UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුපිළිමයේ උපත - 62:   බුද්ධ කාලයේ සිදුවීම් සිතුවම් කළ අජන්තා සිතුවම්

බුදුපිළිමයේ උපත - 62:

බුද්ධ කාලයේ සිදුවීම් සිතුවම් කළ අජන්තා සිතුවම්

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

අජන්තා බිතුසිතුවම් පිළිබද සඳහන් කරන විට ඒවා ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ සිට පස්වන සිය වස තෙක්ම එම බිතුසිතුවම් නිර්මාණය කර ඇති බව ලේඛන ගත වාර්තා අනුව පැහැදිලි වන කරුණකි. අජන්තා පුදබිම චිත්‍ර සඳහා පමණක් නොව එම ලෙන්වල මූර්තිද නිර්මාණය කර තිබීම මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත. භික්ෂූන් වහන්සේලාට වස් කාලයේ දී වාසය කිරීම සඳහා ද ප්‍රයෝජනවත් වන ලෙන් විහාර යන නාමයෙන් හැඳින්වෙන බව ඉතා ප්‍රකටය. භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා සඳහා එය ප්‍රයෝජනවත් විය.

භික්ෂූන් වහන්සේලා සඳහා වු මෙම ලෙන් විහාර පසු කාලයේදී පුරාණ භාරතයේ වන්දනාකරුවන් සහ වෙළෙන්දන් පමණක් නොව ඉතා දුර රටවල් වූ චීනය, මධ්‍ය ආසියාව සහ මධ්‍යධරණී ප්‍රදේශවල වන්දනාකරුවන් සහ වෙළෙන්දන් මුණ ගැසෙන ස්ථානයක් බවටද අජන්තා පුදබිම පත්වූයේය. එසේ වන්දනාව සඳහා අජන්තා පුදබිමට පැමිණි සැදැහැවත් පුද්ගලයන් අතර රාජකුමාරවරුද පරිත්‍යාගශීලි අයද වූහ. ඔව්හු මෙම පුදබිමේ නඩත්තුව සඳහාද කරන ලද පූජාවන් ගැන සඳහන් වන ශිලා ලේඛන හමුවී ඇත. ගී‍්‍රක රෝම වෙළෙන්දන්ද මෙහි පැමිණ ඇත.

(Ajanta murals A Ghosh Director General Of Archaeologyin India P-35 -1987)

අජන්තා ලෙන් විහාර අතරේ ඉතා විශාලතම ලෙන වන්නේ අංක 4 දරණ ලෙනය. මෙහි ප්‍රධාන පිවිසුම් දොරටුව මූර්ති කැටයම්වලින් අලංකාර කර තිබේ. එහි සාලය අටපට්ටම් ශිලා ස්තම්භ සාදා තිබේ. මෙහි දොරටුවේ දකුණු පස අවලෝකිතේශ්වර බෝධිසත්ව රූපයක් නෙළා තිබේ. අෂ්ට භීතියෙන් මිදීම සඳහා එම බෝධිසත්ව ප්‍රතිමාවට නමස්කාර කරන සැදැහැවතුන් ද මෙහි නිරූපණය කර ඇත.

අංක 16 දරණ අජන්තා ලෙන ඉතාමත් අලංකාර ලෙන ලෙසින් කලා විචාරකයෝ හඳුන්වති. ක්‍රිස්තු වර්ෂ හයවන සියවසට අයත් ශිලාලිපිය මගින් මෙහි ඉතිහාසය ගැන කියැවේ. රාජ සභාවේ ඇමතිවරයෙකුගේ අනුග්‍රහයෙන් මෙම ලෙන නිර්මාණය කර ඇති බවත් එය තාපසයින් සඳහා පූජා කරන ලද බවත් එහි සඳහන් වේ.

අජන්තා පුදබිමෙහි ඇති ලෙන් ප්‍රධාන වශයෙන්ම ථෙරවාද සහ මහායාන යන අංග දෙකට අයත් වන්නේය. ඉතා පැරණිතම ලෙන් අයත්වන්නේ ථෙරවාද බෞද්ධ සම්ප්‍රදායටය. ඒ ලෙන් වල ඇති මූර්තිවල බුදුපිළිම දක්නට නැත. අජන්තා ලෙන් විහාර 30 න් පහක්ම චෛත්‍යශාලා වලට අයත් වන්නේය.

අජන්තා ලෙන්වල ප්‍රධාන වශයෙන් (ක්‍රිස්තු වර්ෂ පහ සහ හය වන සියවස්වලට අයත්) බිතුසිතුවම්වලින් බුද්ධ චරිතය ආශි‍්‍රත සිදුවීම්ද වෙස්සන්තර, උම්මග්ග, මහාජනක , විදුර ආදි ජාතක කතා නිරූපණය කර ඇත. එපමණක්ද නොවේ. සමකාලීනව ජනසමාජයේ දෛනික ජීවිතයේ සිදුවීම්ද නිරූපණය කර ඇත.

මහායාන බුදුසමය අනුව බෝධිසත්ව වන්දනය ඉතා ප්‍රකට වූ බවද ඒ අනුව මෙහි බිතුසිතුවම් මගින් අවලෝකිතේශ්වර බෝධිසත්වයන් සහ පද්මපානි බෝධිසත්වයන්ගේ බිතුසිතුවම් ද දක්නට ලැබේ.

මෙම බිතුසිතුවම් නිර්මාණයේදී ධනවතුන්ගේ මෙන්ම රාජරාජ මහාමාත්‍යාදින්ගේද අනුග්‍රහය නිබඳවම ලැබී තිබුණු බවට සාක්ෂි ශිලාලේඛන මගින්ද තහවුරු වී ඇත. මෙම අජන්තා පුදබිම එකල භාරත දේශයේ ප්‍රකට වූ වෙළෙඳ මාර්ග හා සම්බන්ධ වූ ස්ථානයක තිබීමද මේ සඳහා බලපාන්නට ඇත.

බෞද්ධ සිතුවම් කලාවක් අනාගතය සඳහා ඉතිරි කරන ලද එම චිත්‍රශිල්පීන්ට බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන ජාතක කතා පමණක් නොව බුද්ධ කාලයේදී සිදුවූ බුදුරජාණන් වහන්සේ සහ සිදුහත් කුමරුන් ආශි‍්‍රත වූ සිදුවීම් පිළිබඳවද ඉතාමත් ගැඹුරු දැනුමක් තිබුණු බව පැහැදිලි වන්නේය. බෞද්ධ මූර්ති කැටයම් ආශි‍්‍රතව නිර්මාණය කරන ලද භාරුත්, සාංචි, බුද්ධගයා සහ අමරාවතී, නාගර්ජුණකොණ්ඩ වැනි පුදබිම්වල නිරූපිත මූර්ති කලාවන් මෙන්ම අජන්තා බිතුසිතුවම් වලින්ද බෞද්ධ චිත්‍රකලාව පිළිබඳ ඉතා විශිෂ්ට නිර්මාණ ලොවට දායාද කිරීමට අවස්ථාව සැලසී ඇත.

මහායාන බුදුසමයට අයත්වන බෝධිසත්වයන් වහන්සේලා වන්දනය පිළිබඳවද මෙහි සිතුවම් රැසක් හමුවී ඇත. මේ අතරේ පද්මපානි බෝධිසත්වයන් වහන්සේගේ බිතුසිතුවම් ඉතාමත් ආකර්ෂණීය වේ. අතකින් පද්මයක් හෙවත් නෙළුම් මලක් දරාගෙන සිටින නිසා මෙම බෝධිසත්වයන් වහන්සේට පද්මපානි බෝධිසත්වයන් වහන්සේ යන නමින් හැඳින්වේ. අවලෝකිතේශ්වර බෝධිසත්ව වන්දනය අප රටේද ඉතා ප්‍රකටය. අජන්තා බිතුසිතුවම්වලද එම බෝධිසත්වයන් වහන්සේලා ගේ සිතුවම් මෙන්ම මූර්තිද අපට දැකගන්නට ලැබුණි.


පසුගිය සතියෙන්: බුදුපිළිමයේ උපත - 61: අජන්තාවේ බිතු සිතුවම්

 

බක් අමාවක පෝය

 

බක් අමාවක පෝය අපේ‍්‍රල් 25 වනදා අඟහරුවාදා අපරභාග 09.08 ට ලබයි. 26 වනදා බදාදා අපරභාග 05.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 26 වනදා බදාදාය.
 

මීළඟ පෝය මැයි මස 03 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 26

First Quarterපුර අටවක

මැයි 03

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]