ඉපැරැණි සිරිපා කරුණා පිළිවෙත
වැල්ලදුර ශ්‍රී විජයරාජ පිරිවෙන් විහාරවාසී
රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ කථිකාචාර්ය
ගෞරව ශාස්ත්‍රවේදී
කිරඹ සුමංගල හිමි
මේ සිරිපා සමයයි. සුවහසක් බොදුදනන් සෑම වසරකම බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී පාද
පද්මය වැඳ පුදා ගනුයේ සීත සමනල කරුණා කරන කාලයේ යි. සමනල කඳු සිරස ආගමික, සංස්කෘතික
වශයෙන් පමණක් නොව ඓතිහාසික භූගෝලීය, පාරිසරික වශයෙන්ද අගනා උරුමයකි. යුනෙස්කෝව
විසින් ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබීමෙන්ද එය තවදුරටත් සනාථ වේ.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී පාද ලාංඡනය සමනල කඳුමත වූ පුවත මහාවංශ කතුවරයා
පළමු පරිච්ඡේදයේ 76 – 83 ගාථාවලින් විස්තර කොට ඇත. බුද්ධත්වයෙන් අටවැනි මස වෙසක්
පුර පසළොස්වක දා පන්සියයක් රහතන් වහන්සේ පිරිවරාගෙන කැලණියට වැඩි අවස්ථාවෙහි සුමන
දෙවිඳුන්ගේ ඇරයුමින් සමන්ත කූට පර්වතයට වැඩ වාම ශ්‍රී පාද ලාංඡනය එහි පිහිටුවා වදාළ
බවත්, ඉන් ඉක්බිති පර්වත පාදයෙහි දිවා විහරණය කොට අනාගතයෙහි විහාරස්ථාන පිහිටවනු
ලබන තවත් තැන් කිහිපයකට ද වැඩ දෙව්රම් වෙහෙර බලා වැඩිය බවත්, මහාවංශ කතුවරයා පවසයි.
ජනප්‍රවාදයට අනුව ශ්‍රී පාද පද්මය සොයා ගැනීමේ ගෞරවය හිමිවනුයේ අතපය නැති කොට
මිනිසෙකුටය. නිශ්ශංකමල්ල රජු දවස සිදුවූයේ යැයි සැලකෙන සිදුවීමක් මේ හා බැඳෙයි.
රජුට හිමි මල්වත්තක් පැවැති අතර (වත්මනෙහි මල්වල ප්‍රදේශය විය හැකිය) එහි දෛනිකව
මල් කවුරු හෝ සොරකම් කළහ. මල් සොරා අල්ලා ගැනීමට රජුට අවශ්‍ය විය. ප්‍රදේශයේ අණබෙර
යැවු අතර එක් කොටෙක් ඒ වගකීම භාර ගත්තේය. (කොටාමුල්ල යනු ඒ ප්‍රදේශය බව ගැමියෝ
සිතති) මල්වත්තේ මුර කුටිය තුළ නතරවන කොටා සොරුන් අල්ලා ගැනීමේ අධිෂ්ඨානයෙන් රැය
පහන් කරනවිට පාළුව නිවා ගැනීමට ළයාන්විතව සතිපට්ඨාන සූත්‍රය ගායනා කරන්නට පටන්
ගත්තේය. රාත්‍රියේ සොරු පැමිණියහ. සෑම රාත්‍රියකම මල් නෙළන්නට පැමිණෙන සොරුන් අන්
කිසිවෙකු නොව දිව්‍ය අප්සරාවන් ය. කොටාගේ මියුරු ගායනයෙන් වශීවන දෙව්ලියෝ කොටා
ඇමතූහ. සළු පොටක් ගෙට දමා එහි එල්ලී එළියට එන ලෙස දෙව්ලියෝ දැන්වූහ. තමන් කොටෙකු
බවත් එළියට ඒමට පා නොමැති බවත්, සළුපට අල්ලා ගැන්මට අත් පා නොමැති බවත් කොටා කීවේය.
ඒ ඇසූ දෙව්ලියෝ කොටාට අත්පා ලැබෙන ලෙස අධිෂ්ඨාන කළ බවත්, ඉන් අත් පා ලැබූ කොටා
එළියට විත් මල් රැගෙන යන්නේ කුමකටදැයි විමසූ විට සිරිපා පුදන්නට මල් නෙළන බවත්,
දෙව්ලියෝ පැවසූහ. කොටාට ද සිරිපා වැඳීමට අවශ්‍ය බව දෙව්ලියන්ට දැන්වූ විට තමන් මල්
දමන පාර දිගේ පැමිණෙන ලෙස දැන්වූ අතර, ඒ මල් මාවත දිගේ ගොස් කොටා ශ්‍රී පාදය
සොයාගත් බව ශ්‍රීපාදය සොයා ගැනීම හා බැඳෙන ජනප්‍රවාදයේ සඳහන් ය.
රත්නපුර මාවතින් සමනල වඳින්නට යන බැතිමතුන් පළමුව පිවිසෙන්නේ පලාබද්දල නම් ගම්
පියසටයි. දඹදෙණි යුගයේදී සුප්‍රකටව පැවැති පලාබද්දල පිරිවෙන පිහිටා තිබෙනුයේ මේ
ගම්පියසේ ය. පලාබද්දල ගම නිර්මාණය වීම පිළිබඳවද ජනප්‍රවාදයේ දක්නට ලැබෙන්නේ අපූරු
පුවතෙකි. දුප්පත් ගැමියෙකු සිරිපා කරුණා කිරීමට පැමිණෙනුයේ දිළිදුබව නිසාම මඟට කෑමට
පලා මුළක්ද බැඳගෙනය. කඳු පාමුලට විත් පළා මැල්ලුම කන්නට ලිහා බලනවිට එහි පළා වෙනුවට
සුවඳ ඇල්හාල් සහිත බත් මුලක් දකින්ට ලැබිණි. ගැමියාගේ පළා මුල බත් වූ ස්ථානය නිසා
පලාබද්දල යන නම නිර්මාණය වූ බව ජනප්‍රවාදයේ සඳහන්ය. එසේම බත්මුලක් වැනි ගලක් ඇති
නිසාද පලාබද්ගල යන නම ව්‍යවහාර කරන බවද ඇතැම් ගැමියෝ පවසති.
පලාබද්දල සිට මද දුරක් යනවිට හමුවනුයේ ලීනි හෙළයි. එය මහා ප්‍රපාතයකි. වන්දනාවේ
යෙදෙන ගැමියෝ ලීනි හෙළේදී ලීනි අක්කා අමතා යන්නට දැනුදු අමතක නොකරති. ලීනි අක්කා
පිළිබඳවද අගනා පුරා වෘත්තයකි. ඇය සමනළ අඩවියේ වාසය කළ කාන්තාවකි. සිය දියණිය සමඟ
කුඩා පැලක විසූ අතර, වන්දනාකරුවෝ නිරතුරු ම ඇගේ පැල්පතේ ගිමන් හරිති. දිනක් ලීනි
නිවස අසළ පඳුරුවල වනා ඇති රෙදි ටික ගෙට ගන්නට දියණියට කීවාය. දියණිය කුඩා පඳුරකට
නැඟ රෙදි අකුලන විට පඳුර සමග ප්‍රපාතයට පාත්වන අයුරු ලීනි අක්කා දැක ඇත. ඇය දිවගොස්
දියණිය බේරා ගැන්මට ළයට තුරුලු කර ගනිත්ම දෙදෙනාම ප්‍රපාතයට ඇද වැටිණ. සිරිපා කරුණා
කරන බොදුනුවන්ගේ සරතැස නිවා ගැන්මට උදව් කළ ලීනි අක්කා සිහිපත් කර යෑමට සැමදා
ගැමියන් පෙළඹී තිබෙනුයේ කෘතවේදිත්වය පළ කරනු සඳහාය. “ලීනි අක්කේ අපි යනෝ” යනුවෙන්
හඬගා යෑම පුරුද්දක් වූයේ මේ නිසා බව ජනප්‍රයාදයේ කියැවේ.
ලීනි හෙළ පසුකරන වන්දනාකරුවන්ට ඉඳිකටුපාන, සීත ගඟුල, ධර්මරාජගල ආදී ස්ථානද හමුවේ. ඒ
සියලු ස්ථානයන්හි පිළිපැදිය යුතු වූ වතාවත්ද වෙන් වෙන් වශයෙන් දක්වා ඇත. ඉඳිකටුපාණ
ඒ අතුරින් සුවිශේෂය. කෝඩු වඳීන්නන් මෙහිදී ගෙත්තම් කර යෑම සාමාන්‍ය සම්ප්‍රදායයි.
බුදුරජාණන් වහන්සේ ශ්‍රී පතුල පිහිටුවීමට වඩිද්දී සිවුරේ ඉරුණු තැන් මසා ගැන්මට
මදක් නතර වී සිටි තැන ගෙත්තම්පාන ලෙස හඳුන්වන බව ගැමියෝ පවසති. මේ අවස්ථාවේ වසවත්
මරු ගිරිශිඛර මවා බුදුරදුන්ගේ ගමන නවතා ලන්නට වෑයම් කළත් එයද අසාර්ථක වූු තැන
ජලකඳක් මැවූ බවත්, තමන් කරා ජල කඳ ගලන අයුරු දුටු බුදුරදුන් එය නො පැමිණේවයි
අධිෂ්ඨාන කොට ඉදිකටුවෙන් ඉරක් ඇන්ද බවත්, එකී ඉර ඉක්මවන්නට එකී ජල කඳට නොහැකි වූ
බවත්, ඉන් වසවත් මරු නැවතත් පැරැදුන බවත්, ඇතැම් ප්‍රවාදයන්හි සඳහන්ය. මෙකී පුරා
වෘත්ත සිහිපත් කරන ගැමියා ගෙත්තම්පානේදී ගෙත්තම්කර බුද්ධ ආශ්චර්ය සිහියට නඟාගනී.
රත්නපුර පාර සේම හැටන් පාරේදීද ඉඳිකටු පාණ අපට හමුවේ. සීත ගඟුලද මාවත් දෙකේදීම
හමුවන සුවිශේෂී ස්ථානයකි. සිරිපා කරුණා කරන බොදුනුවන් ගත සිත සේම වචනයද පිරිසුදු
කරගත යුතුය. සීත ගඟුලේ සිසිල් දියෙන් නාගෙන අලුත් පිරුවට හැඳ ගත පිරිසුදු කර ගන්නා
අතර පන්සිල් සමාදන්ව සිල්වතුන් වී සිත පිරිසුදු කරගනී. ඉන් අනතුරුව සාමාන්‍ය වාග්
ව්‍යවහාරයෙන් මිදී හිමයට අනන්‍ය වූ වචන භාවිත කරමින් වචනය පිරිසුදු කර ගැනීම බෞද්ධ
පිළිවෙතය. ගත පිරිසුදු කර ගන්නා සීත ගඟුල පිළිබඳ ජනප්‍රවාද රැසක් ඇති අතර, ඉන්
ප්‍රකට පුවත වනුයේ රාවණ රජු සීතා කුමරිය ගෙනවිත් සඟවා තැබූ තැන නිසා සීත ගඟුල යන නම
ව්‍යවහාරයට ආ බවයි.
ධර්මරාජගල රත්නපුර පාරෙන් පමණක් සිරිපා කරුණා කරන විට හමුවන ස්ථානයකි. ධර්මරාජ
ගලෙහි ගල්පඩි ගනිමින් හිමේ කරුණාකරන වන්දනාකරුවන්ට හමුවන තවත් ස්ථානයකි
හැරමිටියාපාන. බොහෝ දෙනා මෙහි ඉදිව ඇති අම්බලමේ නතර වි සිට ගිමන් හැර පසුදින උදෑසන
මළුවට කරුණා කිරීම ඉපැරණි සිරිතකි. සිය වන්දනාගමන සාර්ථක වුවහොත් සමන් දෙවිඳුන්ට
සැරයටි පූජා කරන බවට අතීත බැතිමතුන් පොරොන්දු වූහයි ජනප්‍රවාදයෙහි කියැවේ.
ශි‍්‍ර පාද පත්මයේ සිට සැතපුමක් පමණ දුරින් පිහිටි ආඩියාමළ තැන්න වැලිමළුව ලෙසින්ද,
පැරැන්නන් හඳුන්වා ඇත. පළමුවන විජයබාහු රජු විසින් පිහිටුවන ලද අඹගමුව ශිලා
ලේඛනයෙහි වැලිමළුව වශයෙන් මෙම ස්ථානය දක්වා ඇත. ආඩියාමළතැන්න යන නම පසුකාලීනව
ව්‍යවහාර වූවකි. සීතාවක රාජසිංහ රජු බෞද්ධයන් සමඟ අමනාප වී ශ්‍රී පාදස්ථානය
බෞද්ධයන්ට අහිමිකොට හින්දූන්ට පැවරූ අතර ආඬිගුද නමින් හඳුන්වන ඔවුන්ගේ එක් පූජකයෙකු
මළ ස්ථානය නිසා පසුකාලීනව ආඬියාමළතැන්න යන නම ව්‍යවහාරයට පැමිණි බව කියැවේ.
වැලිමළුව පසුකරන බොදුනුවන් පිවිසෙනුයේ ඇහැළකණුව නම් ස්ථානයටයි. සියලු වන්දනාකරුවන්
පන්සිල් සමාදන් ව එය ස්ථිරවම සුරක්ෂිත කරන බවට අධිෂ්ඨාන කොට ඇහැළ කණුවේ හුණු
ස්වල්පයක් තවරා යෑම චාරිත්‍රක්ව පවතී. ඇහැළකණුව පිළිබඳ ජනප්‍රයාදයක්ද පවතී. හිමගත
වර්ණනාවේ සඳහන් වනුයේ බුදුරජුන්ගේ සිරිපා ගමන වළකන්නට වසවත්මරු තැනූ බාධකයක්
ලෙසිනි.
සිරිපා වන්දනාවේ දුෂ්කර ම කොටස මහගිරිදඹය යි. සම්වැල් ආධාරයෙන් ගිරිදුර්ගය තරණය කළ
බව අතීත සටහන් තුළින් කියැවේ. හුළං කපොල්ල, අහස්ගව්ව, යන නම්ද මේ සඳහා භාවිත වේ.
මෙකී දුෂ්කර මඟ තරණය කළ බොදුනුවෝ සිරිපා පද්මය පිහිටි උඩ මළුවට පිවිසීමේ පූජනීය
වාසනාව උදාකර ගනී. එලෙස පිවිසෙන බොදුනුවෝ සංසාර ගිරි දුර්ගය ගෙවා ජීවමාන බුදුරජාණන්
වහන්සේ දුටුවාසේ අපමණ බැති සිතින් සිරිපා වඳිති. ගමන අවසන් වන තෙක්ම අපේ බුදුන් අපි
වැන්ඳා. පෙරලි පෙරලි අපි වැන්ඳා. යනුවෙන් හඬ ගා පවසමින් අපමණ සතුටට පත්වෙති. එහි
පින්ඵල සැමටම බෙදා දෙති.
වාර්ෂිකව සිරිපා කරුණා කරන බව මෙකී පුරාවෘත්ත අධ්‍යයනය කිරීම අවශ්‍ය ය. ඉපැරණි
බෞද්ධයන් තුළ පැවති විශ්වාස සහ ඔවුන් සිරිපා කරුණා කළ පිළිවෙත සොයා ගැනීමට අපට
හැකිවනුයේ එවිටය. |