපති පදවියට පත්ව අමිල මෙහෙවරක් මේ දක්වා සිදු කරනු ලබයි. එමෙන්ම නාකියාදෙණිය ශ්‍රී අශෝකාරාමය, තල්ගම්පල ශ්වේතබිම්බාරාමය, හඟරන්වල ශ්‍රී පි‍්‍රයදර්ශනාරාමය, මාමනදොළ ශ්‍රී විජේසිංහාරාමය, තල්ගම්පල නුග සෙවන බෞද්ධ මධ්‍යස්ථානය යන විහාරයන්හි ආධිපත්‍යයට පත්ව කරනු ලබන ශාසනික සේවය ප්‍රසංසා කටයුතු වේ. ශාසනික මෙන්ම සමාජ කටයුතු වල නිරත වන පදුමසිරි හාමුදුරුවන් වහන්සේ 2012 සිට යක්කලමුල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති ධූරයත් දරමින් ශ්‍රී රෝහණ සංඝ සභාවේ විධායක සභික ධූරයද දරමින් ලෝක ශාසනාභිවෘද්ධිය පිණිස සුවිසල් මෙහෙයක් සිදුකරනු ලබති.

එම සේවය අගය කළ ශ්‍රී රෝහණ සංඝ සභාවේ ශ්‍රීමත් මහානායක ත්‍රිපිටක විශාරද විනය කීර්ති ශ්‍රී උපාධ්‍යාය උඩුමලගල මහින්ද මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු අනුනායක සානුනායක කාරක මහා සංඝ සභාව වෙතින් සද්ධර්ම කීර්ති ශ්‍රී පඤ්ඤාසේඛර යන ගෞරව නාමය සහිතව ගාලු දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරයට පත් කර ඇත.

ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය 2017 අප්‍රේල් 26 වන දින ශ්‍රී රෝහණ සංඝ සභාවේ දී පවත්වනු ලැබීම පළාත්වාසී ගිහි පැවිදි සැමගේ නොමඳ ගෞරවයට හේතු වන්නක් බව සිහිපත් කරනු කැමැත්තෙමි. අභිනව නා හිමි පිළිගැනීමේ උත්සවය අප්‍රේල් 27 වන දින සවස 03 ට නාකියාදෙණියේ දී සිදුකිරීමට සංවිධානය කර ඇත.

 

බක් අමාවක පෝය

 

බක් අමාවක පෝය අපේ‍්‍රල් 25 වනදා අඟහරුවාදා අපරභාග 09.08 ට ලබයි. 26 වනදා බදාදා අපරභාග 05.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 26 වනදා බදාදාය.
 

මීළඟ පෝය මැයි මස 03 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 26

First Quarterපුර අටවක

මැයි 03

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]